ඝන වනය මැදින් කඳ සුරිඳු සොයා පැමිණි ගමන


අත දරුවන්ද සමගින් පාද යාත්‍රාවේ යන ගමන්

 

දින තුනක් තිස්සේ කුමන සහ යාල මහ වන මැදින් ආ වෙහෙසට අපි හැමෝම ඉක්මනින් නින්දට ගියෙමු. මැණික් ගඟේ වැලි තලාව මත එළු පොලිතින් රෙද්ද අපි හැමෝගෙම සුවයහන විය. වෙනදා මෙන් ඇතිරිලි එහි නොවීය. වැල්ලේ ඇති කුඩා ගල් කැට පොලිතීන් රෙද්ද අතරින් ඉහළට එසවී අපේ ගතට කිති කැව්වද නිදි දෙව්දුව ඉක්මනින් අපි කරා පැමිණ සිටියාය.   

ගං ඉවුරේ එගොඩ ගොඩේ සිටි නිශාචර වන සතුන්ගේ හඬ පරයා අපේ නඩේ සමහරුන්ගේ ගෙරවිලි  හඬ, නිහඬ පරිසරයට ගෙනාවේ වෙනදා නැති අමුතු චංචල බවකි. මැදියම් රැය ඉක්මගොස් හෝරවක් ගෙවී යද්දී ඇදවැටුණු වැහි පොද හැත්තෑවක් පමණ වූ අපේ නඩය වහා අවදි කරන්නට සමත්විය. “අරෝ...... හරා......”, “අරෝ...... හරා......” හඬ හැම කෙනාගේම මුවින් ගුවන සිසාරා පැතිර ගියේය. දිය පොදක්, අහර කිසක් සොයා යාල මහ වනයේඑහා මෙහා ගිය අලි ඇතුන්, වග වළසුන්, ඇතුළු නිශාචර සතුන් තිගැස්සී මොහොතකට නැවතුනි.   

 

හදිසියේ රෝගාතුරවී පෙරදින පාන්දර අප ආ අඩිපාර මත ඇදවැටී ජීවිතය යදිමින් සිටි ගැබ්බර කෙනෙරගේ කෙඳිරිය අපට නොඇසුණද අපේ “අරෝ...... හරා......”, “අරෝ...... හරා......” හඬින් ඇය ද තිගැස්සුනාය.   
උතුරු නැගෙනහිර පළාත්වල සිට කතරගම දෙවියන්ට පූජාවක් ලෙස පාගමනින් පොතුවිල්, පානම, ඕකන්ද, කුමන සහ යාල ජාතික වනෝද්‍යාන හරහා කතරගමට පාගමනින් එන බැතිමතුන් සමග අපි මෙවර එක්වුනේ නව වතාවටයි. 2019 පාස්කු ප්‍රහාරයත්, 2020 සහ 2021 කොරෝනා වසංගතයත් නිසා තුන් වසරක කාලයක් මේ ගමනට වරම් නොලැබිනි.   


