
අප සෞරග්‍රහ මණ්ඩලය අයත් මන්දාකිණියෙන් විස්මිත අබිරහස් වස්තුවක් හමුවුණු බවත් - එම වස්තුව සෑම මිනිත්තු 44 කට වරක්ම මිනිත්තු දෙකක් පුරා එක්ස් කිරණ සහ රේඩියෝ තරංග එකවර නිකුත් කරන බවත්, විද්‍යාඥයෝ පවසති.
විද්‍යාඥයන්ට අනුව මේ ආකාරයේ වස්තුවක් අප සෞරග්‍රහ මණ්ඩලය අයත් මන්දාකිණියෙන් හමුවුණු පළමු අවස්ථාව මෙයයි. අප මන්දාකිණිය ක්ෂීරපථය යනුවෙන් හැඳින්වෙන අතර, විද්‍යාඥයන්ට අනුව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 14,700 ක දුරකින් එය පිහිටයි.
ආලෝක වර්ෂ යනු අභ්‍යවකාශයේ දුර මනින ඒකකයයි. ආලෝක වර්ෂ කාලය මනින ඒකකයක් නම් නොවෙයි. ආලෝක වර්ෂ යන්නෙහි ’වර්ෂ’ යන වදන ඇති බැවින් ඇතැමුන් මෙය කාලය මනින ඒකකයක් යැයි වරදවා වටහා ගත්තද, එය එසේ නොවෙයි. සරලව කීවොත් ආලෝක වර්ෂයක් යනු ආලෝකය රික්තකයක් තුළ වසරක් තුළ ගමන් කරන දුර ප්‍රමාණයයි. ආලෝකයේ වේගය තත්පරයට කිලෝමීටර 299,792.458 (ආසන්න වශයෙන් තත්පරයට කිලෝමීටර 300,000 ක්) පමණය. මෙම විශ්මිත වේගය යොදාගෙන ගණනය කළ විට, එක් ආලෝක වර්ෂයක් යනු දළ වශයෙන් කිලෝමීටර ට්‍රිලියන 9.46 ක් (කි.මී. 9,460,000,000,000) තරම් විශාල දුරකි.
සෑම මිනිත්තු 44 කට වරක්ම මිනිත්තු දෙකක් පුරා එක්ස් කිරණ සහ රේඩියෝ තරංග එකවර නිකුත් කරන අබිරහස් වස්තුව කුමක්දැයි විද්‍යාඥයන් හරිහැටි දන්නේ නැත. ඔවුන් මෙම වස්තුව නම් කර ඇත්තේ - ඒ. එස්. කේ. ඒ. පී. ජේ 1832-0911 යන කේත නාමයෙනි.

ඒ. එස්. කේ. ඒ. පී. ජේ 1832 - 0911 එක්ස් කිරණ සහ රේඩියෝ තරංග එකවර නිකුත් කළත් - විශ්වයෙන් එන එක්ස් කිරණ සහ රේඩියෝ තරංග විද්‍යාඥයන්ට අලුත් දෙයක් නොවෙයි. නිරන්තරයෙන් විශ්වය ගැන විමසිල්ලෙන් පසුවන තාරකා විද්‍යාඥයෝ දුරේක්ෂ ආධාරයෙන් එක්ස් කිරණ හෝ රේඩියෝ තරංග හසු කර ගැනීම් සිදු කරති. එසේ වුවත් එක්ස් කිරණ සහ රේඩියෝ තරංග එකවර නිකුත් කරන මෙම වස්තුව විද්‍යාඥයන් අන්දුන් කුන්දුන් කර අවසන්ය.
මෙම අබිරහස් වස්තුව ස්ථානගතව ඇතැයි විද්‍යාඥයන් පවසන්නේ - ක්ෂීරපථයේ ගැඹුරු කලාපයේ තරු, වායු සහ දූවිලි අතරේ වන අතර, මේ පුවත ලොවට හෙළි කළේ - ඕස්ට්‍රේලියාවේ කර්ටින් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ඇන්ඩි වැන්ග් සහ ඔහු ගේ විද්‍යාඥයන් කණ්ඩායමය.
“අපට අනුමාන කරන්න පුළුවන්. ඒත් නිශ්චිතව මේ වස්තුව කුමක්දැයි කියන්න බැහැ. මෙය අප මෙතෙක් දැක නැති අමුතුම විදියේ වස්තුවක් වෙන්න පුළුවන්” යනුවෙන් ආචාර්ය ඇන්ඩි වැන්ග් පැහැදිලි කර ඇත. ආචාර්ය ඇන්ඩි වැන්ග් සහ ඔහුගේ කණ්ඩායම මෙම වස්තුව ගැන දැනගත්තේ - ඕස්ට්‍රේලියාවේ වජාරි පළාතේ ඉදිකර ඇති ඕස්ට්‍රේලියා ජාතික විද්‍යා ආයතනයට අයත්, ඒ. එස්. කේ. ඒ. පී. නමින් හැඳින්වෙන ගුවන්විදුලි දුරේක්ෂය භාවිතයට ගනිමින් විශ්වය නිරීක්ෂණය කරද්දීය. අබිරහස් වස්තුව ඒ. එස්. කේ. ඒ. පී. ජේ 1832 - 0911 යනුවෙන් නම් කර ඇත්තේ ද එම දුරේක්ෂය හේතුවෙනි.
