කළ පුරුද්ද පළපුරුද්ද ඇති ජනතා සේවකයා රනිල්


නිමිත්ත: රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ උපන් දින සැමරුමය. එම සැමරුමට ඔහුට ඉස්පාසුවක් තිබෙනවාද? අපි නොදනිමු. එතුමාගේ යහපැවැත්ම රට දැය සමයට යහපතකි. එබැවින් එම සැමරුම අපට සුබ නිමිත්තකි. අප යනු පක්ෂ විපක්ෂ සියලු දෙනාමය. ඇරත් වික්‍රමසිංහයන් යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කාගෙ කාගෙත් ජනාධිපතිතුමාය. ඔහුට රට වෙනුවෙන් වගකීම ඉටු කිරීමට ඉඩ හසර ලබා දීම රටවැසියන්ගේ යුතුකමකි. එකී යුතුකම පැහැර හැරීම යනු පහත දැක්වෙන සිදුවීම මෙවැනි අතොරක් නැතිව සිදුවීමට අතවැනීමකි.

පාර තොටට පිවිසුණු විට බස් රථයකට, රේල්ලුවට නැගුණ විට, ජනයා ගැවසෙන වීදියක ගමන් කරන විට බලන්න. අවධානයෙන් බලන්න. ඔවුන් ඔබ මොබ යන විදිය. සියලු අඟපසඟ අවිනිශ්චිත බවින් පිරුණු රිද්මයකට නතුව ගමන් කරති. සැබවින්ම දිවි තොර කර ගැනීමට බැරි නිසාම ජීවත් වෙති.


වැටුණු රට ගැන අග-මුල සෙවීම වැදගත් වුවද දැන් ඊට වේලාව නොවේ. ඉන් මිදෙන්නට හුස්මක් කටක් ගමු. වාද විවාද වෙනුවට සාමූහිකත්ව පිළිතුරක් සොයමු. අනතුරුව අපි මැතිවරණ තරග බිමට පිවිසෙමු. ක්‍රීඩාපිටිය සැමට සරිලන ලෙස තනා ගනිමු. කාටත් පිළිගැනීමට හැකි නීති රීති පිළිපදිමු. තරගකරුවන්ට සම අවස්ථා උදාකරමු. එළඹෙන ජයග්‍රහණය රටේ සැබෑ ජයග්‍රහණය ලෙස පිළිගනිමු.


