දැන් යළිත් වරක් කොවිඩ් 19 ගැන විදෙස් මාධ්‍ය කතා කරයි. ඊට හේතුව වී ඇත්තේ, ආසියානු කලාපීය රටවලින් නව කොවිඩ් 19 වෛරස ප්‍රභේදයක් හිස ඔසවා ඇති බැවිනි.
වසර හයකට පෙර චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ආරම්භ වූ කොවිඩ් 19 කොරෝනා වෛරසය 2020 වසරේ ලොව පුරා ව්‍යාප්ත විය. කොවිඩ් 19 අපගේ ජීවිත උඩු යටිකුරු කළේය. අප කාටත් මරණ බය දැනෙන්න විය. දෛනික කටයුතු අඩපණ විය. රෝහල් රෝගීන්ගෙන් පිරී ඉතිරී ගිය අතර, මළසිරුරු ගොඩ ගැහෙන්නට විය.
2020 ජනවාරි මාසයේ ගෝලීය වසංගතයක් වූ කොවිඩ් 19 වෛරසයේ සැර බාල වූයේ, 2023 මැයි මාසය වෙද්දීය. ගෝලීය වශයෙන් බෙදා දුන් ප්‍රතිශක්තිකරණ එන්නත්වල බලපෑම හේතුවෙන් සෙමින් වෛරසය අඩපණ විය. වෛරසයේ සැර බාල විය. විවිධ ප්‍රභේද බිහි වුවත් ඒවා මුල් වෛරසය තරම් බිහිසුණු නොවිණි. කොවිඩ් 19 ගෝලීය හදිසි තත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළේ 2020 මාර්තු 11 වැනිදාය. තවමත් කොවිඩ් 19 සැලකෙන්නේ ගෝලීය හදිසි තත්ත්වයක් ලෙසය.
දැන් යළිත් වරක් කොවිඩ් 19 ගැන විදෙස් මාධ්‍ය කතා කරයි. ඊට හේතුව වී ඇත්තේ, ආසියානු කලාපීය රටවලින් නව කොවිඩ් 19 වෛරස ප්‍රභේදයක් හිස ඔසවා ඇති බැවිනි. මෙය කිසිසේත් කලබල විය යුතු හෝ බිය විය යුතු තත්වයක් නොවුණත්, මේ ගැන දැනුවත් වීම සහ විමසිල්ලෙන් පසු වීම වැදගත්ය. ප්‍රතිශක්තීකරණයට ලක්වී ඇති බැවින් සහ කොවිඩ් 19 වෛරසයෙන් බේරී සිටීමට අනුගමනය කළ යුතු හොඳ සෞඛ්‍ය පුරුදු ගැන පැහැදිලි අවබෝධයක් අප හොඳින් දන්නා බැවින් කලබල වීමට හෝ බිය වීමට හෝ අවශ්‍ය නැත.
විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන ආකාරයට, මෙම නව කොවිඩ් 19 ප්‍රභේදය නම් කර ඇත්තේ ‘ජේ.එන්.’ යනුවෙනි. ආසියාවට අයත් චීනය, හොංකොං, සිංගප්පූරුව සහ තායිලන්තය යන රටවලින් මෙම නව කොවිඩ් 19 වෛරස ප්‍රභේදය ආසාදනය වූවන්ගේ වැඩි වීමක් දකින්න ලැබෙයි. එය අසාමාන්‍ය වේගවත් වැඩි වීමකි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය ද මේ වන විට මෙම නව වෛරස ප්‍රභේදය කෙරෙහි යොමු වී ඇත.
සිංගප්පූරුවෙන් මේ වන විට මෙම නව වෛරසය ආසාදනය වූවන් 11,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇත. ඒ, අප්‍රේල් අවසන් සතියේ සිට මේ දක්වා කාලයේය. මැයි මස පළමු සතියේ පමණක් සිංගප්පූරුවෙන් වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයන් ගණන 4,200ක් බව එරට සෞඛ්‍ය බලධාරීහු පවසති.