කුමන සහ යාල ජාතික වනෝද්‍යාන හරහා පයින් එන්නට කිසිම කෙනෙකුට වරම් නැත. එහෙත් කතරගම දෙවියන් යැදුමට එන මේ බැතිමතුන්ට සෑම වසකරම දින කිහිපයක් පයින් මේ වනෝද්‍යාන දෙක හරහා එන්නට වරම් ලැබෙයි. ඒ කතරගම මහ පෙරහර ඉලක්ක කරගෙනය. මෙවර ජූලි මාසයේ 22දා සිට අගෝස්තු 05දා දක්වා මෙවරත් කුමන වනෝද්‍යානයෙන් කතරගම එන්නට බැතිමතුන්ට දොරටු විවෘතව පවතී.   
ඒ වනවිට උතුරේ, යාපනය, නාගදීප, කරෙයිනගර්, පුංගුඩුතිව්, නගර් කෝවිල්, වඩුක්කොඩෙයි, වාසවිලාන්, වැල්වැටිතුරේ ආදී වූ ප්‍රදේශ වලින් මැයි මාසයේ මැද පයින් ගමන් ඇරඹූ හින්දු බැතිමත්හු නැගෙනහිර පළාතේ පොතුවිල්වලට කිලෝමීටර් 32ක් දකුණින් පිහිටි ඕකන්ද මුරුගන් කෝවිල් බිමට පැමිණ සිටියහ.   
නැගෙනහිර පළාතේ, ත්‍රිකුණාමලය, කල්මුණේ, මඩකළපුව ආදී ප්‍රදේශවල හින්දු බැතිමතුන් ද ඒ වනවිට යාපනයෙන් එන බැතිමතුන් හා එක්ව මේ පාද යාත්‍රාවට එක්ව හෙමින් හෙමින් රටේ දකුණු පළාත බලා ගමන් කළහ. ගමනේ අමාරුම කොටස කුමන සහ යාල ජාතික වනෝද්‍යාන හරහා යන මාර්ගයයි. ගහකොළ, ඇළදොළ, විල්ලු, පොකුණු කළපු හැරණු විට ඇත්තේ සතා සිවුපාවාය.   

 

අපේ කණ්ඩායම


මාස ගණනක් නිර්මාංශව, මත්පැන් හෝ මත්වතුරින් මිදී පේවී කතරගම දෙවියන් නැමදුමට එන තමන්ට මහ වනයේදී කිසිදු අපල උපද්‍රවයක් නොවන බවට මේ හින්දු බැතිමතුන්ට ඇත්තේ අසීමිත විශ්වාසයකි. කිඹුලන් බහුල කුඹුකන්ඔයට බැස සමහර අවස්ථාවල කරවටක් වතුරෙන් එගොඩ වෙද්දී හානියක් නොවන්නේ කතරගම දෙවියන්ගේ ආශිර්වාදය තමන්ට ඇති නිසාවෙන් බව ඔවුනගේ විශ්වාසයයි. කටුපිළ ආර ගොඩවන්නේත් ඒ විශ්වාසයෙනි. මතක ඇති කාලයක ඒ තැන්වලදී බැතිමතෙකුට වන සිවුපාවෙකුගෙන් හානියක් වූ බවට තොරතුරක් නැත.   


එහෙත් වසර කිහිපයකට පෙරදී කුමන බාගුරාව ප්‍රදේශයේ දී ශරීරකෘත්‍ය කිරීමට කැලයට ගිය වන්දනාවේ ආ කාන්තාවක් කොටියෙකුගේ පහරකෑමට ලක්වුවාය.   
කුමන ජාතික වනෝද්‍යානයේ කොටි ගහණය මේ වනවිට වැඩි වී ඇති බව එහි භාරකාර ආර්.ඒ.ඩී.ඩී. සමරනායක මහතා පැවසුවේය. වසර කිහිපයකට පෙර බාගුරා ප්‍රදේශයේ දී වනෝද්‍යානයේ සංවර්ධන කටයුතුවල නිරතව සිටි පුද්ගලයෙකු කොටි ප්‍රහාරයකට ලක්විය. කුමන වලස් ගහණය ද තරමක් ඉහළගොස් ඇති බව ඔහු දැනුම් දුන්නේය.   


අගෝස්තු 22දා උදෑසන වනවිට ඕකන්ද මුරුගන් දේවාල බිමේ සිටි පන්දහසකට අධික වූ බැතිමතුන්ගෙන් තුන්දහස් පන්සිය විසිනව දෙනෙක් සවස තුන වනවිට වනෝද්‍යානයට ඇතුළුවී තිබුණි. මා ඇතුළු අපේ කණ්ඩායම ද ඒ ගණනට ඇතුළත් විය.   


