ජීවත්වීමට සුදුසුම රටක් නැත


 

ජීවත්වීමට සුදුසුම තැන නැතිනම් සුදුසුම රට කුමක්ද? ඇමෙරිකාවේ ‘යූඑස්ඒ ටුඩේ’ වෙබ් අඩවිය පසුගිය දා පළ කළ ඇඟ කිළිපොළා යන වාර්තාවකට අනුව, එවැනි තැනක් හෝ රටක් තව දුරටත් ලෝකයේ ඇත්තේ නැත. 

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන්, ගෝලීය උණුසුම ඉහළ යෑමේ අනිසි ප්‍රතිඵලයක් ලෙස දේශගුණික විපර්යාස හට ගැනීම මීට හේතුවය. මේ සටහන ලියන මාගේත් කියවන වැඩි දෙනාගේත් කාලය දැන් අවසන්ය. ඒත්, ගෝලීය උණුසුම ඉහළ යෑමේ අනිසි ප්‍රතිඵල අප මතු පරම්පරාවට අත්විඳීමට සිදුවනු නිසැකය. විද්‍යාඥයන් බිය පළ කරන ආකාරයට එය වළක්වා ගැනීමට දැනටමත් අප ප්‍රමාද වැඩිය. අපම අපේ වළ කපාගෙන අවසන්ය.


‘ගෝලීය උණුසුම’ සහ ‘දේශගුණික විපර්යාස’ යනු කතා කළ යුතුම මාතෘකා දෙකකි. හෙට දිනයේ අපේ ඉරණම තීරණය කරනු ඇත්තේ ඒවාය. ‘ගෝලීය උණුසුම’, ‘දේශගුණික විපර්යාස’ සහ ඒවා පිටුදැකීමට අප ක්‍රියා කළ යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් අවබෝධ කර ගැනීමට නම්, පළමුවෙන් ‘කාලගුණය’ සහ ‘දේශගුණය’ යනු කුමක්දැයි වටහා ගත යුතුය. 


සමාන බවක් පෙනුණත්, ‘‘කාලගුණය සහ ‘‘දේශගුණය’’ එකිනෙකට වෙනස්ය. යම් කිසි ස්ථානයක, යම් කිසි වේලාවක් ඇතුළත, වායුගෝලයේ පවතින තත්ත්වය ‘කාලගුණයයි’. කාලගුණය නිතරම වෙනස් වෙයි. ඒත් ‘දේශගුණය’ එසේ නොවෙයි. දේශගුණය යනු දීර්ඝ කාලයක් පුරා යම් කිසි ප්‍රදේශයක පවතින වායුගෝලීය තත්ත්වයයි. 


අධික පෑවිල්ල, අධික වැස්ස, පායන කාලයට වැස්සත්, වැහි කාලයට පෑවිල්ලත්, සීත කාලයට උණුසුමත්, උණුසුම් කාලයට සීතලත් ආදී වශයෙන් ශ්‍රී ලංකාවේ අප මුහුණ දෙන්නේ මෙම විපරීත කාලගුණික පෙරැළිවලටය. ගෝලීය වශයෙන් විවිධ ස්ථානවල ඇත්තේ එකිනෙකට වෙනස් කාලගුණයන්ය. කාන්තාරයක දේශගුණය උණුසුම්ය, වියළිය. ඒත් වැසි වනාන්තරයක දේශගුණය සාමාන්‍යයෙන් තෙත බරිතය. සමහර කඳුකර ප්‍රදේශවල වසර පුරා පවතින්නේ සීතල දේශගුණයකි. 


කාලගුණය නිතරම වෙනස් වුවත්, දේශගුණික විපර්යාස හට ගැනීමට නම් අවුරුදු සිය දහස් ගණනක් නැතිනම් මිලියන ගණනක් ගතවෙයි. දෛනිකව කාලගුණයේ වෙනස්කම් දකින්න ලැබේ. ඒත් දේශගුණයට සිදුවන බලපෑම දකින්න ලැබෙන්නේ නැත. කාලගුණ විපර්යාස යනු අද අපට බොහෝ විට අසන්න ලැබෙන වදනකි. කාලගුණ විපර්යාස ගෝලීය උණුසුම සමඟ බැඳී පවතී. ගෝලීය උණුසුම යනු මිහිමත උෂ්ණත්වය ඉහළ යෑමය. 


