ඖෂධ හිඟයේ වගකීම කාගේද?


දිවයින පුරා බරපතළ ලෙස පවතින ඖෂධ හිඟය සහ ඇතැම් ඖෂධ නොමැති වීම යන ගැටලු‍ව සමස්ත සෞඛ්‍ය පද්ධතියටම මේ වන විට බලපා තිබේ. දකුණු ආසියාවේ විශාලතම රෝහලක් වූ කොළඹ ජාතික රෝහලේ සිට රටේ පර්යන්ත රෝහල් පද්ධතිය දක්වාම දුෂ්කර පළාත්වල ඇති ග්‍රාමීය රෝහල් දක්වාම මෙම ඖෂධ හිඟය සහ උපකරණ හිඟය එකසේ දැඩිව බලපා තිබේ. මේ හේතුවෙන් රෝගී සත්කාර සේවා ලබා දීම දැඩි අභියෝගයකට පත්ව ඇති බව වෛද්‍ය සංගම් එක් පසෙකින් පවසන අතර තවත් පසෙකින් දැඩි ලෙස රෝගීව සිටින තමන්ගේ ජීවිත බරපතළ අවදානමකට ලක්ව තිබෙන බව මහත් වූ කනස්සල්ලෙන් රෝගීහු පවසති.

කෙසේ වුවද ඖෂධ හිඟය නිසා කුමන ගැටලු‍ පැන නැගුන ද තවමත් හදිසි අනතුරක් වීමෙන් හෝ හදිසි රෝග තත්ත්වයක් නිසා අසාධ්‍ය තත්ත්වයට පත් වී රෝහලකට පැමිණි කිසිදු රෝගියෙකුගේ ජීවිතය අහිමි වීමක් සිදුව නැති බව ද වෛද්‍ය සංගම් පෙන්වා දෙන්නේ ය. එවැනි අවාසනාවන්ත පසුබිමක් නිර්මාණය වී ඇත්තේ හදිසි ප්‍රතිකාර සේවා සහ අත්‍යවශ්‍ය සේවා කිසිදු කප්පාදු කිරීමකින් තොරව පවත්වා ගෙන යාමට වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය සේවකයන් තමන්ගේ කැපවීම ඉෂ්ට කිරීම නිසා බව පවසන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතා ය.   


දිවයින පුරා රෝහල් ගණනාවක මේ වන විට බරපතළ ඖෂධ හිඟයක් මෙන්ම ඇතැම් ඖෂධ නොමැති වීමත්, එසේම පවතින ඖෂධ වර්ග කිහිපයක හෝ අධික මිළ ගණන් වැඩි වීමත් නිසා රෝගීන් විශාල අපහසුතාවයකට, අසරණභාවයකට පත්ව සිටී. එසේම මේ හේතුවෙන් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ද බරපතළ අසීරුතාවකට පත් වී සිටී.   


රජයේ රෝහල් පද්ධතියට තිබුණු ඖෂධ හිඟය දැන් වන විට පෞද්ගලික අංශයේ රෝහල් හා ඖෂධ හල් ඇතුළු සියලු‍ තැන්වලට බලපා තිබේ.   
සෞඛ්‍ය පද්ධතිය තුළ ඖෂධ හා උපකරණ ලෙස ගත්විට එහි ප්‍රධාන කාණ්ඩ 4 ක් ඇත. එනම්, ඖෂධ ශල්‍ය සහ වෛද්‍ය උපකරණ, රසායනාගාර පරීක්ෂණ සඳහා අවශ්‍ය උපකරණ සහ ප්‍රතික්‍රීයක, එක්ස්රේ ආදී විකිරණශීලී පරික්ෂණ සඳහා අවශ්‍ය උපකරණ වෙයි. මෙම හතර වර්ගයේම ලොකු ගැටලු‍වක් පවතින බව ද වෛද්‍ය සංගම් පවසන්නේ චෝදනාත්මකව ය.   


