කෑම බීමත් අරන් රන්ජන් බලන්න මෝරා


 

“අන්න අයියා එනවා” යැයි කවුදෝ කියනවාත් සමග රන්ජන්ගේ අවධානය එදෙසට යොමු විය. රැඳවියෝ සියලු කටයුතු නවතා සීරුවෙන් මෙන් නැගී සිටිති. එහෙත් රන්ජන් බිත්තියට හේත්තු වී බිම වාඩි වී, සිටි ඉරියව්වෙන්ම සිටියේය.

මෙතෙක් නොවිඳි අත්දැකීම් විඳීම රන්ජන්ගේ ජීවිතයේ අලුත්ම අත්දැකීම බවට පත් වී තිබේ. චිත්‍රපට ගණනාවක ජම්පරයෙන් සැරැසී සිරකරුවකුගේ චරිතයට පණ පෙව්ව ද සිරගෙදරක ඇත්ත අත්දැකීම් සජීවීව විඳීමට දැන් සිදු වී තිබේ. ඒ අනුව තප්පරයෙන් තප්පරයට තමා වෙත එන්නේ අලුත් අත්දැකීම් බව රන්ජන් වටහාගෙන තිබිණි. ඒ සෑම අත්දැකීමක්ම තමන්ගේ ජීවිතයට හිතකර ඒවා නොවන බව පමණක් රන්ජන්ට දැනී ගොස් තිබිණි.  


“පල්ලන්සේන පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඉඳලා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට මාව එක්කරගෙන එනකොට වගේම අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට ඇවිත් ගත කරපු පැය කිහිපය තුළදී මට ලැබුණු අත්දැකීම්වලිනුත් මම තේරුම් ගත්තේ මාව දරුණු ඝනයේ අපරාධකාරයෙක් විදිහට සලකලා කටයුතු කරන බවයි. නිලධාරීන් මා දිහා බලලා හිනාවෙන්නත් බයයි. මොකද එහෙම හිනා වුණා කියලා ඉහළ අය දැනගත්තොත් ඒගොල්ලන්ගෙන් පලි ගනියි කියලා ඒ නිලධාරීන් හිතුවා. එ් තරම් භීෂණයක් තිබුණේ. ඒ පරිසරය තුළ මට මොනම විදිහේ හෝ සුබවාදී අදහසක් ඇති කරගන්න බෑ. ඒ නිසා වාට්ටුවට එන අමුත්තා කවුද කියලා මට ලොකු කුතුහලයක් ඇති වුණා.” රන්ජන් කියයි.  
රන්ජන් රඳවා සිටි ‘බී’ ශාලාවට පැමිණියේ එම ශාලාවට යාබදව පිහිටා තිබූ ‘සී’ ශාලාවේ රැඳවියෙකි. මහා පරිමාණ කුඩු ජාවාරම්කාරයකු වූ ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී තිබිණි. ඔහු ශාලාවට ඇතුළු වූයේ තවත් රැඳවියන් හතර පස් දෙනකු සමගය. ඔහු පැමිණි විලාශයෙන්ම ඔහු එම බන්ධනාගාරය තුළ ආධිපත්‍යය පතුරුවාගෙන සිටින්නකු බව පැහැදිලිය. අමුත්තා කෙළින්ම පැමිණියේ රන්ජන් ළඟටය. දෙගිඩියාවෙන් වුව ද රන්ජන් නැගී සිටියේය.  


අමුත්තා පළමුව රන්ජන්ට අත දිගු කළේය. සිදුවන්නේ කුමක්දැයි නොදැන වුව ද රන්ජන් ද අත දිගු කළේය. රන්ජන්ගේ අත තදින් මිරිකූ අමුත්තා එක්වරම රන්ජන්ව වැළඳ ගත්තේය.  


“ලොක්කා! මොනවා ද වෙන්න ඕනෑ” අමුත්තාගේ භාෂාව එපරිදිය.  
“තව මොනවා ද වෙන්න තියෙන්නේ” රන්ජන් කීවේය.  
“ලොක්කා කිසි දේකට බය වෙන්න එපා. මම ලොක්කාගේ ජීවිතය ආරක්ෂා කරලා දෙනවා.” අමුත්තා එසේ කියා ඔහු සමග පැමිණි රැඳවියකු අත තිබූ විශාල පාර්සලයක් රන්ජන් අත තැබුවේය.  


