ගොයම් කපා විගසින අස්වනු ගෙන සතොසිත ගමේ නටන “ජහුටා”


එක්දහස් නවසිය හැටේ දශකයේ දී සතර කෝරලය සහ රජරට, නුවර කලාවියේ ගම්මැදි ආශ්‍රිතව උත්පාදව ඇති ගීත නාටක කලාවක් පිළිබඳ තොරතුරු අද ද එහි ගැමියන් ගෙන් අසන්නට ලැබේ. භරත මුනිවරයා ගේ නාට්‍ය වර්ගීකරණයට අනුව නාට්‍ය ධර්මී සම්ප්‍රදායට ගැනෙන, සතර අභිනයම මනාව නිරූපණය වන නාට්‍ය විශේෂයක් ලෙස මෙම නාටක සැලකේ. දෙබස් කථන මුද්‍රා නාට්‍ය ලෙස වර්තමානය තුළ ද මෙම නාටක සුළු වශයෙන් හෝ කුරුණෑගල සහ රජරට ගම්මැදිවල රංග ගත වේ.  මෙම නාටක සමග ගමින් ගමට ගොස් ඇති සංගීත ශිල්පියෙකු වන සත් කෝරලයේ - පොල්පිතිගම “ගුණතිලක සූරිආරච්චි”  විශිෂ්ට ගනයේ බටනළා වාද්‍ය ශිල්පියෙකු ලෙස ද ප්‍රකටය . හෙතෙම ගීත නාටක කලා සම්ප්‍රදායේ වතගොත හොඳින් දත් අයෙකි. අප කළ විමසීමක දී මෙම නාට්‍ය විශේෂය පිළිබඳව ඔහු පැවසුවේ මෙවැනි කරුණු සමුදායකි. 

“අද ගොඩක් අය මේ නාට්‍ය කලාව කොහොම හැදුණද කියන නිධාන කතාව දන්නේ නෑ. අතීතයේ අපේ පැරණි කලාකරුවෝ රසවින්දනය සඳහා විවිධ විදියේ නාට්‍ය ගම්වල රඟදක්වලා තියෙනවා. මේකත් එක සම්ප්‍රදායක්. මේ නාට්‍යවලට “ජහුටා” කියලත් කියනවා. ඒ  නම නිකන්ම ආපු එකක්. ඒකට විශේෂ අර්ථයක් නෑ. මේ නම ඉන්දීය ආභාෂයකින් ලැබුණා කියන එක අමූලික බොරුවක්. අස්වැන්න ගෙට ගත්තට පස්සේ කමත හිස් වෙනවා. එතකොට කලාවට හිතැති ගමේ වැඩිහිටියෙක් කොල්ලනේ අපි ලබන පෝයට ජහුටයක් නටමු ද කියලා තරුණ පිරිස එකතු කර ගන්නවා. ඒ කාලේ රඟපෑම ගැහැනුන්ට නොගැළපෙන්නක් බවට මතයක් තිබුණු හින්දා නිළිය ගේ කාර්ය කළේත් පිරිමි අයමයි. නාට්‍යයේ පුහුණුව අවසන් කරලා ඒ ගැන අවට ගම්වලටත් ප්‍රචාරයක් දෙනවා. අපේ ගමේ කොල්ලෝ අසවල් ගමේ අසවලාට අයිති කමතේ දී, පසළොස්වක පෝය දවසේ රාත්‍රියේ ජහුටයක් රඟ දක්වන බව තමයි ඒකෙන් කියැවෙන්නේ.”  