“ඇත්තටම මම කිව්ව කාණ්ඩ හතරේ ඖෂධ සහ උපකරණ දහස් ගණනක් තියෙනවා ලියාපදිංචි වෙලා සම්මත කරලා භාවිතයට ලක් වුණු. මෙයින් ඖෂධ වශයෙන් ගත්තොත් ඖෂධ හිඟවීම සහ ඖෂධ නොමැති වීම කියන කාරණා දෙකම තියෙනවා. අපි සමාන්‍යයෙන් ප්‍රමාණවත් තොග තියෙනවා කියල හඳුන්වන්නේ එහෙම මධ්‍යම ඖෂධ ගබඩාවල හෝ අදාළ රෝහලේ මේ ඉදන් බලන විට මාස තුනකට ප්‍රමාණවත් තොග තිබිය යුතුයි. එතකොට තමයි අපි කියන්නේ ඇතිවෙන්න ස්ටොක් තියෙනවා කියලා. එකක් තමයි ගිය සතිය වෙන විට අපිට ලැබුණු දත්තත් සමග ඖෂධ වර්ග 110-120 ත් අතර ප්‍රමාණයක් ඇත්තෙම නැහැ. මේවා අත්‍යවශ්‍ය ඖෂධ. ජිවිත ආරක්ෂක ඖෂධ 14 ක් තියෙනවා එම ඖෂධ අතරින් දැනට ගැටලු‍වක් නැහැ. හැබැයි ඖෂධ වර්ග දෙකක හිඟයක් මතු වෙමින් යනවා. ගිය සති අන්තයේ පුවත් පතක මම දැක්කා ඖෂධ රාජ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මහතා මේ ඇත්ත තත්ත්වය කියා තිබුණා. හෘද රෝගීන් සඳහා දිවයට තබා ගැනීමට දෙන පෙත්ත ගත්තොත් එම පෙති තව සති 2-3 කට විතර කාලයකට පසුව ගැටලු‍ මතුවීමේ අවදානමක් තියෙනවා . ඒ වගේම නිර්වින්දන ඖෂධයක හිඟයක් තියෙනවා. මේ දෙක තමයි දැනට අවදානමේ තියෙන්නේ. ඊළඟට ජිවිතාරක්ෂක ඖෂධ වර්ග 14 ක් තියෙනවා. ඒ ඖෂධ අතරින් මේ මොහොතේ බැලු‍වොත් ප්‍රමාණවත්ව අවශ්‍ය තොග තියෙනවා. ඖෂධ 2 ක් පමණක් ඉදිරියේ දි හිඟ වීමේ අවදානමක් තියෙනවා. අත්‍යවශ්‍ය සහ අත්‍යවශ්‍ය නොවන ඖෂධ කාණ්ඩයේ ඖෂධ 110-120 ත් අතර ප්‍රමාණයක් ඇත්තේම නැහැ. අපි කියන්නේ අඩුම තරමින් මාස තුනක තොග තියෙන්න ඕනෑ නේ. මොන ඖෂධ කාණ්ඩය ගත්තත් එනම් ප්‍රතිජීවක ඖෂධ ද, වේදනා නාශක ඖෂධ ද, වකුගඩු රෝගීන්, පිළිකා රෝගීන් ඕනෑම ඖෂධයක් ගත්තත් තව තොග තියෙන්නේ මාසයයි. නැතිනම් මාස දෙකයි. ඇත්තම කිව්වොත් මාස තුනම තියෙන ඖෂධ ගත්තොත් අතිශයින්ම සීමිතයි. “ වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසයි.   
වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පෙන්වා දෙන අන්දමට සේලයින්වල ලොකු හිඟයක් තිබේ. එසේම පැරසිටමෝල්, පිරිටන් මෙන්ම වෙලු‍ම් පටිවල ද විශාල හිඟයක් ඇත. ඒවා හැරුණු විට සාමාන්‍ය ප්‍රතිජීවක ඖෂධ, කරල් වර්ග සහ වේදනා නාශකවලද බරපතළ හිඟයක් තිබේ. රාජ්‍ය අංශයේ පමණක් නොව පෞද්ගලික අංශයේ ද මෙම හිඟය පවතී. අවශ්‍ය රුධිර පරීක්ෂණ කරන්නට හැකියාවක් ද නොමැත. එහිදී යම් යම් රුධිර පරීක්ෂණ සිදුකිරීම නතර කිරීමට සිදුව ඇත.   


