පී.යූ.ඩී. පෙරේරාගේ ‘55 වසරක කරලියේ සේයා රූ’ කෘතිය 9දා එළිදකී
ශ්‍රී ලාංකේය වේදිකා නාට්‍ය කලාව යනු දශක ගණනාවක අභිමානවත් ඉතිහාසයකට සහ අනන්‍යතාවකට හිමිකම් කියන්නකි. වේදිකාව මත ක්ෂණිකව මැවී මැකී යන රංගන විභූතියේ සජීවී සුවඳ, නාට්‍යය අවසන් වූ පසු මතකයේ සදාකාලිකව රඳවා ගැනීම අභියෝගාත්මක කාර්යයකි.
එහෙත් මෙරට වේදිකා නාට්‍ය කලාවේ හැත්තෑවේ දශකයේ සිට බිහි වූ සුවිශේෂී නාට්‍ය රැසක අමරණීය මතකයන්, තම ජීවිතයේ අඩ සියවසකට අධික කාලයක් පුරා ඉතා පරිස්සමින් සහ කැපවීමෙන් සංරක්ෂණය කළ ප්‍රවීණ ඡායාරූප ශිල්පී පී.යූ.ඩී. පෙරේරා පිළිබඳ පුවත ‘ඉරිදා ලංකාදීපයට‘ අනාවරණය වූයේ මෙරට කලා ක්ෂේත්‍රයට ඉමහත් අභිමානයක් ගෙන දෙමිනි.
සිය අඩ සියවසකට වැඩි සේවා කාලය තුළ ආරක්ෂා කරගත් ඒ අමිල ඡායාරූප එකතුව ග්‍රන්ථයක් ලෙස අනාගත පරපුරට දායාද කරමින්, ඔහු විසින් රචිත ”55 වසරක කරළියේ සේයා රූ” ග්‍රන්ථය ඔක්තෝබර් මස 09 වැනිදා පස්වරු 4.00 ට අරලියගහ මන්දිර පරිශ්‍රයේදී ජනගත කිරීමට කටයුතු යොදා තිබේ. හැත්තෑවේ දශකයේ වේදිකා නාට්‍ය මූලාශ්‍ර සහ ඡායාරූප සටහන් ඔස්සේ අනාවරණය වන ආකාරයට, මෙම ලිපියෙන් දිගහැරෙන්නේ ඔහුගේ ජීවන මංපෙතේ රසමුසු තැන් ය.

අහම්බෙන් ඇරඹුණු කලා දිවිය
පාසල් සමයේ පන්තියේ සිටි දක්ෂතම චිත්‍ර ශිල්පීන් දෙදෙනාගෙන් කෙනකු වූ පී.යූ.ඩී. පෙරේරා, මූලික අවධියේදී චිත්‍ර කලාවට දැඩි ලෙස ප්‍රිය කළේය. එහෙත් පාසල් වියේ අවසාන කාලයේදී අහම්බෙන් ලැබුණු කැමරාවක් නිසා ඔහුගේ ජීවිතයේ මුළු දිශානතියම සම්පූර්ණයෙන්ම වෙනස් විය.
චිත්‍ර කලාවෙන් ක්‍රමයෙන් ඈත් වූ ඔහු කැමරාව තම සමීපතම මිතුරා කරගනිමින් සිනමා සහ නිශ්චල ඡායාරූප කලාව වෙත යොමු විය.
හුදෙක් විනෝදාංශයකින් එහා ගිය වෘත්තීය සේවයක් ලෙස වසර 40 කට අධික කාලයක් ඡායාරූප ශිල්පියකු ලෙස කටයුතු කර ඇති ඔහු, මෙරට චිත්‍රපට 7 ක කැමරා අධ්‍යක්ෂවරයා ලෙසද දායකත්වය ලබා දී ඇත. 1969 වසරේ සිට 1973 දක්වා කාලය තුළ ‘ලංකාදීප‘ පුවත්පතේ බාහිර ඡායාරූප ශිල්පියකු ලෙස කටයුතු කළ ඔහු, එහිදී ලද අත්දැකීම් සමඟින් වටිනා ඡායාරූප රැසක් දායාද කළේය. පසුව ලේක්හවුස් ආයතනයේ ‘යොවුන් ජනතා‘ පුවත්පත වෙනුවෙන් එවකට එහි කටයුතු කළ ධර්මසිරි ගමගේ ගේ ඉල්ලීම මත ඔහු කළ කැපවීම් අතිමහත්ය.