එදින දහවල් තදින් හිරු පායා තිබුණු අතර ගමන වෙහෙසෙකාරී විය. තදින් හමා එන සුළඟ විඩාව තරමක් නිවීය. කුමණ ජාතික උද්‍යානයට ඇතුළුවූ බැතිමතුන් පිරිසක් එදින රාත්‍රිය ගත කිරීමට බාගුරාව තෝරාගත් බව පෙනුනි. එහි වූ ළිඳ ඉස බැතිමතුන්ගේ ප්‍රයෝජනයට සූදානම් කර ප්ලාස්ටික් වතුර ටැංකි ද ජලයෙන් පුරවා තිබුණි. තවත් පිරිසක් බාගුරාවේ නොනැවතී මඩමෙතොට හෙවත් කුඩා කැබිලිත්ත දේවාල බිමට තවත් ලොකු දුරක් ගෙවාගෙන පැමිණ තිබුණි. ඒ එන විට හමුවන කුමන විල්ලුව අපිට හමුවෙයි. ශීත කාලයට පිටරටින් එන කුරුල්ලන්ගෙන් බහුල කුමන විල්ලුව දෙසින් ඇසෙන්නේ කුරුල්ලන්ගේ එකම ගාලගෝට්ටි හඬකි. විල්ලුවේ ඇති ගහකින් ඉගිලී තවත් ගහකට යන පෙලිකන් ඇතුළු විවිධ කුරුල්ලන්ගෙන් විල්ලුවේ ඉහළ අහස පිරී පවතී.   

 

ගමනේ විඩා නිවාගනිමින්

 

පා ගමනේ එන බැතිමතුන් මේ සුන්දර වූ දසුන් දෙනෙතින් දැක විඩා නිවා ගනී. බැතිමතුන්ගේ “අරෝ...... හරා......”, “අරෝ...... හරා......” හඬින් කලබල වන කුරුල්ලන් ද පියාඹා වෙනත් ගස්වලට යන ආකාරය මනස්කාන්තය. එහෙත් කුමන විල්ලුවේ මීට තුන් වසරකට පෙර දුටු ලස්සන මෙවර නැතිවී ගොසිනි.   
විල්ලුවේ ජල මට්ටමද හිඳී ගොසිනි. ඒ අධික පෑවිල්ල නිසාවෙනි. විල්ලුවේ ගස් ද කේඩෑරි වී ගොසිනි. සංචාරකයන්ට යන්න එන්න ඇති පාර ද කැඩී බිඳී ගොසිනි. රට කෙසේ කඩා වැටී ඇද්ද, කුමන ජාතික වනෝද්‍යානයත් ඒ ආකාරයටම දිස් වෙයි. ඉන්ධන හිඟය නිසා දෙස් විදෙස් සංචාරකයෝද නොපැමිණෙති. ඒ නිසා අලුත උපන් වන සතුන්ට මේ පයින් එන බැතිමතුන් පුදුමය ගෙන දෙන්නක් විය. කහ පැහැති අඳුමින් සැරසී “අරෝ...... හරා......”, “අරෝ...... හරා......” කියමින් තමන් සොයා සතුරන් එතැයි බියෙන් වන සිවුපාවන් පණ එපා කියා දිව යති.   


කුමන ගේට්ටුව විවෘත කරන්නට දින දෙකකට පෙර අඩි පහක් හයක් පමණ වු කුඹුකන් ඔයේ වතුර මට්ටම 21දා දහවල් වනවිට අඩුවූ නිසා ළිංතුනේ සෞඛ්‍ය සායනයටත් ඖෂධීය තේ දන්සැල දෙන්නට පැමිණ සිටි නැගෙනහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය උපදේශක වෛද්‍ය අලගයියා ලතාහරන් මහතා ඇතුළු කණ්ඩායමට වාහනවලින් එගොඩවන්න ජලමට්ටම අඩුවූයේ කතරගම දෙවියන්ගේ ආශිර්වාදය තමන්ට ලැබුණු නිසායැයි ළිංතුනේ දී ඔහු හමුවූ අවස්ථාවේ මා සමග කීවේ කෘතවේදීව ය.   
වනසම්පත් සංරක්‍ෂකයන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ලලිත් ගමගේ මහතා ප්‍රධාන වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විවිධ මට්ටමේ නිලධාරීන්, වෛද්‍යවරුන්, වෙනත් රාජ්‍ය ආයතන සේවකයින්, තරුණ කාන්තා හා කුඩා දරුවන්ගෙන් අපේ කණ්ඩායම සමන්විත විය. හෑත්තෑවක් වූ පිරිස අතරින් හතළිහකට වැඩි පිරිසක් කෝඩුකාරයන් හෙවත් පළමුවරට ගමනට එක්වන්නෝ වූහ.   