එවක අස්වනු කපා පාගා ගෙට ගත් පසුව නිදහස් වන කමත වටා රොද බඳින ගැමියන් කලකින් ලැබෙන මේ අවස්ථාව නොපිරිහෙළා විඳ සතුටු ව තිබේ. ඉතා ප්‍රාථමික තත්ත්වයන් මත නිර්මාණය වූ මේ නාටක වින්දනය ඒකායන අරමුණ කොට ගෙන නිර්මාණය වූ වග අවිවාදිතය. ඒ ඉන් බැහැර යාමක් ගැමියන් අපේක්ෂා නොකළ හෙයිනි. සාම්ප්‍රදායික ගැමියන් වගා කන්නයක් අවසානයේ වැඩ කටයුතුවලින් විඩාබර වූ ගතට, සිතට සැනසීමක් අපේක්ෂාවෙන් මෙම නාටක වටා රොද බඳින්නට ඇතැයි පිළිගත හැකිය. විනෝදකාමී බව, එකමුතුකම, ගංකරයේ ජනයා අතර සංහිඳියාව ආදී වටිනාකම් මෙම නාටක සමග ගැමි ජන ජීවිත කරා කාන්දු වූ වග ද අමතක කළ හැකි නොවේ. ගම්සභා පාර දිගේ ඇදෙන කරත්තයේ බැඳි යකඩ කට ගම දෙවනත් කරයි. සරල සැහැල්ලු‍ දිවි පෙවෙතකට මැදිව දවස ගෙවූ ගැමියන්ට මේ ඇසෙන්නේ කනට මී බිඳු දමන්නාක් වන් හැඟීම් පොබයන ආරංචියකි. 

“ආයුබෝවන්... වාසනාවන්.. ප්‍රදේශවාසී සැමට කෙරෙන ආරාධනයයි මේ... ලබන පුර පසළොස්වක පෝය දා රාත්‍රියේ අටට මහනුගේ වෙලේ කමතේ දී ජහුටාවක් පෙන්වනු ලැබේ.. නැටුම්.. ගැයුම්.. විහිළු සපිරි සිරිසේන ගුරුන්නාන්සේ ගේ කාණ්ඩේ ජහුටාව නටනවා ඇත.. කල්වේලා ඇතිව විනෝද වෙන්න.. සතුටු වෙන්න ... එකතු වෙන්න.. ස්තුතියි...” 

ලක්දිව සාම්ප්‍රදායික නාට්‍ය සම්ප්‍රදායන් පිළිබඳ විශ්ලේෂණයක යෙදෙන මහාචාර්ය එදිරිවීර සරත්වන්ද්‍රයන් පවසනුයේ පෙර දවස කෙසේ වෙතත් පනහේ දශකය පමණ වන වන විට දේශීය යැයි කිව හැකි අංගසම්පූර්ණ වූ කලාත්මක නාට්‍ය කලාවක් මෙරට නොවූ බවය. එහෙත් ගම්බද පැවතියා වූ කෝලම්, සොකරි, නාඩගම්, තොවිල්, පවිල්, ගම්මඬු, පාම්මඬු, පුනාමඩු, කංකාරි ආදියෙහි නොදියුණු තත්ත්වයන් මත වුව ද යම් යම් නාට්‍ය අංග තිබූ බව මහාචාර්යවරයාගේ අදහස වී තිබිණි.

මේ පසුබිම තුළ අප මේ පවසන මෙම ගීත නාටක කලාවේ සමාරම්භකයා වී ඇත්තේ කුරුණෑගල කටුපොත, දමුණුව, අලංකාරේ නම් ගම් ප්‍රදේශයේ විසූ එම්.පී. සිරිසේන මාස්ටර් නම් කලාකරුවෙකි. ඔහු මෙම කලාව තවදුරටත් සංවර්ධනය කරමින් පසුබිම් සංගීතය සහිතව දෙබස් පසුබිමින් සපයා ගමින් ගම ගොස් නාටක ප්‍රදර්ශනය කිරීමට මුල් වී ඇත. අති දක්ෂ දේශීය කලා ශිල්පියෙකු ලෙස ප්‍රකටව සිට ඇති  සිරිසේන කලාකරුවා “කන්දේගෙදර සරසවි කලායතනය” නමින් ආයතනයක් පිහිටුවා මෙම ගීත නාටක කලාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට වෙහෙස වී තිබේ. එවක් පටන් අද දක්වාම පවතිනුයේ ඔහු එදා ආරම්භ කළ නාට්‍ය සම්ප්‍රදාය වගට සාධක පවතී. පසුබිමින් දෙබස් සපයන විට අංග චලනයෙන් දෙබසට සමපාත වන සේ රංගනයෙන් දායක වීම මෙම නාට්‍ය සම්ප්‍රදායේ දී නළු නිළියන්ට පැවරෙන කාර්යභාරයයි. මේ පිළිබඳව විවිධ පර්‌යේෂණ සිදුකොට ඇති සම්මානලාභී ජනශ්‍රැති පර්‌යේෂක “චන්ද්‍රකුමාර ජයසුන්දර” පැවසුවේ මෙම නාටක සඳහා අනන්‍යය වූ සම්ප්‍රදායන් ද තිබී ඇති බවය. ඔහු මෙසේ කරුණු කීවේය. 