“ඒ පාර්සලයේ තිබුණේ එක එක ජාතියේ කෑම. රෝල්ස්, පැටිස්, එළවළු රොටී, කට්ලට් ඔය වගේ කෑම ජාති ගොඩාක් තිබුණා. ඒ ආපු කෙනා මට කිව්වා ‘ටැප් වතුර බොන්න එපා’ කියලා. එහෙම කියලා මට ලොකු වතුර බෝතල් 10ක් විතර දුන්නා. මට මේ කිසිම දෙයක් හිතා ගන්න බෑ. යුද බිමේ ඉන්න සොල්දාදුවාට කියනවනේ ‘සෙලවෙන සෑම තැනකටම වෙඩි තියනු’ කියලා. ඒ කියන්නේ යුද බිමේදී හැම දෙයක් දිහාම බලන්න ඕනෑ සැකයෙන්. ඉතින් මට මේ කිසිම දෙයක් දිහා විශ්වාසයෙන් බලන්න බෑ.” රන්ජන් හිටියේ එබඳු දෙලොවක් අතරය.  


“මට ඔයාව බලාගන්න කියලා කිව්වේ අහවලා.” අමුත්තා නිළියකගේ නමක් කීවේය. ඇය ශ්‍රී ලංකාවේ සිටි ජනප්‍රිය නිළියකි. එහෙත් දැන් පදිංචිය පිටරටකය. පිටරටක සිටිය ද ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින මහා පරිමාණ කුඩු ව්‍යාපාරිකයා සමග සබඳතා පැවැත්වීමට නිළිය සමත් වූවාය. සබඳතා පැවැත්වූයේ ජංගම දුරකතන හරහාය.  
“හෑන්ඩ්ෆෝන් කියන එක හිරගෙදර ඇතුළේ සුලභ භාණ්ඩයක්. හැබැයි මිල ඉහළයි. පුංචිම පුංචි ෆෝන් එකක් වුණත් රුපියල් හතළිස් දාහක්, පනස් දාහක් වෙනවා.” රන්ජන් කීවේය.  
විදේශගත නිළියගේ නම කීමත් සමග අමුත්තා තවදුරටත් සැක කිරීමට රන්ජන්ට වුවමනා නොවීය. නුහුරු නුපුරුදු එමෙන්ම භීෂණය පිරි භූමියේදී ජීවිතය දෙස විශ්වාසයෙන් බැලීමට රන්ජන්ට අවස්ථාව උදා වී තිබේ.  


“එයා මගේ හොඳ හිතවතියක්. එයා තමයි මට කිව්වේ ‘ලොක්කා’ හොඳට බලාගන්න කියලා.” අමුත්තා කීවේය.  
“ඔයා කෙළින් කතා කරන මිනිහෙක්. ඔයා අපේ ව්‍යාපාරයටත් හොඳටම ගහනවා.” අමුත්තා ලොකු කතාවකට මුල පිරුවේය. ඔහු ‘අපේ ව්‍යාපාරය’ කියා කීවේ කුඩු ව්‍යාපාරයටය.  
“ලොක්කා ඔයාලගෙම ලොකු එවුන් තමයි කුඩු ගෙන්වන්නේ. අපි තමයි බෙදන්නේ. ලොකු අය ගෙන්වන්නේ නැත්නම් අපට බෙදන්න දෙයක් නෑනේ. ලංකාවේ කුඩු නැති කරන්න බැරි ලොකු අය ගෙන්වන නිසා.” අමුත්තා දිගටම කියාගෙන යයි.  


“ඔයාගේ දේශපාලනයට මම කැමැති නෑ. ඒත් ආටිස්ට් කෙනෙක් විදිහට මම ලොක්කට ආදරෙයි. ඒවා සල්ලිවලට ගන්න බෑ ලොක්කා.” අමුත්තා කීවේය.  
“හරි! ඕනෑම වෙලාවක මම ඉන්නවා. ඕනෑම දෙයක් කියන්න.” අමුත්තා එසේ කියා මෙතෙක් සඟවාගෙන සිටි කුඩා පාර්සලයක් එළියට ගත්තේය. එහි වූයේ ජංගම දුරකතනයකි.  
“ලොක්කා මේක තියාගන්න” එම ජංගම දුරකතනය රන්ජන් වෙත පාමින් අමුත්තා කීවේය.

