කොමිස් ගහන සුදු අලි


 

රටේ සල්ලි ගිලින ප්‍රධාන රාජ්‍ය ආයතන හතරක්
හොරකම් කරපු අයට දඬුවම් නෑ
වැඩිම පාඩුව ශ්‍රීලංකන් ගුවන් සමාගමෙන්

 

 

මේ වනවිට රටේ පවතින ආර්ථික අර්බුදයට රාජ්‍ය අංශවල පවතින වංචා දූෂණ ද ඉවහල් වූ බව රහසක් නොවේ. පවතින රජය පරාජය කොට හොරු අල්ලන්න ආ නව රජයන් කිසි කෙනෙක් අල්ලපු හොරෙක් නැත. දීපු දඬුවමක් ද නැත. මාධ්‍ය සංදර්ශන දමමින් දේශපාලකයින් කළේ හොරු ආරක්ෂා කිරීම පමණකි.   

 පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කළ හොරකම් ගැන බලයට ඒමට පෙර එදා විපක්ෂය පාරම් බෑවේය. යහපාලන ආණ්ඩුව බලයට ආ විට ජනතාව සිතුවේ නැවත මේ රටේ හොරකම් වෙන්නේ නැති වෙයි කියාය. හොරකම් කළ අයගේ දේපොළ රාජසන්තක වෙනු ඇතැයි කියාය. නමුත් කිසිම හොරෙක් ඇල්ලු‍වේ නැත. හොරා කාපු දේවල් පවරා ගත්තේද නැත.   


අන්තිමට වූයේ හොරු අල්ලන්න ආ යහපාලන ආණ්ඩුව මහ බැංකුව හොරා කෑමය. එදා මහින්දට හොරා කී යහපාලන ආණ්ඩුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දින 52 ආණ්ඩුවේ අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහතාව පත් කළේය. මහ බැංකුව හොරා කෑ යහපාලන ආණ්ඩුව ගෙදර යවා බලයට පැමිණි පොදු ජන පෙරමුණේ ආණ්ඩුව ද අල්ලපු හොරෙක් නැත. මහ බැංකු හොරා ලෙස ඔවුන් එදා හැඳින්වූ රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන්ගේම ඡන්දයෙන් අද ජනාධිපති බවට පත් කරගෙන ඇත. යහපාලනයේ හොර අල්ලන්න ආ ගෝඨාභය රාජපක්ෂ මහතා අද රටෙත් නැත.   


පොදු ජන පෙරමුණ ආණ්ඩුව යටතේ සුදු ලූනූ වංචාව, සීනි වංචාව, චීන පොහොරවලට නිකරුනේ ඩොලර් මිලියන 4.5ක් ගෙවීම ගැන අද කතා කරන්නේද නැත. අන්තිමට සිදු වූයේ දේශපාලන හොර මගඩි නිසා රට බංකොලොත් වීමය. මින් බැට කෑවේ ජනතාවය. ජනතාවට කන්න හාල් ටික නැත. උයන්න ගෑස් ටික නැත. වාහනයට තෙල් ටික නැත. බෙහෙත් ටික නැත. මේවා ගන්න පෝලිමේ ඉන්නට සිදු විය. නමුත් පාලකයින්ට මේවා ගාණක් නැති විය. නමුත් අවසානයේ ජනතාව පාරට බැස දේශපාලකයින්ට විරෝධය පෑවේ එහෙයිනි.   
එහෙත් අන්තිමට සිදු වූයේ යහපාලනයේ හොරකම් හොයන්න ආ ජනාධිපති රටින් පැනයාමය. මහ බැංකු හොරා ලෙස පොදු ජන පෙරමුණ හැඳින්වූ රනිල් වික්‍රමසිංහ මහතා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් ජනාධිපති වීමය. මේ දේශපාලන ක්‍රමය එපා හොරකම් එපා දූෂණය වංචාව එපා කියා හඬ නගා රට වෙනුවෙන් අරගල කළ තරුණ පිරිස් අද හිරගෙදරය. නමුත් දේශපාලකයින් කළ හොර ගනුදෙනුවලට ඒවාට සම්බන්ධ පිරිස්වලට දඬුවම් නැත. අරගල කළ තරුණ අයට දඬුවම් දෙන්නේ වැරැදි හොය හොයාය. පෙනෙන පරිදි මුන් ඔක්කෝම යාළු‍වෝ කියා අද ඔප්පු වී ඇත.   