“දෙබස් කථන මුද්‍රා නාටක පෙන්වන කිසිම තැනක එළිමහන් රංග භූමිය හතරැස්වට සකස් කරන්නේ නෑ. රංග භූමිය අනිවාර්යයෙන් හදන්නේ රවුම් හැඩයකටය. ජනතාව නාට්‍ය නරඹන්නේ මේ විදිහට වෘත්තාකාරව සකස් කළ රංග භූමිය වටේ එකතු වෙලා. ඒ තමයි මුල් කාලයේ නාට්‍ය නටන්න කමත යොදා ගැනීමේ ආභාෂය. අද දක්වාම ආරක්ෂා වෙලා තියෙන්නේ ඒ සම්ප්‍රදාය. අද මේ කලාව යම් පසුබෑමකට ලක්වෙලා තියෙනවා. ඇතැම් ගීත නාටක කණ්ඩායම් එහි ප්‍රමිතිය ආරක්ෂා කර ගැනීමට අපොහොසත් වෙලා තියෙනවා. තවත් සමහරෙක් ප්‍රමිතිය ඉහළ දැමීමට ගොස් සම්ප්‍රදායෙන් පිට පනිනවා. සමහරු කරන්නේ මුල්කාලීන නිර්මාණ අනුකරණය කරන එක විතරයි. අලු‍ත් යමක් කරන බවක් පේන්නේ නෑ. මේ කලාවේ සම්ප්‍රදාය ආරක්ෂා කර ගනිමින් නවීකරණය වෙන්න ඕන කියන එක තමයි මගේ හැඟීම. ඒත් සංකර වෙන්ඩ බෑ. ඒ දේ කරන්න හැකියාව තියෙන්නෙ කලාව ගැන හසල දැනුමක් ඇති ශිල්පියෙකුට විතරයි. ඇත්තටම එහෙම අය අද අඩුයි.”‍ 

සිරිසේන මාස්ටර් ගෙන් පසුව මෙම නාට්‍ය සම්ප්‍රදාය ඉදිරියට ගෙන යමින් පසුකාලීනව කටුපොත, සියඹලන්ගමුව “සර්ධාරාණි කලා සංගමය” පිහිටුවා ගත් “එම්.පී. සර්ධාපති”  කලාකරුවා ද කන්දේගෙදර “සරසවි” කලායතනයේ ආරම්භක සාමාජිකයෙකි. අද ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තව ඇති සියලු‍ම ගීත නාටක සංගම් ව්‍යාප්ත වී ඇත්තේ ද කන්දේගෙදර සරසවි කලායතනයේ ආභාෂය ඔස්සේ බව කියැවේ. සර්ධාරාණි කලා සංගමයේ මුල් සාමාජිකයින්ව සිට ඇති මහේෂ් විමලරත්න සහ නිමල් කරුණාරත්න යන අය ද වෙන වෙනම කලා සංගම් පිහිටුවීමට මූලික වී ඇත. වාරියපොළ, කැඩපත්වෙහෙර “යෞවන කුමාර” කලා සංගමය මහේෂ් විමලවීර ගේ මූලිකත්වයෙන් ද, “නිල්මිණි” කලා සංගමය නිමල් කරුණාරත්න ගේ මූලිකත්වයෙන් ද ආරම්භ වී ඇත්තේ ඒ අනුවය.  අම්බලන්ගොඩ රූකඩවලට ප්‍රසිද්ධ වූයේ යම් සේද පසුකාලීනව කැඩපත්වෙහෙර ද ගීත නාටක සඳහා ප්‍රසිද්ධව ඇත්තේ ඒ අනුසාරයෙනි. 