විද්‍යාඥයන්ට අනුව, ගතවුණු වසර 200 ක කාලයේ, පෘථිවියේ සාමාන්‍ය උෂ්ණත්වය විශාල වශයෙන් ඉහළ ගියේය. පෘථිවියට එයින් එල්ල වුණු බලපෑම සුළුපටු නොවන බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. හරිතාගාර භාවිතයට ගන්නේ ගොවීන් සහ කෘෂිකර්මාන්තයට සම්බන්ධ පුද්ගලයන්ය. හරිතාගාරයක් වීදුරුවලින් ආවරණය වී පවතී. එහි කාර්යය ඇතුළත තාපය එසේත් නැතිනම් උණුසුම රඳවා ගැනීමය. හරිතාගාරවල උණුසුම රඳවා ගැනීම සිදුවෙද්දී, ශීත කාලයේ පවා වගා කටයුතු කළ හැකිය. 
පෘථිවිය ද හරිතාගාරයක් වැනිය. ඒත්, පෘථිවිය ආවරණය වී ඇත්තේ වීදුරුවලින් නම් නොවෙයි. පෘථිවිය ආවරණය වී ඇත්තේ වායුගෝලීය ස්තරයකිනි. වායුගෝලයේ ඇති පෘථිවිය උණුසුම් කරන වායු එසේත් නැතිනම් ‘හරිතාගාර වායු’ සූර්ය තාපය රඳවා ගනියි. එවිට පෘථිවියේ උණුසුම ඉහළ යෑමට එය හේතුවක් වෙයි. සිදුවන්නේ හරිතාගාරයක් තුළ සිදුවන දේට සමාන දෙයකි. හරිතාගාර වායුවල වැඩියෙන්ම ඇත්තේ මීතෙන් සහ නයිට්‍රෝ ඔක්සයිඩ්ය. මේවා පෘථිවිය උණුසුම් කරන පොරෝනයක් වැනිය. මේවා හරිතාගාරයක ඇති වීදුරුවලට සමානය. 


සාමාන්‍යයෙන් වායුවලින් සිදුවන්නේ සියලු‍ දෙනාට ජීවත්වීමට සුදුසු ආකාරයට පෘථිවිය අවශ්‍ය ප්‍රමාණයට උණුසුම්ව තැබීමය. මෙම වායුවල වැඩිවීමක් එසේත් නැතිනම් ඉහළ යෑමක් සිදුවුවහොත්, පෘථිවියේ උණුසුම ඉහළ යෑමට පටන් ගනී. උදාහරණයක් ලෙස නිදාගෙන සිටිද්දී, උණුසුම් පොරෝනයකින් සිරුර වසා ගන්නා වැනිය. පොරෝනයකට යටින් නිඳා ගෙන සිටින්නේ නම්, මුළු රෑ පුරා, තව තවත් පොරෝනවලින් ඔබ වැසුවොත්, ඔබ තව තවත් උණුසුම් වෙයි.  මේ ආකාරයටම ගෝලීය උණුසුම හේතුවෙන් ද පෘථිවිය උණුසුම් වෙයි. සාමාන්‍යයෙන් එය සිදුවන්නේ අවුරුදු ගණනාවක් තිස්සේය. 


ගෝලීය උණුසුම ඉහළ යෑම කෙරෙහි මිනිසාගේ දායකත්වය සෘජුව බලපායි. ගෝලීය උණුසුමට බලපාන, ප්‍රධාන සාධකය වන්නේ පොසිල ඉන්ධන දහනයයි. පොසිල ඉන්ධන යනු ස්වාභාවිකව ලබාගන්නා ඉන්ධනය. තෙල්, ගල් අඟු‍රු සහ ස්වාභාවික වායු ඒවාය. වසර මිලියන ගණනක් තිස්සේ එක් රැස්වුණු මියගිය ශාක සහ සත්ව කොටස්වලින් මෙම ඉන්ධන නිර්මාණය වෙයි. පොසිල ඉන්ධන යනුවෙන් ඒවා හැඳින්වෙන්නේ ද මේ නිසාය. පොසිල දහනය කිරීම මගින් ඉන්ධන නිපදවෙයි. තෙල්, ගල් අඟු‍රු සහ ස්වාභාවික වායු යනු මිනිසාට අත්‍යවශ්‍ය දේවල්ය. පොසිල ඉන්ධන දහනය වෙද්දී, වායුගෝලයට වායු මුදාහැරීමක් සිදුවෙයි. මේ වාතය අප කලින් සඳහන් කළ පෘථිවිය වටේ ඇතැයි පැවැසෙන පොරෝනයට එක් වෙයි. පෘථිවිය තව තවත් උණුසුම් වෙයි. හරිතාගාර ආචරණය ඉහළ යයි. එකතු වන වායුවක් වන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුවය. ගස්වලින් සිදු වන්නේ කාබන්ඩයොක්සයිඩ් උරා ගැනීම සහ ඔක්සිජන් වායුව මුදාහැරීමය. විෂ වායුවලින් කොටසක් මෙසේ උරා ගැනීමෙන් වාතයට එක්වීම වැළැක්වී යයි. අවාසනාවකට වැඩි වැඩියෙන් වනාන්තර කපා දැමීම මගින් වායු උරා ගැනීම අසීරු වෙයි. 