 


චරිත හේරත් මහතා සභාපති ලෙස පත් වූ කෝප් කමිටුවේදී රාජ්‍ය ආයතන 420ක් පමණ විමර්ශනය කොට ඇත. ඉන් රාජ්‍ය ආයතන 32ක් ඉතා දූෂිත බවත් අලාභ ලබන බවත් හඳුනා ගැනුණි. මෙම ආයතන 32 අලාභය 2021 වසර වෙනවිට රුපියල් බිලියන 465ක් බව ද කෝප් කමිටුව මගින් අනාවරණය කරගෙන තිබුණි. ඒ පසුගිය වසර තුන සඳහා පමණි. 2018 දී මෙම ආයතන 32 රුපියල් බිලියන 193ක් ද 2019 දී රුපියල් බිලියන 158ක් ද 2020 දී රුපියල් බිලියන 114ක් ද පාඩු ලබා ඇති බව කෝප් කමිටුව අනාවරණය කරගෙන තිබුණි. මෙම ආයතන 32 අතරින් ශ්‍රීලන්කන් ගුවන් සමාගම, ලංකා විදුලිබල මණ්ඩලය, බනිජ තෙල් සංස්ථාව, ලංකා සතොස සමාගම ප්‍රධාන වශයෙන් පාඩු ලබන ආයතන බව කෝප් කමිටුව මගින් හඳුනාගෙන තිබුණි. ඉන් ශ්‍රීලන්කන් ගුවන් සමාගම 2018-2020 වසර තුනේදී පමණක් රාජ්‍ය ආයතන මුළු පාඩුවෙන් සියයට හතළිහක් පමණ වෙන බව ද කෝප් කමිටුව මගින් අනාවරණය කරගෙන තිබුණි.   


මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදු වූ එයාර්බස් ගනුදෙනුවක් ගැන පසුගිය කාලයේ දැඩි කතාබහට ලක්විය. එසේම පසුගිය කාලයේද කුලී පදනම මත එයාර්බස් මිලදී ගැනීමට සූදානමක් වීම ද වාර්තා විය. ප්‍රංශ ගුවන් යානා නිෂ්පාදන සමාගමක් සිය අතරමැදියන් යොදවමින් ශ්‍රී ලංකාව, මැලේසියාව, ඉන්දුනීසියාව, තායිවානය යන රටවලට ගුවන් යානා කොන්ත්‍රාත් ලබාදීමේ අරමුණින් අල්ලස් දුන් බවට චෝදනාවක් එල්ල විය. ඒ 2011 වසරේදීය. මෙම චෝදනා සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ බරපතළ වංචා කාර්යාලය වසර හතරක් පුරා විමර්ශනයක් කළේය.   


මෙම එයාර්බස් මිලට ගැනීම සහ බද්දට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් සමාගමේ ඉහළ නිලධාරියකුගේ බිරිඳට ඇ.ඩො. 16ක අල්ලසක් ලබාදීමට ද ඉහත කී ප්‍රංශ සමාගම කටයුතු කර තිබූ බව අදාළ නඩු තීන්දුවේ සඳහන් වෙයි. (Statement of prepared pursuant to paragraph 5 (1) of schedule 17 to the crime and court act 2013) මෙම ගනුදෙනුවේදී මිලදී ගන්නා සෑම ගුවන් යානයක් වෙනුවෙන්ම බ්‍රෝකර්වරයාට ඇ.ඩො. මිලියන 1.16ක කොමිස් මුදලක් ගෙවීමටද එකඟ වී මෙම ගිවිසුම අත්සන් කොට තිබුණ බව එම නඩු වාර්තාවේ සඳහන් වී ඇත. මේ එක් ගනුදෙනුවක් පමණි.   


ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධානියකු කූඨ ලේබන සකසා අති සුබෝපභෝගී මෝටර් රථයක් මිලදී ගැනීමක් කළාලු‍. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවක වෘත්තිය සමිති නියොජිතයෝ ද  පසුගිය කාලයේ මෙම කරුණු පෙන්වා දුන්හ. එම වාහනය අදාළ ප්‍රධානියාගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා බවද එදා වෘත්තිය සමිති නියෝජිතයෝ පෙන්වා දුන්හ. එම රථය ලබා දී තිබුණේ සුබෝපභෝගී බෙන්ස් රථයක් සහ ප්‍රාඩෝ රථයක් ද ලබා දී තිබූ පසුබිමකලු‍. එසේම දේශපාලන ප්‍රධානියකුගේ පුතෙකුගේ ඡන්ද වැඩ සඳහා සේවක සේවිකාවන් මුදාහැර තිබුණේ වැටුප් සහ අතිකාල දීමනා ද සමගින්ලු‍ යැයි වෘත්තිය සමිති නියෝජිතයෝ පෙන්වා දෙති.   


මෙවන් හේතු නිසා ශ්‍රීලංකන් ගුවන් සමාගම 2009-2019 කාලය තුළ රුපියල් කෝටි 24,000ක පාඩුවක් ලබා ඇත. එසේම ගුවන් යානා ඇණිය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා 2013-2014 වසරවලදී එළඹි අදාළ ගිවිසුම් අවසන් කිරීමේදී රුපියල් මිලියන 17058.1ක මුදලක් වන්දි වශයෙන් ගෙවීමට සිදුවීම රටේ ආර්ථිකයට ද දැඩි බලපෑමක් එල්ල කළ බව කෝප් කමිටුවේදී ද අවධාරණය කෙරුණි. 1998 දී එමිරේට්ස් සමාගමට ශ්‍රීලංකන් ගුවන් සමාගම පැවරුවේ අධික වැය බර නිසාය. නමුත් 2008දී එමිරේට්ස් සමාගම ආපසු බාර දෙන විට අපේ ගුවන් සේවයේ ලාබය බිලියන 4.9කි. නමුත් 2008න් පසු නැවත ක්‍රමයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගම පාඩු ලබන්නට විය. 2011 වසර වෙනවිට ශ්‍රීලංකන් ගුවන් සමාගම නැවත රුපියල් මිලියන 202.3ක පාඩුවක් ලැබූ බව කෝප් කමිටුවේදී අනාවරණය විය. ඒ හිටපු සභාපතිවරයකුගේ අයථා වැඩ නිසා බවද කෝප් කමිටුවේදී අනාවරණය විය.   
තෙල් සංස්ථාව ද පාඩු ලබන ආයතනයකි. 2021 වසරේදී බනිජ තෙල් සංස්ථාවේ පාඩුව රුපියල් බිලියන 41.7ක් බව මහ බැංකු වාර්තාව මගින් පෙන්වා දෙයි. 2021 වාර්ෂික මහ බැංකු වාර්තාව අනුව රාජ්‍ය ආයතනවලින් බනිජ තෙල් සංස්ථාවට අය විය යුතු මුදල රුපියල් බිලියන 161.1 දක්වා ඉහළ ගොස් ඇත. එසේම ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් රුපියල් බිලියන 33.2ක අනුපාත විචල්‍යතා අලාභයක් බනිජ තෙල් සංස්ථාවට ඇති වී තිබේ. එසේම මෙම තත්ත්වය තුළ 2021 වසර තුළ පමණක් රුපියල් බිලියන 82.2ක අලාභයක් බනිජ තෙල් සංස්ථාව ලබා ඇත. තවද 2021 වසරේදී බැංකු අංශයෙන් ගත් ණය පමණක් රුපියල් බිලියන 505.3 දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකු වාර්තාවේ සඳහන් වෙයි.   