විශේෂයෙන්ම ගෝල්ෆෙස් පිටියේ පැවැති අන්තර් පාසල් බෑන්ඩ් තරගයක් නැරඹීමෙන් පසු, තරුණ තරුණියන්ගේ ස්වාභාවික හැඟීම්බර බැල්මක් දිගු කාචයක් ආධාරයෙන් කැමරා කාචයට හසුකර ගනිමින් ඔහු නිර්මාණය කළ කවරයේ ඡායාරූපය ඒ සමයේ දැඩි කතාබහට ලක් විය. එදා පටන් ඔහුගේ කැමරා ඇස කලා ලෝකයේ සැමගේ අවධානයට හා ඇගැයීමට ලක් විය.
වේදිකාවේ සජීවී බව සහ අද්විතීය ඡායාරූපකරණය
හැත්තෑවේ දශකයේ මෙරට වේදිකාගත වූ නාට්‍ය රැසක අමරණීය මතකයන් අදටත් දකින්නට ලැබෙන්නේ පී.යූ.ඩී. පෙරේරා ගේ මෙම සුවිශේෂී කැමරා දක්ෂතාව සහ කැපවීම නිසාය. අද මෙන් පහසුකම් සහිත ඩිජිටල් කැමරා හෝ ක්ෂණිකව ප්‍රතිඵල ලබා දෙන තාක්ෂණයන් එදා නොතිබිණි.
ඡායාරූපයක් ගන්නා අවස්ථාවේදී සෑම වේලාවේදීම එම රූපය නරඹන්නාට වේදිකාව අසලම සිටිනවා වැනි සමීප හැඟීමක් දනවන ආකාරයේ රූපයක් ගැනීමට ඔහු දැඩි ලෙස උත්සාහ කර ඇත. වේදිකා නාට්‍යයක් ඡායාරූපගත කිරීමේදී කිසිම අවස්ථාවක වේදිකාව මතට ගොස් නළුවන් ලවා කෘත්‍රිමව නාට්‍යය රඟපාවා ඡායාරූප ලබා ගැනීම ඔහු අනුමත කළේ නැත.
එවකට, සුගතපාල ද සිල්වාගේ නාට්‍යවල ආලෝක පුහුණු දර්ශන තුනක් එක දිගට පැවැත්විණි. එම නාට්‍යවල දින දෙකක් හැඩගැස්වීමෙන් පසු තුන්වැනි දින නාට්‍ය සැබෑ ලෙසම රඟදැක්වීමේදී ඔහු කලින් සටහන් කරගත් ඡායාරූප කෝණයට අනුව අදාළ අවස්ථා එසැණින් කැමරාවට නඟා ගත්තේය. එලෙස ඔහු නාට්‍ය 100 කට අධික ප්‍රමාණයක් ඉතා සාර්ථකව ඡායාරූපගත කර ඇති අතර, ඔහු පවසන ආකාරයට ඔහු සතුව මුල් අවධියේ සිට එකතු කරගත් ඡායාරූප 6,000 කට අධික ප්‍රමාණයක් පවතී. වසර 55 කට වැඩි කාලයක් තිස්සේ මෙම ඡායාරූප ඉතා පරිස්සමින් සංරක්ෂණය කරමින්, ලාංකේය වේදිකා නාට්‍ය කලාවේ සාරය වන් සංරක්ෂිත ඡායාරූප පොතක් ලෙස එළිදැක්වීම ඔහුගේ එකම අභිමතාර්ථය විය.

දුෂ්කරතා මධ්‍යයේ රැකගත් අමිල මතක සටහන්
පී.යූ.ඩී ගේ මෙම ගමන කිසිසේත්ම මල්පෙති අතුරන ලද සුවපහසු මාවතක් නොවිණි. මෙම ඡායාරූප පසුකාලීනව මුද්‍රණය කරගැනීමේදී සහ සංරක්ෂණය කිරීමේදී ඔහුට අනන්ත අප්‍රමාණ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු විය. විශේෂයෙන්ම වසර කිහිපයක් පුරා මෙම නෙගටිව් පට නැවත නැවත බැලීම ඔහුට අපූරු ආස්වාදයක් ගෙන දුන්නද, එදා තමන්ගේම කියා අඳුරු කුටියක් (Dark Room) නොමැතිකම නිසා ඔහු දැඩි වෙහෙසක් දැරීය. නිවසේ සිට මරදානට බස් රථයෙන් ගොස්, වෙනත් අයකුගේ ඩාක් රූම් එකක රාත්‍රී කාලයේ අනෙක් අයගේ වැඩ අවසන් වන තෙක් බලා සිටිමින්, පාන්දර වන තෙක් වෙහෙස මහන්සි වී මෙම ඡායාරූප ආරක්ෂා කර ගැනීමට ඔහු කටයුතු කර ඇත.