හොංකොං බලධාරින් ද පවසා ඇත්තේ, එරටින් ද දිනෙන් දින නව වෛරස ආසාදිතයන් වාර්තා වන බවය. මැයි 10 වැනිදා වන විට දින පහක කාලයක් ඇතුළත වාර්තා වුණු කොවිඩ් 19 ආසාදිතයන් ගණන දහසක් යැයි හොංකොං සෞඛ්‍ය බලධාරීහු පවසති. ඊට අමතරව මරණ 30ක් වාර්තා වේ.
තායිලන්තයෙන් වාර්තා වන තත්වය ද ඊට සමානය. එරටින් මේ වන විට වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන් ගණන 21,000කි. මරණ 19ක් ද වාර්තා වේ. තායිලන්තයේ කොවිඩ් 19 ආසාදිතයන් ද දිනපතා වැඩි වන බව එරට සෞඛ්‍ය අංශ උපුටා දක්වමින්, මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. තායිලන්ත සෞඛ්‍ය අංශ පවසන්නේ, ප්‍රධාන කොවිඩ් 19 පොකුරු දෙකක් හේතුවෙන් වෛරසය මෙසේ ව්‍යාප්ත වී යන බවත්, එම පොකුරුවලින් වෛරස ව්‍යාප්තිය වළක්වාගැනීමට උත්සාහ දරමින් සිටින බවත්ය.
චීන බෝවන රෝග ව්‍යාප්තිය වැළැක්වීම පිළිබඳ මධ්‍යස්ථානය පවසන්නේ, පසුගිය සති කිහිපයේ එරටින් ද කොවිඩ් 19 රෝගීන් දිනපතා වැඩි වැඩියෙන් හමුවන බවය. කොවිඩ් 19 ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා කරන වෛද්‍ය පරීක්ෂණ වැඩි කිරීමට පියවර ගෙන ඇතැයි ද චීන බෝවන රෝග ව්‍යාප්තිය වැළැක්වීම පිළිබඳ මධ්‍යස්ථානය වැඩිදුරටත් පැහැදිලි කර ඇත.
දකුණු ආසියාවේ මේ අයුරින් කොවිඩ් 19 නව ප්‍රභේදයක් ව්‍යාප්ත වෙද්දී, ඉන්දීය සෞඛ්‍ය අංශ පවා මේ වන විට ඒ ගැන විමසිල්ලෙන් පසුවන බව පැවැසෙයි. කෙසේ නමුත්, ජේ.එන්. කොවිඩ් 19 ප්‍රභේදය ඉන්දියාවේ ව්‍යාප්ත වන බවට කිසිදු තොරතුරක් මැයි 21 වැනිදා වන විට ලැබී නොතිබුණු බව ඉන්දීය සෞඛ්‍ය අංශ පැහැදිලි කර ඇත. මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් 19 ආසාදිතයන් ගණන 19ක් වන නමුත්, ඔවුන් අතරේ ජේ.එන්. කොවිඩ් 19 වයිරස ආසාදිතයන් නොමැති බව තහවුරු වී ඇත.
විද්‍යාඥයන්ට අනුව ජේ.එන්. වෛරස ප්‍රභේදය ඔමික්‍රෝන් - බී.ඒ. 2.8.6 යන නමින් නම් කෙරුණු කොවිඩ් 19 ප්‍රභේදයේ දිගුවකි. ජේ.එන්. කොවිඩ් 19 නිර්මාණය වී ඇත්තේ එකිනෙකට වෙනස් විකෘති 30කින් බව ද පැවැසෙයි. මේ ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය ද අවධානය යොමු කර ඇත. ජේ.එන්. වෛරස ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වෙන්නේ මේ නිසාය.