මීට අමතරව අතිකාල දීමනා සහ සේවක අතිරික්තයද බනිජ තෙල් සංස්ථාවේ පාඩුවට එක් හේතුවක් බව කෝප් කමිටුවේදී හෙළි විය. රජයේ සේවකයින් නිවසේ සිට රාජකාරි කිරීමට හැදූ පසුබිමක් තුළ බනිජ තෙල් සංස්ථාවේ සමහර සේවකයෝ අදාළ දින වැඩට නොපැමිණි බව තෙල් සංස්ථාවේ ප්‍රකාශකයකු පැවසුවේය. එම සේවකයින් සෙනසුරාදා සහ ඉරිදා දිනවල පැමිණ අතිකාල ලබාගෙන ඇති බව ද එම ප්‍රකාශකයා පෙන්වා දෙයි. තවද පසුගිය සති තුනක ඉන්ධන බෙදාහැරීම නොකළ කාල සීමාවේ පමණක් රුපියල් කෝටි 40කට වඩා වැඩි වැටුපක් බනිජ තෙල් සංස්ථාවේ වැටුප් වශයෙන් ගෙවා ඇති බවද එම ප්‍රකාශකයා පෙන්වා දෙයි. මොන තරම් පාඩු වුවද බනිජ තෙල් සංස්ථාවේ සේවකයින් සඳහා වසරකට රුපියල් කෝටි 150ක මුදලක් බෝනස් සඳහා වැය කර තිබුණි. බනිජ තෙල් සංස්ථාවේ දිනක පාඩුව රුපියල් කෝටි 55කි. එලෙස පාඩු ලබන ආයතනයක් බෝනස් සඳහා රුපියල් කෝටි 150ක් වැය කිරීම කොතරම් කාලෝචිත ද යන්න විමසා බැලිය යුතුය.   

  • හොරා කෑමට දේශපාලකයෝ මෙන්ම නිලධාරීනුත් හවුල්
  • හොරකම් නතර කරන්න කී අරගලකරුවන් හිරේ දානවා 

 

සේවකයින් 5200කට පමණ මෙලෙස වසරකට තුන් වරක් බනිජ තෙල් සංස්ථාව බෝනස් ලබා දෙන බව කියා සිටියේ හිටපු බනිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිල විසිනි. තවද තෙල් සංස්ථාවේ තොග ගබඩා පර්යන්ත සේවකයින් සඳහා මේ වන විටත් මාසයකට රුපියල් කෝටි 25-30ක අතිකාල දීමනා ගෙවන බවද සංස්ථාවේ මූල්‍ය අංශද පෙන්වා දෙයි. ඒ අනුව ඩොලර් බිලියන 3.71ක එනම් රුපියල් බිලියන 750කට වැඩි ණයක් සහිත ආණ්ඩුවට පසු ලංකාවේ සිටින ලොකුම ණයගැතියා බනිජ තෙල් සංස්ථාව බව හිටපු ඇමැති උදය ගම්මන්පිල ද වරක් පෙන්වා දුන්නේය.   

 

 

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ දූෂණ වංචා ගැනද පසුගිය කෝප් කමිටුවේදී අනාවරණය විය. එහිදී කියැවුණේ 2021 වසර සඳහා පමණක් වරාය සේවකයින්ගේ අතිකාල දීමනා ලෙස රුපියල් මිලියන 5850ක මුදලක් ගෙවා ඇති බවය. එක් සේවකයෙක් දළ වශයෙන් රුපියල් පන් ලක්ෂ අසූපන් දහසක අතිකාල කර ඇති බව ද කෝප් කමිටුවේදී අනාවරණය විය. එසේම සේවකයකුට මාසයකට ඇත්තේ අතිකාල පැය 720ක් බවද ඉන් අනාවරණය කෙරුණි. තවද වරාය සේවකයින්ගේ ආහාර වේලට කජු ලබාදීම සඳහා රුපියල් මිලියන 47ක් වැයකර ඇති බවය. නමුත් මෙම චෝදනාවලට පිළිතුරු යවමින් වරාය වෘත්තීය සමිතියක් වන සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය නිශ්ප්‍රභ කර ඇත.   


