කේළම් කියලා කඩන්න තරම් ලොකු යාළුකමක් ඔයාගෙයි මගෙයි නෑනේ ...’’


“ඒයි ඔහොම ඉන්නවා..”   


 පහත් වුවත් නපුරු හඬින් කියමින් නිත්‍යා දිනේෂි වෙත පැමිණියේ වටපිට ද සෝදිසි කිරීමෙන් අනතුරුවය. දැඩි සිත් පීඩාවෙන් පසුවෙන දිනේෂිට තවත් වරක් ඇය සමඟ ගැටුමක් ඇතිකර ගැනීමේ වුවමනාවක් නොතිබිණි. ඊටත් වඩා තාත්තා රැකියාවෙන් පහ කරවන බවට ඇය විසින් කරන ලද තර්ජනය ද සුළු කොට තැකිය නොහැකි වූයේය. ඇයට මුහුණ නොදී පලා යන්නට වුවමනා වුව ද එබඳු ශක්තියක් නැති තැනැත්තී ගල් ගැසුණාක් මෙන් එතැන මවූ අරලිය ගස් සෙවනේ නතර වූවාය. ඇගේ ඇස්වල වූයේ ‘අනේ මට කරදර කරන්න එපා.’ ආයාචනය වුවත් ක්‍රෝධයෙන් වැසුණු නෙතැති නිත්‍යාට එය කියවා ගත නොහැකි වූයේය. සිය මුදල් බලයෙන් ලබා ගත නොහැකි සම්පතක් නැතැයි අධි තක්සේරුවක සිටින ඇයට සිය ඒකායන පැතුම වන සකුණ වෙනුවෙන් ගැටෙන්නට සිදු වී තිබුණේ පහළ පන්තියේ කෙල්ලක සමඟය. ඇය වඩාත් පීඩාවට පත්වූයේ එම නිසාය.

   
 “ගුඩ් මෝර්නින්..” 

 
 තමාට ළං වූ ඉහළ පන්තියේ යුවතියගේ දෙනෙත්වල ඇවිලෙන ගින්දර හැඳින ගත්තේ වී නමුත් දිනේෂි සන්සුන් ස්වරයෙන් කීවාය. ඇයට වුවමනා වී තිබුණේ තමා රණ්ඩුවකට නොඑළඹෙන බවට සහතිකයක් නිත්‍යාට දෙන්නටය. එහෙත් නිත්‍යා රවා බැලුවාය.   
 “කේළම් කියලා, සකුණයි මායි කොටවලා මොකක්ද තමුසෙට ලැබෙන වාසිය..? සකුණ තමුසෙට කැමැති වෙයි කියලා හිතනවද..?” ඇය ඇසුවේ සාවඥ හඬිනි.   
 දිනේෂි උඩබිම බැලුවාය. නිත්‍යා මේ කරන චෝදනාව එහෙම පිටින්ම සාවද්‍ය නොවන්නේ දැයි ඇයට සිතිණි. ඇය කිසිම විටෙක කාටවත් කේළාම් කියා එකිනෙකා කොටවා නැත. එමෙන්ම සකුණ ගැන ඇය තුළ ඇත්තේ ගෞරවනීය හැඟීමක් මිස හිමිකර ගැනීමේ ආශාවක් නොවේ. ඇයට කිසිදු බියකින් චකිතයකින් තොරව සිය සිත විවර කළ හැක්කේ ඔහු හමුවේ පමණකි. එහෙත් ඒවා කාටවත් පැහැදිලි කර දීමේ හැකියාවක් හෝ වුවමනාවක් ඇයට නොවිණි.   


 “ඇටි කෙහෙල් කාපු උගුඩුවාවාගෙ උඩබිම බලබලා ඉන්නෙ නැතුව කතාකරනවා.. මොනවද තමුසෙ සකුණට මං ගැන කිව්වෙ..?”   
 නිත්‍යා විමසුවේ දත් මිටි කමිනි.   
 “මොනවද ඔයා මේ කියන්නෙ නිත්‍යා අක්කෙ.? මම සකුණ අයියට ඔයා ගැන මොනවා කියන්න ද? ඊටත් මට එයාව හම්බවුණෙත් නෑ..” දිනේෂි කීවේ අවංකවමය.   
 “මේ.. බොරු විතරක් කියන්න ලෑස්ති වෙන්න එපා..”   
 නිත්‍යා ඇඟිල්ල ලෙලවමින් තරවටු ස්වරයෙන් පැවසුවේ සාමකාමී කතාබහකට සිත තුළවූ ප්‍රාර්ථනා කෙමෙන් වියැකී යද්දීය.   
 “මට ඔයාට බොරු කියන්න ඕනකමක් නෑ.. අනිත් එක සකුණ අයියා හම්බවුණා නම් ඔයා ගැන කතා නොකළට එයාටයි මටයි කතා කරන්න හුඟක් දේවල් තියෙනවා..”   
 දිනේෂි උඩඟු ස්වරයෙන් පැවසුවාය.   