ජේ.එන්. වෛරසයේ රෝග ලක්ෂණ වන්නේ ද, උණ, සොටු දියර ගැලීම, වියළි කැස්ස, දැඩි හිසරදය, රස නොදැනී යෑම සහ ගඳ සුවඳ නොදැනී යෑම රෝග ලක්ෂණ වෙයි. අඩු ප්‍රතිශක්තියක් ඇති පුද්ගලයන්ට මෙම නව වෛරස ප්‍රභේදය මාරක වන බව වෛද්‍යවරුන්ගේ අදහසය. හොඳ සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම, මුහුණු ආවරණ පැලඳීම සහ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීම මගින් නව ප්‍රභේදයෙන් ආරක්ෂා වීමටත්, එයින් එල්ල වන අහිතකර බලපෑම්වලින් මිදීමටත් හැකි බව ද වෛද්‍යවරුන් උපදෙස් දී ඇත.
2020 දී ඇමෙරිකාව පුරා කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වෙද්දී එරට ජනාධිපති ධුරය හෙබවූයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ය. අදත් ඇමෙරිකාවේ ජනාධිපති ලෙස එම ධුරය හොබවන්නේ ද ට්‍රම්ප්ය. කොවිඩ් 19වයිරසය ඇමෙරිකානුවන් මිලියන 1.1ක් බිලි ගත්තේය. ට්‍රම්ප් දිගින් දිගටම චෝදනා කරන්න වූයේ, කොවිඩ් 19 චීනය විසින් එරට පර්‌යේෂණාගාරයක නිපදවූ වෛරසයක් බවත්, එය හිතාමතා හෝ අත්වැරැදීමකින් පර්යේෂණාගාරයෙන් පිටතට කාන්දු වන්නට ඇති බවත්ය. ආරම්භයේදී ට්‍රම්ප්, කොවිඩ් 19 වෛරසය හඳුන්වන්න වූයේ ද ‘චීන වෛරසය’ යන නමිනි.
කොවිඩ් 19 සුලමුල සම්බන්ධයෙන් ඇමෙරිකානු නීති සම්පාදකයන් වසර දෙකක විමර්ශන කටයුතු මේ වන විට අවසන් කර වාර්තාවක් ද ඉදිරිපත් කර ඇත. එම වාර්තාවේ දැක්වෙන ආකාරයට, 2019 වසර අවසානයේදී, කොවිඩ් 19 වෛරසය කාන්දු වී ඇත්තේ චීනයේ පර්‌යේෂණාගාරයකිනි. කොවිඩ් 19 වෛරසයේ සුලමුල සම්බන්ධයෙන් එළිදැක්වුණු එම වාර්තාව පිටු 520කින් සමන්විතය. ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයේ නියෝජිතයන් කොවිඩ් 19 සුලමුල සොයා මෙම වාර්තාව සකස් කළ බව පැවැසෙයි.
“අප මෙම වාර්තාව සකස් කළේ කොවිඩ් 19 වෛරසයේ සුලමුල ගැන සෙවීමට පමණක් නොවෙයි. ඇමෙරිකාවටත් මුළු ලෝකයටත් බලපෑම් කළ හැකි මීළඟ වෛරසයෙන් සමස්ත ලෝකයම ආරක්ෂා කරගැනීමේ අරමුණෙන්.”
විමර්ශන කමිටු සභාපති බ්‍රැඩ් වෙන්ස්ට්‍රප් ඇමෙරිකානු පාර්ලිමේන්තුව හෙවත් කොංග්‍රස් මණ්ඩලයට එසේ පැහැදිලි කරයි. කොවිඩ් 19ආරම්භය ගැන ඇමෙරිකාවේ ෆෙඩරල් ආයතන පමණක් නොව ලෝක සෞඛ්‍ය සංවිධානය ද විවිධ නිගමනවලට එළඹී ඇති නමුත්, ඒ සම්බන්ධයෙන් තවමත් පොදු සම්මුතියක් ඇති කරගෙන නැත.
ලුසිත ජයමාන්න
එන්.ඩී.ටී.වී. ඇසුරිනි