එම වෘත්තිය සමිතිය පෙන්වා දෙන පරිදි වරාය සේවකයින් සිය කෑම වේලට කජු ඉල්ලා නැත. ඔවුන් ඉල්ලා ඇත්තේ පෝෂ්‍යදායි ආහාර වේලකි. වරායට කජු ලබාදෙන ආයතනයට පිටින් වෙනත් සමාගමකට ටෙන්ඩරය ගිය විට එය අවලංගු කොට පෙර සමාගමට ලබා දී තිබුණේ මොන ඇමැතිවරයාගේ වුවමනාවට දැයි සොයා බැලිය යුතුය. වරාය වෘත්තීය සමිති පෙන්වා දෙන පරිදි වරාය මුළුතැන්ගෙය ඇතැම් නිලධාරීන්ගේ සහ දේශපාලකයින්ගේ ආදායම් මාර්ගයක් වී ඇති බව වෘත්තීය සමිති පෙන්වා දෙයි.   


එසේම නැගෙනහිර පර්යන්තය ඉදිකිරීම සඳහා දොඹකර ඇතුළු උපකරණ ගෙන්වීමට 2014 දී කටයුතු කර තිබුණි. නමුත් 2015 දී බලයට ආ යහපාලන ආණ්ඩුව එම ඇණවුම අවලංගු කිරීමෙන් වරායට වූ පාඩුව රුපියල් බිලියන ගණනක් බවද වාර්තා වෙයි. එසේම වරායේ සංවේදී ස්ථානයක පිහිටි අක්කර 13ක ඉඩම විදේශීය සමාගමකට විකුණා ඇත්තේ කුණු කොල්ලයට බව ද වෘත්තීය සමිති පෙන්වා දෙයි. මේ ගැන වාර්තා වීමත් සමග එම ගනුදෙනුව නවතා ඉඩම නැවත තක්සේරු කළ විට එම මිල කලින් මිලට වඩා සියයට 1200ක වැඩි වීමක් වී ඇත.   


කොවිඩ් වසංගත කාලයේ සේවකයින්ට ලබා දීමට තිබූ මාස්ක් එකෙන්ද ඇතැම් පිරිස් හොරා කා තිබූ බව වාර්තා වෙයි. අදාළ ආයතනය රුපියල් 20ට ලබා දී තිබූ මාස්ක් එකක් වරාය තුළට එද්දී එකක මිල රුපියල් 40ක් වී ඇත. ඉන් සොරා කෑවේ වරායේ මුදල්ය. නෞකා මෙහෙයුම් කටයුතුවලදී ගොඩබාන එක බහාලු‍මක් වෙනුවෙන් සේවකයකුට ඩොලර් දෙකක මුදලක් ගෙවීමට මේ වසරේදී එකඟ වී ඇත. නමුත් එම මුදල සේවකයින්ට නිසි පරිදි නොලැබෙන බව දැනගන්නට තිබේ. එම මුදල වරාය අධිකාරියට ද ලැබෙන්නේ නැත. එය යන්නේ කාගේ හෝ සාක්කුවට බව වෘත්තීය සමිති පෙන්වා දෙයි. එසේම ලාබ ලබන ආයතනයක් පාඩු වන්නේ මෙහි ඇති දූෂණ අක්‍රමිකතා නිසා බවත් ඒ ගැන සොයා බලන ලෙසද වෘත්තීය සමිති කෝප් කමිටුවෙන් ඉල්ලීමක් ද කර ඇත.   


වරායේ වෘත්තීය සමිති නගන චෝදනා ගැන අපි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයාගෙන්ද විමසීමක් කළෙමු. නමුත් සභාපතිවරයාගෙන් පිළිතුරු නැති විය.   