අපේ දෙවන රාත්‍රිය කුඹුක්කන් ඔයෙන් එගොඩ වූ පසු හමුවන පොත්තන පිහිටි ළිං තුන විය. දෙවන දිනයේ ද තද අව්ව අපේ ගමනේ විඩාව ඇතිකරන්නක් විය. වෙනදාට හාල්පාන් ඕඩයේ මෙන්ම ගජබාවේ ජලටැංකි දෙක වරදින්නේ නැත.

රටේ ඉන්ධන හිඟය නිසා ඒවාට වතුර පුරවන්නට විදියක් නොමැති නිසා ඒවා මෙවර නැත. ඒ නිසා ගජබාවේ රැය පහන් කරන්නට වතුර නොමැතිකම බැතිමතුන්ට ගැටලුවක් විය.   

 

පාද යාත්‍රාවට එක්වූ බැතිමතුන්

 

පොත්තන ජල ටැංකියක් ස්ථාපිත කර එයට වතුර පුරවා තිබුණි. පොත්තන කළපුවෙන් බැස වෙරළ දෙසට ගොස් කිලෝමීටරයක් පමණ දුරට ගියවිට හමුවන ළිං තුන සිය නවාතැන කරගැනීම වරක් ආ බැතමතුන්ගේ සිරිතය. එහි වූ බත් දන්සැලට ද වතුර නැතිකම බරපතළ ගැටලුවක් විය. නමුත් එතැනට පානීය ජල පහසුකම් නොතිබිණි. ළිංතුනෙන් එක් ළිඳක වතුර ගෙන උණුකර නිවාගෙන රාත්‍රි ආහාරය සකසා ගන්නට බොහෝ දෙනෙනකුට සිදුවිය. රාත්‍රියේ ආරක්‍ෂක නිලධාරීන් පැමිණි ට්‍රැක්ටරකින් පානීය ජල බෝතල මුදලට ලබාදීම සෑම බැතිමතෙකුට ම සහනයක් විය.   