විද්‍යාඥයන් අනුමාන කරන ආකාරයට මෙම වස්තුව මියගිය තාරකාවක ඉතිරි වූ අධික චුම්බකකරණය වූ කොටසක් හෝ නියුට්‍රෝන තාරකාවක් හෝ සුදු වාමන තාරකාවක් වීමට ඉඩ තිබේ. නියුට්‍රෝන තරු යනු මියගිය තාරකාවල දැවී ගිය හරයන්ය. විශාල තාරකාවලට තම ජීවිතයේ අවසානයට පැමිණෙන විට ඒවායේ හරය තාරකාවේ පිටත ස්තර පිපිරී විසිරී යයි. මේවා නියුට්‍රෝන තරුවක් ලෙස හැඳින්වෙයි. සුදු වාමන තාරකා යනු අප සූර්යයා වැනි කුඩා ප්‍රමාණයේ හෝ මධ්‍යම ප්‍රමාණයේ තාරකා වර්ගයකි. සාමාන්‍යයෙන් තාරකාවල ජීවය අවසන් වූ විට ඒවා සුදු වාමන තාරකා බවට පත් වෙයි. අපගේ තරුව, සූර්යයා ද එහි ජීවය අවසන් වූ විට සුදු වාමනයකු බවට පත් වනු ඇත. ඒත් ඒ අද හෙට නම් නොවෙයි. තාරකාවක් ජීවත් වෙන්නේ එහි හරය තුළ සිදුවන න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියා මගිනි. තාරකාවක හයිඩ්‍රජන් අවසන් වූ විට, විලයන ප්‍රතික්‍රියා නවතී. න්‍යෂ්ටික ප්‍රතික්‍රියා නැවතුණු පසු තාරකාව ඇතුළට හැකිලීමට පටන් ගනී. සුදු වාමන තාරකාවක් පෘථිවියේ තරම් ප්‍රමාණයෙන් යුක්තය. සුදු වාමන තාරකාවල ගුරුත්වාකර්ෂණ බලය ද ඉතා ප්‍රබලය. මුලදී දැඩි උණුසුම නිසා මේවා දීප්තියෙන් පෙනුණත්, කාලයාගේ ඇවෑමෙන් මේවා සිසිල් වී, අඳුරු වී, අවසානයේ දී කළු වාමන තාරකා බවට පත් වෙයි. විද්‍යාඥයන්ගේ අදහස මෙයයි. කෙසේ නමුත් විද්‍යාඥයන්ට මෙවැනි කළු වාමන තාරකා මෙතෙක් හමුවී නැත.
විශ්වය යනු නොයෙකුත් රහස් සඟවාගෙන සිටින විස්මිත තැනක් බැව් අමුතුවෙන් කිව යුතු නැත. ඒ රහස් අනාවරණය කර ගැනීමට විද්‍යාඥයන් උපයෝගී කරගන්නේ එක්ස් කිරණ සහ ගුවන් විදුලි තරංගය. ඒ. එස්. කේ. ඒ. පී. ජේ 1832-0911 අද්භූත වස්තුව ගැන විද්‍යාඥයන් දැනගත්තේ ද එලෙසිනි. සරලව පැහැදිලි කළොත් - එක්ස් කිරණ යනු ආලෝකයේ එක්තරා වර්ගයකි. කෙසේ නමුත් මේවාට සාමාන්‍ය ආලෝකයට වඩා ශක්තිය ඇත. එබැවින් අපේ ඇස්වලට මේවා පෙනෙන්නේ නෑ.
විශ්වයේ එක්ස් කිරණ ඇතිවීමට හේතු රැසකි. කළු කුහර වටා ඇති වායු සහ දූවිලි දැඩි තාපයක් නිකුත් කරද්දී එක්ස් කිරණ විමෝචනය සිදුවෙයි. සුපර් නෝවා ආදී විශාල තරු පිපිරෙද්දී අධික ශක්තියක් පිට කරයි. මේ ශක්තිය පිටවීම සිදුවන්නේ ද එක්ස් කිරණ ලෙසිනි. ඇතැම් මන්දාකිණිවල ඉතා උණුසුම් වායු වලා ඇත. මේවායේ වායු අංශු එකිනෙක ගැටෙද්දී ද එක්ස් කිරණ නිකුත් කෙරේ. ගුවන් විදුලි තරංගවලට එක්ස් කිරණ තරම් ශක්තියක් නැත. මේවායේ තරංග ආයාමය ගොඩක් දිගය.
විශ්වයේ ඇති තරුවලින් ගුවන් විදුලි තරංග නිකුත් වෙයි. ඒ තරුවල සිදුවන ක්‍රියාකාරකම් නිසාය. මන්දාකිණිවල ඇති වායු සහ දූවිලි වලාකුළුවලින් ගුවන් විදුලි තරංග විමෝචනය වෙයි. ඊට අමතරව බ්‍රහස්පති වැනි සමහර ග්‍රහලෝකවල ප්‍රබල චුම්බක ක්ෂේත්‍ර ඇති අතර මේවා නිසාත් ගුවන් විදුලි තරංග නිකුත්වීමක් සිදුවෙයි.
ඩේලිමේල් ඇසුරිනි
ලුසිත ජයමාන්න