වික්‍රමසිංහයන් යනු ගලන ගඟක් බඳුය. එදෙස බලා සිටින විට නිසල බව නෙතට පෙනෙයි. නෙත මුලා වී ඇත. සිත විමසා බලන විට එසේ නොවේ. ගඟ දිය වේගයෙන් බලා බසී. ජනපතිතුමාගේ දිවිසැරිය වසර 74කි. ඉන් 48 වසරක්ම ගත වී ඇත්තේ සක්‍රීය දේශපාලන සත්ත්වයෙක් ලෙසය. එම දේශපාලන සත්ත්වයා සාර්ථක වූ අවස්ථා මෙන්ම අසාර්ථක වූ අවස්ථා ද තිබෙන බව පිළිගත යුතුය. විරුද්ධවාදීන් නගන ප්‍රශ්න පිළිබඳව ද සිතා බැලිය යුතුය. සුදු කළු චරිත නැත. මෙතරම් නිලතල දැරුවෙක් රට ගොඩදැමීමට තව තව අවස්ථා ඉල්ලන්නේ ඇයිද? ඔව්, වලව්වලින් ගිලිහුණු දේශපාලන බලය සේදවත්තට, කෙසෙල්වත්තට තල්ලු වූයේ අහඹු ලෙසකින් නොවේ. එයත් එක්තරා මතවාදී පෙරළියක ප්‍රතිඵලයකි. දේශපාලන මහදැනමුත්තන් මේ වග හොඳින් දන්නා කරුණකි. නමුත් ශ්‍රී ලාංකික දේශපාලන ක්‍රියාවලියේ රූපාන්තරණය පිළිගැනීමට සිදුවේ. ඒ අනුව බලහුවමාරුව මගින් කරළියට ආ ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස වැනි ජන නායකයින්ට රට පෙරට ගෙනයාමට නොදුන්නේ ද වලව්වල ඉලව් පිල්ලිවාදයයි. මැතිවරණයකින් පසුව නිවි හැනහිල්ලේ රට කරගෙන යාමට බලයට පත්වූවන්ට ඉඩ දිය යුතුය. විශේෂයෙන් 1977 පසුව රට කරගෙන යාමට ඉඩ දුන්නේම නැත. මේ පිළිබඳව ජයවර්ධන ජනාධිපතිතුමාට යම්කිසි ඉවක් තිබුණි. ඒ නිසාම දාතම නොයෙදූ ඉල්ලා අස්වීමේ ලිපි ස්වකීය මන්ත්‍රී සගයන්ගෙන් ලබා ගැනීමට සිදුවිය. එපමණක් නොව ෆෝක් සමුද්‍ර සන්ධියේ එපිට තිබුණු දේශපාලන සංවේදී භාවය ද දැඩි ලෙස බලපෑම් කළේය. ඔය අල්ල පනල්ලේ දී ප්‍රේමදාස මහතා ජනාධිපති බවට පත්විය. ඔහුට මුහුණ දීමට සිදු වූ දේශපාලන සන්තෑසිය කුමක්දැයි දැන් තරුණ තරුණියන් දන්නේ නැත. එකල සිටි තරුණ තරුණියන් ඒ වග හොඳින් දනී. නමුත් ඒ වග නොදන්නා සේ ක්‍රියා කරති. දේශපාලන බලය ලබා ගැනීමේ දී ඒ වගත් එසේමය. මකියාවෙල්ලි කුමාරයා කෘතිය පණ පොවාලුයේ එබැවිනි.


ගහේ කටු උල්කළ යුතු නොවේ. රනිල්ගේ පියා ජේ.ආර්. ගේ විදේශ කටයුතු පිළිබඳ උපදේශකවරයෙකි. එසේ නම් ඔහු හැදී වැඩුණු දේශපාලන ඇවතුම් පැවතුම් සහිත පරිසරය ගැන තව කුමන කතාද? පැහැදිලිවම වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන ඇළි සත්ත්වයෙක් නොවේ. ඔහුට ඕනෑම දේශපාලන වටපිටාවකට අනුවර්තනය වීමට හැකියාවක් තිබේ. එසේ නොවෙන දේශපාලන ඇළි සත්ත්වයන් විනාශ වී යෑම සොබා දම් දිනිතියගේ නියමයකි.
න්‍යායපතියන් උලුප්පා දක්වන පන්තිවාදය නොදියුණු ධනවාදයක් පවතින ලංකාව වැනි රටක ඉතා වේගයෙන් ක්ෂය වෙමින් පවතී. වලව්වාදය අභාවයට ගියා සේම මේ පන්තිවාදය ද යල් පැන ගිය මතයකි. ඇති නැති පරතරය සමනය වූ කල පන්තිවාදයට පැවැත්මක් නැත. වික්‍රමසිංහ යනු ලිබරල් ආර්ථික ක්‍රමය ගැන විශ්වාසය තිබෙන දේශපාලන බුද්ධිමතෙකි. ඔහු එවැනි මතවාද ගැන එදා මෙදා තුර අවබෝධයෙන් යුතුව කටයුතු කළ දේශපාලකයෙකි.
රනිල්ගේ පියා එස්මන්ඩ් ද විදේශ කටයුතු පිළිබඳ උනන්දුවක් දැක්වූවෙකි. එමෙන්ම විදේශ කටයුතු පිළිබඳ ජේ.ආර්. ගේ උපදේශකයා වූයේ එස්මන්ඩ් ය. පුතා ද එම විෂයය ඇල්මෙන් හැදෑරීය. විදෙස් විත්ති පිළිබඳ ලිපි ඔහු නොනමින් ‘සියරට’ පුවත්පතට ලීවේය. මෙලෙස රනිල් විදේශ කටයුතු පිළිබඳ ප්‍රාමාණික දැනුමක් රැස්කොට ගත්තේය.
එකී විෂයෙහි කිමිදුණු පුද්ගලයෙක් ලෙස අනෙකුත් දියුණු රටවලට සාපේක්ෂව ලංකාව පත්වී තිබෙන තැන ගැන ඔහුට පැහැදිලි අවබෝධයක් ද තිබුණි. එසේ නම් රට පෙරට රැගෙන යාමට කළ යුත්තේ කුමක්ද යන වග ද දැක්මක් තිබුණි.


ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා 1980 පෙබරවාරි මස 15 වැනි දා කරන ලද කැබිනට් සංශෝධනය මගින් රනිල් වික්‍රමසිංහ මහතාට තරුණ කටයුතු හා රැකීරක්ෂා විෂයයන්ට අමතරව අධ්‍යාපන ඇමැති තනතුර ද පවරනු ලැබීය.


ඒ වන විට තිස්හැවිරිදි වියේ පසු වූ රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයේ ලාබාලතම පුද්ගලයා මෙන්ම ලංකාවේ අධ්‍යාපන ඉතිහාසයේ එකළොස්වැනි අධ්‍යාපන ඇමැතිවරයාය. නිදහසින් පසු දහවැනි අධ්‍යාපන ඇමැතිවරයා ඔහුය.


එවැනි භාරධූර වගකීමක් දැරීමට පත්වන විට ඔහු වැඩබලන විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති යෞවන හා රැකී රක්ෂා ඇමැති තනතුරු දරමින් ඒ වන විට දේශපාලනිකව පරිණත බවකින් සන්නද්ධ වී සිටියේය.


1988 දෙසැම්බර් 19 වැනිදා ශ්‍රී ලංකාවේ දෙවැනි ජනාධිපතිවරණය පැවැත් වූයේ දැඩි භීෂණකාරී හා අර්බුද සහිත වටපිටාවක දීය.
එසේ වුවද ඡන්ද 2,569,199 (50.43%) ලබාගත් ආර්. ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් ජය ගත්තේය. 1989 පෙබරවාරි මස 18 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතා නව ජනාධිපතිවරයා ඉදිරියේ කර්මාන්ත ඇමැතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.
රනිල් වික්‍රමසිංහ මහතා කර්මාන්ත ඇමැතිවරයා ලෙස වැඩ බාර ගැනීමෙන් අනතුරුව ඔහුගේ එකම අරමුණ වූයේ මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ ඓතිහාසික පෙරළියක් සිදුකිරීමය.


ඔහු කර්මාන්ත විද්‍යා හා තාක්ෂණ ඇමැතිවරයා ලෙස 1990 අප්‍රේල් මාසයේ දී ඇමෙරිකා එක්සත් ජනපදය, ස්විස්ටර්ලන්තය සහ ඕස්ට්‍රේලියාව යන රටවල සංචාරය කළේය. මෙයින් ඉතා වැදගත් සංචාරය වූයේ ඇමෙරිකානු සංචාරයයි. එහිදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, එක්සත් නිව්යෝක් සංවිධානය සමග සාකච්ඡා කොට ශ්‍රී ලංකාවේ කර්මාන්ත සංවර්ධනය සඳහා එකී සංවිධානයන්හි අවධානය දිනා ගැනීමට සමත් විය. එහිදී එරට රාජ්‍ය නිලධාරීන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් හා ලෝක බැංකු නිලධාරීන් සමග සාකච්ඡා පවත්වා ශ්‍රී ලංකාවේ කර්මාන්ත සංවර්ධනය සඳහා ඔවුන්ගේ අවධානය දිනා ගැනීමට සමත් විය.


ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ දියුණුව සඳහා ඉතා වැදගත් යෝජනා රැගත් 1990 අංක 46 දරණ කාර්මික සංවර්ධන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අතර ඉන් මෙරට කර්මාන්තකරුවන්ට ඉමහත් සෙතක් සැලසුණේය. එමගින් ලැබුණු ප්‍රධාන සහනය වූයේ පුරෝගාමී කර්මාන්ත සඳහා පස් අවුරුදු බදු සහන ලබා දීමය.
එමෙන්ම කර්මාන්ත සංවර්ධන පනත යටතේ ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා කාර්මික කොමිසමක් ඇති කිරීම වැදගත් හා කාලෝචිත පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන. තව ද කර්මාන්ත සඳහා උපදේශක සභාවක් මෙන්ම ප්‍රාදේශීය කාර්මික සේවා කමිටු පිහිටුවීම ද සිදුකෙරිණි.


ලංකාවේ කාර්මික නවෝදයේ කැපී පෙනෙන ව්‍යාපෘතියක් වූයේ ඇඟලුම් කම්හල් 200 ක් පිහිටුවීමේ වැඩපිළිවෙළයි. එම ව්‍යාපෘතිය ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ නැති බැරි අය ඇති හැකි අය කිරීමේ සංකල්පය සමග පෑහී ගියේය. මෙම වැඩපිළිවෙළ නිසා ග්‍රාමීය ප්‍රදේශවල තරුණ තරුණියන්ට රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් ලැබුණු අතර එම ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය වීම ද වේගවත් විය.


එපමණ අර්බුද සමනය කරමින් එල්ටීටීඊ සංවිධානය උපක්‍රමශීලීව පරාජය කරමින් ඔහු ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන සාර්ථක කරගැනීම සඳහා ඇප කැප වී ක්‍රියා කළේය.
එසේ වුවද ශ්‍රී ලාංකේය දේශපාලනයේ සැකයට තිබෙන වාසිය වැඩිය. ජාතිවාදය ආගම් වාදය මැතිවරණ සමයේ කරළියට පැමිණියේ අතොරක් නැති බොරු බේගල් මැද ‘සැලුන් දොර’ දේශපාලනය තෙක් ලංකාවේ දේශපාලන සරල ක්‍රියාවලියක් බවට පත්විය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ බ්‍රිතාන්‍යයේ වින්සන්ට් චර්චිල්ට මුහුණ දීමට සිදු වූ ඇබැද්දියට සමාන සිදුවීමකි. බලාසිටීමට නොහැකි තැන යහපාලන රජය පිඹුරුපත් සැකසීමට ඔහුට ප්‍රබල දායකත්වයක් සැපයීය. යහපාලන රජය මගින් ජනතාවට යහපතක් සිදු වුව ද එහි අභ්‍යන්තර ගැටුම් නිසා ඊට පැවැත්මක් නැති විය. ඉන්පසුව මඩදිය පිස පොහොට්ටුව මතුවිය. සියල්ල උඩුයටිකුරු වී කොවිඩ් වසංගතය සමය එළඹුණි. කබලෙන් ලිපට වැටුණ ජනතාව මූලික අවශ්‍යතා සපුරා ගැනීමට පවා නොහැකිව දැඩි පීඩනයකට පත්විය. ගෑස්, තෙල් පෝලිම් සිටි ජනතාව මැරී වැටුණෝය. ජනතාව ආණ්ඩු මට්ටු කිරීමට පෙළඹුණේය. ජනාධිපති, අගමැති, මුදල් ඇමැති සියලු දෙනාටම ආණ්ඩුවෙන් ඉවත් වීමට සිදුවිය. කුංකනාවේ හාමුදුරුවෝ කීවා සේ අපට රජෙක් නැති විය. සුදුස්සෙක් සොයා මඟුලැතු වීදි සංචාරය කිරීමට සැලසුවේය. මඟුලැතු ළඟා වන විට ඇතැමෙක් අපට ඕවා බෑ අපි ඕවට නෑ කියමින් සැඟවුණෝය. අවසානයේ දී රනිල් වික්‍රමසිංහ නමැති තනි අලියා ඉදිරියේ මඟුල් ඇතා දණ නැමුවේය. එය රට දැය සමයට මංගල කාරණයක් නොවේද?


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ 74 වැනි උපන් දින සැමරුම නිමිත්තෙනි.

 

 

 

ජයන්ත කන්නන්ගර
ඌව පළාත් සභාවේ හිටපු එජාප මන්ත්‍රී