 “මේකිගෙ තියෙන අහංකාරකම.. දෙන්න හිතයි දත්ටික ගැලවිලා බඩට යන්න..”   
 නිත්‍යා කීවේ දිනේෂිට පහර දෙන්නට මෙන් අත ද ගස්සමිනි. දිනේෂි බියවූයේ නැත.   
 “බල්ලෙක් වුණත් හපන්න එන්නෙ අපි ඌට බයයි කියලා පෙන්නුවම තමයි..” තාත්තා විසින් ඈත අතීතයේ දිනෙක කියන ලද එවදන් කොහේදෝ තිබී ඇගේ සිතට පිවිසියේය.   
 “නිත්‍යා අක්කෙ මේ.. පින්සිද්ධවෙයි මට මගේ පාඩුවේ ඉන්න ඉඩ දීලා සකුණ අයියත් එක්ක තියෙන ප්‍රශ්න එයත් එක්ක බලා ගන්න.. මට විසඳන්න මගේ උසට ප්‍රශ්න තියෙනවා..”   
 ආත්මානුකම්පාවෙන් පිරුණ සිත ආයාසයෙන් පාලනය කර ගනිමින් ඇය දැඩි හඬකින් කීවාය. මේ ගැටුම දිගින් දිගට මෙසේ ඇදී ගියහොත් එයට පාසලේ අනෙක් අයගේ අවධානය ද ලක් වීම වැළැක්විය නොහැකිය. ඉන් ඇගේ සිතේ සාමයට පමණක් නොව සකුණගේ ප්‍රතිරූපයට ද සිදුවන්නේ හානියකි. ඇයට වුවමනා කළේ මෙය මෙතැනින්ම අවසන්කර දමන්නටය.   


 “තමුන්ගෙ තාත්තට රස්සාව නැතිවුණොත් එහෙම ඒ ප්‍රශ්න තවත් දෙගුණයක් වෙයි කියලා මතක තියා ගන්නවා..”   
 නිත්‍යා දෙවන වරට ද ඒ තරවටුව කළාය.

   
 “මොකක්ද මෙතන වෙන්නෙ..? මොකද ඔය දෙන්නා රණ්ඩු කරන්නෙ..?”   
 රළු හඬකින් එසේ අසාගෙන සකුණ එතැනට පිවිසියේ ඔවුන් දෙදෙනාම අපේක්ෂා නොකළ අවස්ථාවකය. ඔහු අරලිය ගසට මුවා වී කතාවට සවන් දී සිටියේදැයි හැඟීම දෙදෙනාටම දැනිණි. දිනේෂි ඒ පිළිබඳව සතුටට පත්වූ අතර නිත්‍යාට චකිතයක් හා බියමුසු බවක් දැනිණි. ඇය තොල සපාගෙන වටපිට බැලුවාය. සකුණ දැඩි බැල්මකින් යුතුව යුවතියන් දෙදෙනා ඉදිරියෙන් සිට ගත්තේය. ඔහුගේ සුදු නිල ඇඳුමේ සාක්කුව මත පැළඳුණ රිදී පැහැති ශිෂ්‍ය නායක ලාංඡනය මත හිරු කිරණක් වැදී පරාවර්තනය වූයේ යුවතියන්ගේ ඇස් නිලංකාර කරවමිනි. තමාගේ රහස් බෙදාහදා ගන්නා සකුණ අයියා නොව මෙතැන සිටින්නේ කාලයක් ඇය බියපත්කර වූ ශිෂ්‍යනායකයා බැව් දිනේෂිට වැටහිණි. එහෙත් ඔහු සම්බන්ධ මේ ප්‍රශ්නය ඔහු සමඟම විසඳා ගන්නට ඉඩ ලැබීම සිතට ලොකු සහනයක් වෙනවා නොඅනුමානයයි ඇයට සිතිණි.   
 “සකුණ අයියෙ.. මම ඔයාට කේළම් කියලා ඔයාවයි නිත්‍යා අක්කවයි කෙටෙව්වා කියලා එයා මට බණිනවා.. ඔයාම කියන්නකො මම ඔයාට එයා ගැන වචනයක්වත් කිව්ව ද කියලා..”   


 ඇය වහාම සිය දුක් ගැනවිල්ල ඉදිරිපත් කළාය.   
 “කතා කරන්න ඔයාව මට හම්බවුණායැ..”   