සීනි ආනයනය කිරීමේදී පැවති වෙළෙඳ භාණ්ඩ මත බදු මුදල ශත 25 දක්වා අඩු කිරීම මත ලංකා සතොස ආයතනයට සිදු වූ පාඩුව රුපියල් 102,113,974.00 කි. ඒ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර තිබූ වාර්තාවේ පැහැදිලිව දක්වා ඇත. සීනි බදු අඩු කරන විට සතොස සතුව සීනි මෙට්‍රික් ටොන් 919.4ක් තිබී ඇත. එම සීනි සඳහා කිලෝවකට රුපියල් 125.41ක් ගෙවා තිබුණි. එම සීනි තොගය අලෙවි කළේ රුපියල් 85කටය. එමගින් සතොසට වූ පාඩුව රුපියල් තුන් කෝටි හැත්තෑ එක් ලක්ෂ පනස් නවදාස් නවසිය හැත්තෑ හතරකි. එමෙන්ම සීනි බද්ද අඩු කිරීම නිසා සතොස සීනි මෙට්‍රික් ටොන් 2050ක් රුපියල් 92 සහ රුපියල් 112 ගණනේ මිලදී ගෙන තිබුණි. වැඩි මිලට ගත් සීනි රුපියල් 85 ගණනේ අලෙවි කිරීම නිසා මෙම පාඩුව සිදු විය. සතොස සීනි කිලෝවක් වෙනුවෙන් රුපියල් 80ක උපරිම මිලක් නියම කිරීමත් සමග සීනි කිලෝග්‍රෑම් විසිතුන් ලක්ෂ හැත්තෑ අටදහසක් ඊට වැඩි මිලට මිලදී ගෙන තිබුණි. මේ හේතුවෙන් රුපියල් එක් කෝටි හැත්තෑ පන් ලක්ෂ අනූහතර දහසක පාඩුවක් ද සතොසට පාඩු විය.   


රාජ්‍ය නීතිගත සංස්ථාවෙන් ලංකා සතොස වෙත නිකුත් කරන ලද සහල් කිලෝ ලක්ෂ තුනක් හොර පාරෙන් හොරොව්පොතාන මෝලකට රැගෙන ගොස් තිබියදී හසු වූයේ ජුනි මාසයේ දී වාර්තා විය. ඉන් ලංකා සතොසට වූ පාඩුව රුපියල් කෝටි හයකට වැඩි බව ද දැනගන්නට තිබේ.   

 

 

  • සතොස, වරාය හොරකම් පිටුපස දේශපාලකයෝ

 

සුදු ලූනු වංචාව සතොස පාඩු ලැබූ අනෙක් ක්‍රමයයි. මේ ගනුදෙනුවෙන් සතොස ආයතනයේ එක්තරා නිලධාරියකුට රුපියල් දහසය ලක්ෂ හතළිස් පන්දහසක කොමිස් මුදලක් ද ගෙවනු ලැබූ බවට තොරතුරු අනාවරණය වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දුනි. සුදු ලූනු කිලෝවකින් රුපියල් 30ක කොමිස් මුදලක් සතොස ආයතනයේ නිලධාරියාට ලැබෙන පරිදි මෙම ගනුදෙනුව ක්‍රියාත්මක විය. සතොස ආයතනය ජනතාවට සහනදායි මිලට අලෙවි කිරීම සඳහා තිබූ රුපියල් ලක්ෂ 74ක් වටිනා සුදු ලූනු කිලෝග්‍රෑම් 54,860ක් වංචනික ලෙස මිලට ගෙන තිබුණේ ඉන්දියන් ජාතිකයකු විසිනි. මීට අමතරව සහල් ආනයනයේදී මෙන්ම වතුර බෝතල් වංචාවේදී ලංකා සතොස ආයතනයට බොහෝ පාඩු සිදු වී ඇත. මෙම ගනුදෙනු පිටුපස රාජ්‍ය ආයතනයක ප්‍රධානියකු මෙන්ම ප්‍රභූ පුතෙක් ද සිටින බව සතොස සේවකයෝම පවසති.   


අප මේ ඉදිරිපත් කළේ මෙරට ප්‍රධාන රාජ්‍ය ආයතන පාඩු ලබන ක්‍රම කිහිපයක් පමණි. මෙම ක්‍රියාදාම පිටුපස දේශපාලකයින් මෙන්ම නිලධාරීන් ද සිටින බව කිව යුතුය. මේ අයගේ වංචා දූෂණ නිසා බැට කන්නේ මේ රටේ අහිංසක ජනතාවය. හොරකමේ ගිය දේශපාලකයින්ට තියා නිලධාරීන්ටද දඬුවම් ලැබෙන බවක් දක්නට නැත.

 

 

සටහන : 
ප්‍රගීත් සම්පත් කරුණාතිලක