ජූලි 24දා වනාන්තරයේ තුන්වන දිනට එළිවුණ ද අහස වැහි බර විය. එය ගමනට පහසුවකි. විඩාව අඩුය. ඉහළ පොත්තන පිහිටි කළපු ද වතුර නැති නිසා වියළී ගොසිනි. එය බැතිමතුන්ට පාද යාත්‍රා ගමන කෙටිකරයි. පැය හතරක් පහක් ගෙවාගෙන කටුපිළ දක්වා පැමිණිය ද එකම එක වතුර ටැංකියක් මග නොවීය. ඒ නිසා බොහෝ බැතිමතුන්ගේ දහවල් තේ පානයට වැට බැඳුනි. කටුපිළ ආර අසන්නයේ වෙනදා මෙන් දෙන බත්දන්සැල මෙවරත් ඇති බව ඈතට දිස්වන විට විඩාපත් බැතිමන්ගේ ගතට දැනුනේ මහා ජවයකි.   
මහනුවර දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා දැන් වසර කිහිපයක් තිස්සේ සිට එම දන්සැල පවත්වගෙන එයි. ඉන්ධන හිඟය ඒ දන්සැලට ද විශාල බලපෑමක් එල්ලකර තිබුණි. කටුපිළ දන්සැලෙන් දිවා ආහාරය ගත් බැතිමතුන් මැණික් ගඟේ පරණ තොටුපළ එක් නවාතැන් පොළක් ලෙස තෝරා ගනී. පරණ තොටපළේ සිට මැණික් ගඟ දිගේ තල්ගස් මංකඩ සහ ඊටත් ඉහළට වරහන දක්වා මැණික් ගඟේ වැල්ල බැතිමතුන්ගේ නවාතැන් පොළවල් ය. සමහර බැතිමතුන් දින දෙකතුනක් එහි නැවතී විවේක ගන්නේ කතරගම දේවාලයේ පෙරහර ආරම්භ කරන දිනයට කල් ඇති නිසාය. තවත් පිරිසක් පරණ තොටුපළේ නොනැවතී වරහන දක්වා තවත් දුරක් පැමිණ තුන්වන දිනයේ නවාතැන් පොළ ලෙස තෝරා ගනී.   
අපේ කණ්ඩායමට හතරවන දින අලුයම වැටුණු පොද වැස්සට එළිවනතුරු මුහුණ දෙන්නට විය. නිදාගන්නට එලාගත් පොලිතීන් ඇසුරුම අඳුරේම වහලයක් බවට පත්කරගෙන පොද වැස්සෙන් ආරක්‍ෂා වීමු. පොද වැසි මැද සකසා ගත් උදෑසන ආහාරය එළිය වැටුණු පසු භූක්තිවිඳගැනීමෙන් පසු උදේ වරහනින් පිටත්ව යාල කලාප අංක එකට පිවිසුනෙමු. යාල ජාතික වනෝද්‍යානයේ කටගමුවෙන් පිටවන සෑම දෙනාටම යුද හමුදාව උදේ සහ දහවල් ආහාරය ලබාදෙයි. එය පාද යාත්‍රාවේ එන බැතිමතුන්ට විශාල අනුග්‍රහයකි. කොච්චිපතානේ කෝවිලේ ඔසුපැන් දන්සැල ද බැතිමතුන්ට මහත් අස්වැසිල්ලකි.   


අපේ කණ්ඩායමේ අවසන් සාමාජිකයා කතරගම දේවාල බිමට පා තබනවාත් සමග 25දා හැන්දෑවේ මහ වැස්සක් ඇද හැළුනේ ය. මුල් තුන්දහස් පන්සිය විසිනවයට ඇතුළු වූ අපිට මුල් තුන්සිය දෙනා අතරට පිටවන්නට හැකි විය. ඒ වනවිට දින හතරක් නිමව ගොසිනි. කුමන ජාතික වනෝද්‍යානයේ ගේට්ටුවේ සංඛ්‍යා ලේඛන අනුව ජූලි මස 31 දින වනවිට බැතිමතුන් 25503 පිරිසක් කුමණින් ඇතුලු වී තිබුණ බව නැගෙනහිර පළාතේ සහකාර වනජීවී අධ්‍යක්‍ෂ ප්‍රශාන්ත විමලදාස මහතා පැවසුවේය.   


ජූලි 26 වන දින වනවිට ඕකන්ද, කුමණ, යාල කලාප එක, දෙකේ කාලගුණ තත්ත්වය යහපත් නොවීය. මතක ඇති කාලෙක නොවූ ලෙස එම ප්‍රදේශවලට මහ වැසි ඇදහැළෙන්නට විය. ඕකන්ද මුරුගන් දේවාල බිමේ සිටි දහස් ගණනක් වූ බැතිමතුන් ද වැස්සට තෙමිනි. උතුරේ සිට දශක පහ හයක් තිස්සේ පාද යාත්‍රාවේ ආ සාමිවරු මේ වෙනස පුදුමයෙන් දුටුවේය. බටහිර නාගර්කොවිල්වල සිට පාගමනින් ආ හතළිස් තුන් හැවිරිදි සපාරත්නම් බාස්කරන් මහතා මේ දුෂ්කරතා ගැන පැවසුවේ වැඩි දුෂ්කරතා විඳ පැමිණිවිට කතරගම දෙවියන්ගේ වැඩි අවධානයක් ලැබෙන බව ය.   


(මතු සම්බන්ධයි)

 

 

 

 සටහන :
අජිත්ලාල් ශාන්තඋදය
කතරගමට පාගමන් සංචාරයකින් පසු...