 දිනේෂි කී ලෙසින්ම සකුණත් කීවේ වී නමුත් නිත්‍යා එය විශ්වාස කළේ නැත. එසේ කියන්නට ඔවුන් දෙදෙනා කලින් කතාකරගෙන ඉන්නට ඇතැයි ඇයට සිතිණි. වැහිබර අහසක වළාකුළු පහ වී ගියවිටෙක මෙන් දිනේෂිගේ මුහුණ පැහැපත් වූයේය. ඒ වළාකුළු සියල්ල පාවීගොස් නැවතුණේ නිත්‍යාගේ මුහුණේය.   
 “අනිත් එක කේළම් කියලා කඩන්න තරම් ලොකු යාළුකමක් ඔයාගෙයි මගෙයි නෑනෙ..”   
 සකුණ පුදුමයෙන් මෙන් කීවිට නිත්‍යාට දැනුණේ දෙනෝදාහක් මැද්දේ ඇඳිවත උනාවැටුණ කලෙක දැනෙන්නාක්මෙන් ලජ්ජාවකි. එවන් මිතුරුකමක් නැති බැව් සැබෑවක් වුවත් ඔහු මේ පස මිතුරු කෙල්ල ඉදිරියේ එසේ නොකිවයුතුව තිබිණි. ඇය දැන් ජයග්‍රාහී හැඟීමෙන් උදම්වෙනවා නොඅනුමානය. නිත්‍යාට දැඩිකෝපයක් දැනෙන්නට වූයේය.   
 “සකුණ ඔයා මට ලොකු අපහාසයක් කළේ.. මම මේක ලේසියෙන් අමතක කරන්නෙ නෑ කියලා මතක තියා ගන්න.. ඒ වගේම තමුසෙත් මතක තියා ගන්නවා මම කවදාවත් කරනවා කිව්ව දෙයක් නොකර ඉන්නෙ නෑ කියලා..”   


 දත්මිටි කමින් දෙදෙනාටම තරවටු කළ ඇය වේගයෙන් සිය පන්තිය දෙසට දිව ගියාය. සකුණ තොල සපාගෙන කල්පනාකාරී බැල්මකින් ඇය යන දෙස බලා සිටියේය. පිටතට පනින්නට තරම් වේගයෙන් ගැහෙන හදවත පාලනය කර ගන්නට මෙන් දිනේෂි පපුවට අත තබා ගත්තාය.   
 “නිත්‍යා මීට කලිනුත් රණ්ඩු වුණා කියලා ඇයි ඔයා මට කිව්වෙ නැත්තෙ..?”   
 සකුණ චෝදනාවක හඬින් ඇසුවේ නිත්‍යා නොපෙනී ගියාට පසුවය. දිනේෂිට වරදකාරී හැඟීමක් දැනිණි.   
 “ඇත්තටම කවුද අයියට ඒක කිව්වෙ..? නිත්‍යා අක්කා හිතාගෙන ඉන්නෙ මම කේළම් කිව්වා කියලා.. මම හිතාගෙන හිටියෙ මම නම් ඒක කියන්නෙම නෑ කියලා..”   
 “මට කිව්වෙ නිත්‍යාගෙ යාළුවා.. මිතුනි...”   


 “මොනවා..?” දිනේෂිට කෑ ගැසිණි.   


 පළමු දිනයේ ඇයට තරවටු කරන්නට නිත්‍යා පැමිණියේ මිතුනිත් සමඟය. මිතුනි කිසි විටෙක සිය මිතුරියට එරෙහිව කේළාම් කියනවා ඇතැයි විශ්වාස කරන්නට නොහැකිය.   
 “හොඳයි මම බලා ගන්නම්කො..”   


 අම්මාට සිද්ධිය කී කල ඇය තරවටු ස්වරයෙන් එසේ කී අන්දම දිනේෂිට සිහිපත් වූයේ ඒ සමඟමය.   
 “අම්මා තමයි මිතුනි ලවා කියවන්න ඇත්තෙ එහෙනම්..”   


 ඇය කල්පනා කළේ අම්මාගේ ආත්මයේ බල සම්පන්න බව පිළිබඳ චිත්‍රයක් සිතේ ඇඳ ගනිමිනි.   
 ‘හරි.. ඔයා දැන් පන්තියට යන්න.. අපි පස්සෙ ඕක ගැන කතා කරමු.. මතක තියා ගන්න මේ ගැන ඔයාගෙ හොඳම යාළුවා එක්කවත් කතා කරන්න නම් එපා..” සකුණ අවධාරණය කළේය.   


 ලබන සතියට ...