දෙබස් කථන මුද්‍රා ගීත නාටක ජනගත කරලීමෙහිලා පුරෝගාමී මෙහෙවරක නියැළුණු සෙසු ශිල්පීන් අතර, ප්‍රවීන බටනළා වාදක එස්.පී.එස්. දොඹගහපුරණ, තබ්ලා වාද්‍ය ශිල්පී දිසානායක බමුණුගෙදර, විකට නළුවන් වූ සිරිල් ආණමඩුව සහ සිරිසේන පොතුවෑපිටිය, රංගන ශිල්පීන් වන එම්.පී.එස්. පොතුවෑපිටිය, ටී.බී. තලාකොලවැව, ටිකිරි මද්දුම අලංකාරගේ වැන්නෝ ‍වෙති. මේ කලාකරුවන් වැඩිදෙනෙක් අද ජීවතුන් අතර නැත. එම්.පී. සිරිසේන මාස්ටර් සහ එම්.පී. සර්ධාපති යන විශිෂ්ට කලාකරුවන් ද දැයෙන් සමුගෙන වසර ගණනාවකට පෙරාතුවය. 

මුල් වකවානුවේ කුරුණෑගල, කටුපොත, වාරියපොළ ආදී ප්‍රදේශවල රඟ දක්වා ඇති මෙම නාටක යාබදව පිහිටි අනුරාධපුරයේ ගම්මැදිවලට ද පසුකාලීනව ව්‍යාප්ත වී ඇත. පිහිටි බිමෙහි සැකසූ පටු එළිමහන් වේදිකාවක පැදුරේ වාඩිලා ගත් ශිල්පීන් වයන ඩොලැක්කිය, සර්පිනාව, බටනලාව, ගැට බෙරය, රබාන ආදී සාම්ප්‍රදායික වාද්‍ය භාණ්ඩ මධ්‍යයේ මෙම ගීත නාටක රග දක්වා ඇත. නළු, නිළියන් රඟන අතරේ තවත් ශිල්පීන් පිරිසක් පසුබිමෙහි හිඳ ජවනිකාවට අදාළව හඬ මුසු කරති. ගී ගායනා සඳහා තවත් ශිල්පී කණ්ඩායමක් සූදානමින් හිඳිති. වේදිකාව වට කොටගත් විවිධ රසඥතා වලින් යුතු විසල් පිරිසක් රැය පහන් වන තුරු මේ නාටක නැරඹීමට රොද බඳිති. ගම්මැදිවල අස්වනු නෙළන වකවානුවත් සමගම මෙම නාට්‍ය රඟ දැක්වීම එදා මෙන්ම අද ද පිළිවෙත වී තිබේ. 

ඓතිහාසික කතා පුවත්, ආගමික පණිවිඩ සහිත නාට්‍ය මෙන්ම සමාජ හා උපදේශාත්මක කතා මෙම ගීත නාටක සඳහා තේමා වී ඇත. ප්‍රේමය, විරහව, වීරත්වය සේම හාස්‍යය ද මේ බොහොමයක් නාටකවල පොදු ප්‍රවණතාවන් ලෙස හඳුනාගත හැකිව තිබේ. සිරිසඟබෝ, විහාරමහා දේවි, රාමායනය, සකුන්තලා, උන්මාද චිත්‍රා, විජය කුවේණි, පෝරිසාද, එරන්දතී, ලේ උරුමය, උප්පලවන්නා, පරිත්‍යාගය, මිණි කිරුළ  එවැනි නාටක කිහිපයකි. මේ එක් ගීත නාටක කණ්ඩායමක් සඳහා 15 - 20 ත් අතර පිරිසක් සම්බන්ධ වී ඇත. මෙසේ සම්බන්ධ වී ඇති බොහෝ දෙනෙකු ගේ ප්‍රධාන ජීවනෝපාය ද මෙයම වී ඇත. අනුරාධපුරය, කැකිරාව ආසන්නයේ ඇති කෝණපතිරාව ගම්මානයේ ශ්‍රීපාලි සත්සර කලා සංගමය පිහිටුවා සිය සැමියා සමග මෙම සාම්ප්‍රදායික කලාංගය රැක ගැනීමට අද දක්වාම වෙහෙසෙන “අයිරාංගනී දිසානායක” කලාකාරිනිය ඉකුත් දිනක අපට මුණ ගැසුණාය. ඈ සිය අත්දැකීම් අප හා විස්තර කළාය. 