වර්තමාන ලෝකය, 19 වැනි සියවසේ දී තිබුණාට වඩා සෙල්සියස් අංශක 1.2 කින් පමණ උණුසුම් බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. එසේම වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය එදාට සාපේක්ෂව සියයට 50 කින් ඉහළ ගොස් අවසන්ය. විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ, දේශගුණික විපර්යාසවල නරකම ප්‍රතිවිපාක වළක්වා ගන්නට අවශ්‍ය නම් ගෝලීය උෂ්ණත්වය ඉහළ යන වේගය අඩු කරගත යුතු බවය. වසර 2100 වෙද්දී, උණුසුම ඉහළ යන අගය සෙල්සියස් අංශක 1.5 ලෙස තබාගත යුතුයැ යි ඔවුහු නිර්දේශ කරති. 
එසේ උෂ්ණත්වය අවම කර නොගත්තොත්, මේ ශතවර්ෂය අවසන් වන විට පෘථිවියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2කටත් වැඩියෙන් ඉහළ යනු ඇත. මේ වන විට, ජීවිත සහ ජීවනෝපායන් තර්ජනයට ලක් කරමින් ආන්තික කාලගුණ තත්ත්වයන් තවත් දරුණු අතට හැරෙමින් තිබේ. ලෝකය තවත් උණුසුම් වුවහොත් වගාබිම් කාන්තාර බවට පත්විය හැකිය. එවිට එම ප්‍රදේශයන් මිනිස් වාසයට නුසුදුසු වනු ඇත. ගොවිබිම් කාන්තාර බවට පත්වීමත් තවත් ප්‍රදේශයන්හි දී මෙයට විරුද්ධ දේ සිදුවෙමින් පවතී. මෑතක දී චීනයේ, ජර්මනියේ, බෙල්ජියමේ සහ නෙදර්ලන්තයේ සිදුවූ පරිදි, අධික වර්ෂාපතනය හේතුවෙන් ඓතිහාසික ජල ගැලීම් දැකගත හැකි ය. දේශගුණික විපර්යාසවලට අනුවර්තනය වීමට අවශ්‍ය මුදල් නොමැතිවීම නිසා වඩාත් දුක් විඳිනු ඇත්තේ දුප්පත් රටවල ජනතාව ය. සංවර්ධනය වෙමින් පවතින රටවල බොහෝ ගොවිබිම් දැනටත් අධික උෂ්ණත්වයකට මුහුණපාමින් සිටින අතර, මෙය හැරෙනු ඇත්තේ වඩාත් නරක අතට පමණි. 


අප සාගර ද, ඒවායේ පිහිටි බොහෝ සාගර ජීවීන්ගේ වාසස්ථාන ද තර්ජනයට ලක්වී ඇත. නිදසුනක් වශයෙන්, දේශගුණික විපර්යාස හේතුවෙන් මුහුද උණුසුම් වීම නිසා ඕස්ට්‍රේලියාවේ මහා බාධක පරයට 1995 සිට මේ වන තෙක් ඒ කොරල්පරවලින් අඩක්ම අහිමි වී ගොසිනි. දේශගුණික විපර්යාසයන් උණුසුම්, වියළි කාලගුණයක් ඇතිවීමේ අවදානම ඉහළ දමන බැවින් ළැව්ගිනි ඇතිවීම ද දැන් දැන් බහුල වී තිබේ. සයිබීරියාව වැනි ප්‍රදේශවල මිදුණු පොළව දිය වී යද්දී, දේශගුණික විපර්යාස තවත් නරක අතට හරවමින් සියවස් ගණනාවක් තිස්සේ එහි සිරවී තිබූ හරිතාගාර වායු වායුගෝලයට මුදාහැරෙනු ඇත. ලෝකය වඩාත් උණුසුම් වෙද්දී, සතුන්ට ද ජීවත්වීමට අවශ්‍ය කරන ආහාර හා ජලය සොයාගැනීම දුෂ්කර වනු ඇත. උදාහරණ ලෙස, ඔවුන්ගේ ජීවිතය ගෙනයෑමට අවශ්‍ය අයිස් දියවීමත් සමග හිම වලසුන් වඳවී යනු ඇති අතර, අලින්ට දිනකට අවශ්‍ය කරන ජලය ලීටර 150 - 300ත් අතර ප්‍රමාණය සොයාගැනීම සඳහා ඔවුන්ට මහත් සේ දුක් විඳීමට සිදුවනු ඇත. විද්‍යාඥයන් විශ්වාස කරන්නේ නිසි පියවර නොගතහොත් මෙම සියවස අවසන් වන විට සත්ත්ව විශේෂ 550ක්වත් වඳවී යා හැකි බව ය. දේශගුණික විපර්යාසය ලෝකයේ විවිධ ප්‍රදේශවලට ඇති කරන්නේ විවිධ බලපෑම් ය. 