  
“ඒක ගන්න මම බය වුණා. හිරගෙදරට ඇවිත් තාම පැය කිහිපයයි. මෙහෙම එකක් ළඟ තියාගෙන ඉඳලා අහු වුණොත් මාර ‘පෝරියල්’ එකක් කන්න වෙන්නේ. ඒ නිසා මම ඒක බොහොම ආදරයෙන් ප්‍රතික්ෂේප කළා.” රන්ජන් කියයි.  


අමුත්තා පැමිණි පිරිවර සමගම ඔහුගේ නවාතැන බලා ගියේය. එහෙත් ඒ මිතුදම එතැනින් නතර නොවීය. අමුත්තා සෑම දිනකම විශාල පෙට්ටියක බහා කෑම එව්වේය.  
ඒ මනුස්සයා ආපු එකෙන් මගේ වාට්ටුවේ හිටපු අනික් රැඳවියන්ගෙන් මට විශාල පිළිගැනීමක් ලැබුණා. එවෙලේ ඉඳලා මට බොහොම ගෞරවයෙන් සලකන්න පටන් ගත්තා. එක වේලකට මට එවන කෑම මට දවස් දෙක තුනකට ඇති. ඉතින් මම කරන්නේ ඒ කෑම මගේ වාට්ටුවේ ඉන්න අනික් රැඳවියන්ට බෙදා දීමයි. ඒගොල්ලන්ට ඒ වගේ කෑමක් ලැබෙන්නේ නෑ. ‘රන්ජන් මහත්තයා හින්දා අපටත් ස්විප් එකක් ඇදුණා’ කියලා අනෙක් රැඳවියන් කියන්න පටන් ගත්තා. ඒක මට ලොකු හයියක් වුණා.” රන්ජන් කියයි.  
විදේශගත නිළිය රන්ජන්ගේ දුක සැප සොයා බැලුවාය. ඒ, පෙර කී අමුත්තා හරහාය. එමෙන්ම බන්ධනාගාරයේ ආපණ ශාලාවට සල්ලි බැඳීමෙන් තමන්ට අවශ්‍ය ආහාර හා අනෙකුත් ද්‍රව්‍ය ලබා ගැනීමේ ක්‍රමවේදයක් තිබිණි. විදේශගත නිළිය රන්ජන් වෙනුවෙන් එම ආපණ ශාලාවේ මුදල් තැන්පත් කළාය. එය රන්ජන්ට අමතර සවියක් විය.  
“කියන්න ලැජ්ජයි, සමහර නිලධාරීන් ඒ සල්ලිත් හොරකම් කරනවා. රුපියල් සීයක් වියදම් කරලා දාහක් වියදම් කළා කියලා කියනවා. ඒ හොරකම්වලට නඩුත් නෑ, දඬුවම් ඇත්තෙත් නෑ.” රන්ජන් කීවේය.  


දැඩි නීති රීති සහිත බන්ධනාගාරයක පෙර කී අමුත්තාට මෙන් හැසිරීමට ඉඩක් තිබේ ද? මම එය රන්ජන් වෙත යොමු කළෙමි.  


“සල්ලි තියෙනවා නම් මොකක්ද කරන්න බැරි? ඒ අමුත්තා වගේ අයට හිරගෙදරදි කියන්නේ ‘මෝරා’ කියලා. ඒ තත්ත්වය හැමෝටම හදාගන්න බෑ. ඒකට උතුරන්න සල්ලි තියෙන්න ඕනෑ.” රන්ජන් කීවේය.  


අමුත්තා පැමිණ සතියක් ගෙවී ගියේය. එම සතිය පුරාම අමුත්තාගෙන් ආහාරපාන ලැබිණි. එහෙත් එක්වරම එය නතර විය. රන්ජන් ඒ ගැන සොයා බැලුවේය. එහිදී රන්ජන්ට දැනගැනීමට ලැබුණු දේ අපි රන්ජන්ගේ වචනවලින් කියවමු.  


“ඒ මනුස්සයා මට කෑම බීම දෙනවා කියලා බන්ධනාගාරයේ ඉහළ නිලධාරීන්ට දැනගන්න ලැබිලා තියෙනවා. ඒ නිසා ඒ මනුස්සයාව බූස්සට මාරු කරලා.”  


ඊට පස්සේ මොකද වුණේ?  


ඒ කතාව ලබන සතියට...

 

 

සටහන  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්