“මුල් කාලේ මේ නාට්‍යවල නිළියන් විදිහට රඟපෑවෙත් පිරිමි අයමයි. හැබැයි දැන් ඒක වෙනස් වෙලා තියෙනවා. අද වෙන කොට කාන්තා චරිත රඟපාන්නේ කාන්තාවොම තමයි.  අපිට ආරාධනාවක් ලැබුණම දවස් හතරක් නැත්නම් පහක් ඒ තැන්වල නාට්‍ය පෙන්වනවා. ලොකු ආදායමක් නෑ. ඒත් කණ්ඩායමේ කාටවත් පාඩුවක් වෙන් නැති විදිහට තමයි අපි ආරාධනා භාරගන්නේ. සමහර අය වෙන රස්සා කරන ගමන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අපිට ආරාධනාවක් ලැබුණොත් කොහේ වුණත් අපි යනවා. කොහොම වුණත් ආත්ම තෘප්තියට මුල් තැන දීලා තමයි මේ හැමදේම කරන්න වෙලා තියෙන්නේ. ඝෝෂාකාරී සංගීතය යොදා ගෙන මේ කලාව කරන්න බෑ. ඒකෙන් වෙන්නේ මේකේ අන්‍යතාව විනාශ වෙන එක. ඒ කාලෙත් එක්ක බලන කොට ටිකක් අඩුවෙන් තමයි දැන් අපිට නාට්‍ය සංදර්ශනවලට ආරාධනා ලැබෙන්නේ. ගොඩක් වෙලාවට ගොයම් කපන කාලේ බලලා තමයි තාමත් නාට්‍ය පෙන්නන්න ආරාධනා එන්නේ.”

ගීත නාටක පිරිවරක් ගමෙහි ගත කරන දින කිහිපය මුළුල්ලෙහි ගැමියන්ට නින්ද සහමුලින්ම අහිමි වෙයි. නාටක පෙන්වනු මත්තෙන් සල්පිල් වෙන්දේසිය, ආධුනික ගීත ප්‍රසංගය ආදිය පැවැත්වීම ද ජනයා රැය පුරා රඳවා ගැනීමට උපකාරි වී තිබේ. රාත්‍රි හත අට වනවිට සල්පිල ආරම්භ වේ. ඈවරයි. දෙඈවරයි..තුන් ඈවරයි... නිවේදක තැනගේ හඬ ඇසෙයි. ගමේ ගායන ලාලිත්‍යයෙන් ගී ප්‍රසංගය රසවත් වෙයි. අවට තාවකාලික පොල්අතු කඩ කෑලි කීපයකි. කෑම බීම සපයන කඩ දෙකතුනකින් ද අඩුවක් නොමැත. 