සමහර ස්ථානවල අනෙක් ප්‍රදේශවලට වඩා උණුසුම වැඩිය. තවත් ප්‍රදේශයන්ට වැඩි වර්ෂාපතනයක් ලැබේ. තවත් ප්‍රදේශයන්ට නියඟවලට මුහුණදීමට සිදුවනු ඇත්තේ ය. ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් අංශක 1.5ට සීමාකර ගැනීමට නොහැකි වුවහොත්, එක්සත් රාජධානිය සහ යුරෝපය අධික වර්ෂාපතනය හේතුවෙන් ඇතිවන ගංවතුරට ගොදුරු වනු ඇත. මැදපෙරදිග රටවල් හදිසියේ ඇතිවන දැඩි ග්‍රීෂ්මයන් අත්විඳිනු ඇති අතර, ගොවිබිම් කාන්තාර බවට හැරෙනු ඇත. ශාන්තිකර කලාපයේ සහ ඉන්දියානු සාගරයේ දූපත් රාජ්‍යයන් (විශේෂයෙන් මාලදිවයින) මුහුදු මට්ටම ඉහළ යෑමත් සමග අතුරුදන් වී යනු ඇත. බොහෝ අප්‍රිකානු රාජ්‍යයන් නියඟයෙන් සහ දුර්භික්ෂයෙන් පීඩා විඳිනු ඇත. 
ඇමෙරිකාවේ, බටහිර ප්‍රදේශයන්හි නියං තත්ත්වයක් ඇතිවීමට ඉඩ ඇති අතර, අනෙක් ප්‍රදේශයන් වඩ වඩාත් දරුණු කුණාටුවලට මුහුණපානු ඇත. ඕස්ට්‍රේලියාව අධික උණුසුම සහ නියඟයෙන් පීඩා විඳිනු ඇත. දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට හැකි වන්නේ එක්ව වැඩ කිරීමෙන් පමණක් බව බොහෝ රටවල් එකඟ වන අතර, ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5ට තබාගැනීමට උත්සාහ කරන බවට, 2015 වසරේ පැරිසියේ දී ලෝක ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් ඔවුහු ප්‍රතිඥා දුන්හ. 
ලෝක නායකයන්ගේ සහභාගීත්වයෙන් COP26 සමුළුව පැවැත්වූයේ මේ සම්බන්ධයෙනි. ඒ සමුළුවේදී, රටවල් විසින් 2030 වසර වන විට කාබන් විමෝචනය අඩු කිරීමේ සැලසුම් ඉදිරිපත් කෙරුණි. 2050 වසර වන විට කාබන් විමෝචනය බිංදුව දක්වා ගෙන ඒමට බොහෝ රටවල් ප්‍රතිඥා දුන්නේය. මෙයින් අදහස් වන්නේ හරිතාගාර වායු විමෝචනය හැකිතාක් අවම කිරීම සහ ඉතිරි විමෝචනයන්ට සමාන ප්‍රමාණයක් වායුගෝලයෙන් අවශෝෂණයකර සමතුලිත කිරීමය. මෙම ඉලක්කය කරා යෑමට හැකි බව විශේෂඥයින් පවසන නමුත්, ඒ සඳහා රජයයන්, ව්‍යාපාර සහ තනි පුද්ගලයින් පවා විශාල වෙනස්කම් කිරීම අත්‍යවශ්‍යය.

 

 

■ ලු‍සිත ජයමාන්න
සැලොන් වෙබ් අඩවිය සහ
යූ.එස්.ඒ. ටුඩේ ඇසුරිනි.