මෙම ඓතිහාසික ඡායාරූප එකතුව තුළ 1969 වසරේ ගත් ‘රංකඳ‘ නාට්‍යයේ පටන්, දයානන්ද ගුණවර්ධනයන් ගමරාළගේ චරිතය අමරණීය ලෙස නිරූපණය කළ ‘නරිබෑණා‘, එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘සිංහබාහු‘ සහ ‘මනමේ‘, ‘සුභ සහ යස‘, ‘ගජමන් පුවත‘ මෙන්ම දයාතිස්ස ඩයස්ගේ ‘ඒකාධිපති‘ වැනි විශිෂ්ට නාට්‍ය රැසක අපූරු අවස්ථා ඇතුළත් වේ.
විශේෂයෙන් ‘කැලණි පාලම‘ නාට්‍යයේ ඡායාරූප ගන්නා අවස්ථාවේදී, නළු නිළියන් තිදෙනා හැර වෙනත් කිසිදු වාහනයක් හෝ පුද්ගලයෙක් පාලම මත නොමැති මොහොතක ඔහු ගත් අපූරු සේයා රුව අදටත් ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන අද්විතීය නිර්මාණයකි. එවැනි දුර්ලභ අවස්ථා නිවැරදිව කැමරා කාචයට හසුකර ගැනීමට ඔහුට තිබූ ඉව සහ ඉවසීම අතිමහත්ය. එක් නාට්‍යයක් සඳහා ගත් ඡායාරූප 150 කට අධික ප්‍රමාණයකින් පොත සඳහා හොඳම ඡායාරූප එකක් හෝ දෙකක් තෝරා ගැනීම අතිශය දුෂ්කර කාර්යයක් වූ බව ඔහු පෙන්වා දෙයි.

අනාගත පරපුර වෙනුවෙන් කළ මහා මෙහෙවර
අවුරුදු 55 ක් තිස්සේ තමන්ගේම දරුවකු මෙන් ඇස් දෙක මෙන් සුරක්ෂිත කළ මෙම ඡායාරූප අනාගතයේ දරුවන්ට, විශේෂයෙන් පාසල් හා විශ්වවිද්‍යාලවල නාට්‍ය හා රංගකලාව හදාරන සිසුන්ට අධ්‍යයනය කිරීමට අද වෙනත් මඟක් නැත.
අද බිහිවන නාට්‍ය කලාව එදා තිබූ විෂයබද්ධ නාට්‍ය ස්වරූපයෙන් බැහැරව වෙනස් වී ඇති පසුබිමක, අතීත රංග කලාවේ සැබෑ ස්වභාවය සහ අභිමානය දැකගත හැකි එකම මාර්ගය වන්නේ මෙම ඡායාරූප එකතුවයි.
”මගෙන් පස්සේ මේ පින්තූරවලට මොකක්ද වෙන්නේ කියන එක මට හිතුණා,”
යැයි පවසන ඔහු, අනාගත පරපුර වෙනුවෙන් මෙම ග්‍රන්ථය එළිදැක්වීමට තීරණය කළේ එබැවිනි. මෙවැනි අභියෝගාත්මක කර්තව්‍යයක් මින් මතු වෙනත් අයකු කර තිබේද යන්න සැක සහිත අතර, ඉදිරියට කිරීමටද අතිශය අපහසු වනු ඇතැයි ඔහු විශ්වාස කරයි.
යම් කටයුත්තක නියැළෙන විට 100% ක ඉවසීමක්, දැඩි උනන්දුවක් සහ ඒ දෙස ඉතා විමසිල්ලෙන් බලා සිටීමේ විශේෂ අවධානයක් තිබේ නම්, ඕනෑම කෙනකුට තම ක්ෂේත්‍රයේ විශිෂ්ට ප්‍රතිඵල ලබාගත හැකි බවට පී.යූ.ඩී. පෙරේරා සමාජයට ලබාදෙන පණිවිඩය අතිශයින්ම වටී.
අඩ සියවසකට වැඩි කාලයක් තිස්සේ ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවේ රන් අකුරින් ලියැවුණු අතීතය හෙට දවසට ඉතිරි කරමින් ඔහු කළ මෙම අමිල මෙහෙවර මෙරට කලා ඉතිහාසයේ සදා අමරණීය සටහනක් වනු නිසැක ය.
චමෝද් මුදලිගේ