රටකජු, ටොපි, ආදිය ද ගත හැකිය. තරුණ නෙත් ප්‍රේමාලිංගනයට ද මේ රාත්‍රිය කදිමය. සියල්ලක් අහවරව පූජා නැටුම පෙන්වා රෑ මැදියම ඉකුත් වෙත්ම නාටක රඟ දැක්වීම ඇරඹෙයි. පැදුරු කඩමාලු‍ අදිමින් කවුරුත් ඒ වටා පෙළගැහෙයි. එවක සරල, සැහැල්ලු‍ ගැමි ජීව සම්ප්‍රදායට මේ කලාංගය මහෝපකාරයක්ම වී ඇත. සියලු‍ දුෂ්කරතා මැද වුවද දාසය දෙනෙකු ගෙන් යුත් නාටක පිරිවරක් සමග ගමින් ගමට ගොස් ජුහුටා නටන අනුරාධපුරය, තලාව, කුරුදුවැව ගමේ “රත්නසිරි ගාර්ධිහේවා” කලා ශිල්පියා අප හා කීවේය. ඔහු “මධුසංඛ” නමින් නාට්‍ය සංගමයක් පිහිටුවා වසර හතලිහක් පමණ කලක් තිස්සේ මේ ගීත නාටක කලාව සමග දිවි ගෙවන්නේය.

“දැන් නාට්‍ය පෙන්වන විදිය ඉස්සරට වැඩිය ටිකක් වෙනස්. ඒ කාලේ මුලින් කෙටි නාට්‍යයක් පෙන්නලා පස්සේ පැය තුනක් විතර දිග නාට්‍යයක් පෙන්නුවා. ඒත් දැන් කෙටි නාට්‍යය පෙන්නන්නේ නැති තරම්. මුදල් හොයන අවශ්‍යතාව ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. රෑ 09 ඉඳලා 12.30 විතර වෙනකන් සින්දු කියන්න කැමැති අයට ආධුනික ගීත ප්‍රසංගයත් එක්ක සල්පිලයි, මල් වට්ටි වෙන්දේසියයි පවත්වනවා. ඒ හැමදේම ඉවර වෙලා රෑ මැදියමේ පටන් අරගෙන උදේ හය විතර වෙනකන් ගීත නාට්‍ය පෙන්නන්නේ. මිනිස්සු එළි වෙනකන්ම රඳවගන්න එක ලේසි නෑ. ඒකට විවිධ දේවල් එකතු කරන්න වෙලා තියෙනවා. සමහර නාට්‍ය කණ්ඩායම් සැන්ඩෝ දර්ශන වගේ දේවල් එකතු කරගෙන තියෙනවා. මොනව වුණත් දැන් මේ කලාවේ අවගමනයක් තමයි තියෙන්නේ. ඒ කාලේ අපිට ආරාධනාවක් ලැබුණම දවස් හතරක් නැත්නම් පහක් ඒ තැන්වල නාට්‍ය පෙන්වනවා.”

සාම්ප්‍රදායික වාද්‍ය භාණ්ඩ වලින් බැහැරව නුතන වාද්‍ය භාණ්ඩ භාවිතය ගීත නාටක කලාවේ ගතානුගතික බව විනාශ වීමට හේතු වී ඇතැයි කියැවේ. තවමත් මෙම ගීත නාටක කලාව නගරබදව ප්‍රචලිත නොවීම විශේෂත්වයකි. මාතලේ, කුරුණෑගල, අනුරාධපුර වැනි දිස්ත්‍රික්ක කිහිපයක හැරුණු විට සෙසු ප්‍රදේශවල මේ පිළිබඳව දැනුවත් බවක් නැතිකම පුදුමයට කරුණකි. මෙරට සාම්ප්‍රදායික කලා අංගයන්වල තවත් එක පිළිබිඹුවක් ලෙස මෙම ගීත නාටක හඳුන්වා දිය හැකිව තිබේ. එහෙත් මෙතෙක් මේ හුදකලා වෙසෙස පිළිබඳව වගකිවයුතු කිසිවෙකුගේ නිසි අවධානය යොමුව නොතිබීම අභාග්‍යයක්ව පවතී. එය මෙහි ප්‍රාථමික තත්ත්වයන් උත්සන්න වීමටත්, අනාගත යහපැවැත්ම අවිනිශ්චිත වීමටත් හේතු වී තිබේ. 

සටහන හා ඡායාරූප
බුල්නෑව ප්‍රදීප් රණතුංග

\