“ විශේෂයෙන්ම අපි දැක්කා එම්.ආර්.අයි. එකේ පරීක්ෂණ කිහිපයක්ම නතර වෙලා තියෙනවා. ඊට වඩා සීමා සහිත කරන්න සිද්ධ වෙලා තියෙනවා. ප්‍රතික්‍රීයක නැතිවීම නිසා දිනකට කරන පරීක්ෂණ ප්‍රමාණය සීමා කරලා තියෙනවා. එක්ස්රේ ගත්තත් එහෙමයි. අපි දැක්කා ගිය සති අන්තය වන විට කොළඹ ජාතික රෝහලේ එක්ස්රේ ගැනීමේ ගැටලු‍වක් මතු වෙලා තිබුණා. මුද්‍රණ කොළ නැති වීම නිසා. පිළිකා රෝගීන්ට ජීවත් වෙන්න පිළිකා නාශක ඖෂධ ඕනෑ. රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් තමයි පහුගිය යහපාලන ආණ්ඩුවෙන් ගත්තු එකක් ජීවිත කාලය පුරාම පිළිකා රෝගීන්ට ඖෂධ ටික නොමිලේ දෙනවා. පිළිකා රෝහලින් සහ රට පුරාම තියෙන සායන හරහා. දැන් ඒ පිළිකා නාශක ඖෂධවල විශාල හිඟයක් රට පුරා තියෙනවා. ප්‍රශ්නය තියෙන්නේ ඒ රෝගීන්ට එම ඖෂධ පිටින් ගන්න බැහැ. සමහර විට එක බෙහෙතක් රුපියල් 30,000-40,000 වෙන අවස්ථාත් තියෙනවා. සමහර ඖෂධවල මිල ඊටත් වඩා වැඩියි. පිළිකා රෝගියෙකුට එදිනෙදා වැඩ කටයුතු කරගන්න බැහැ. රස්සාවක් කරගන්න බැහැ. පවුලට එයා ලොකු බරක්. මානසික පීඩනයක ඉන්නේ“ වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසයි.   


රට පුරාම මෙසේ පවතින මෙම ඖෂධ හිඟයට හේතුව රටේ ආර්ථික අර්බුදය ද නැත්නම් වෙනත් කාරණවක් ද? යන්න පිළිබඳව අප ඔහු විමසුවෙමු.   
“වැදගත්ම ප්‍රශ්නය තමයි එනම් අරමුදල් සම්පාදනයේ ගැටලු‍වක් තියෙනවාද කියන ප්‍රශ්නය. ඇත්තටම සෞඛ්‍ය අමාත්‍යංශයෙනුත් ඒකමනේ කියන්නේ. විදේශ විනිමය නැහැ කියනවා. සල්ලි නැහැයි කියනවා. තව කාලයක් කිව්වා රටේ ඉන්ධන නැති නිසා තියෙන බෙහෙත් ටික බෙදා දෙන්න බැහැ කියලා. හැබැයි මුදල් අමාත්‍යංශය පැත්තෙන් දිගින් දිගටම කියපු දේ තමයි ඒ අරමුදල් සහ විදේශ විනිමය සම්පාදනයේදී එහෙම අඩුවක් ඒගොල්ලෝ කරලා නැහැයි කියන කාරණය. ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබුණු ආධාර තියෙනවා. ලෝක බැංකුවෙන් ලැබුණු ආධාර තියෙනවා. විශේෂයෙන් ඉන්දියානු ණය ආධාර සහ අනික් පැත්තෙන් දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු ආධාරත් සමග ඒ අය ඉහළම ප්‍රමුඛතාවය දී තිබෙන ප්‍රශ්නයක් තමයි මේ ඖෂධ ගෙන්වීම. උදාහරණයක් වශයෙන් අපිට පවා මුදල් අමාත්‍යංශය සමග පැවති සාකච්ඡාවකදී අපිට කියපු දෙයක්. පසුගිය දවස්වල ඇතිවුණු දෙයක් තමයි ඉන්දියානු ණය ආධාර ක්‍රමයෙන් මුදල් ලැබෙද්දිත් ඒ මුදල්වලින් ලැබෙන ප්‍රමාණයටම ඖෂධ ගෙන්වලා නැහැයි කියන කාරණය. ඩොලර් මිලියන ගණනාවක ඖෂධ සඳහා ලැබුණු මුදල ඉතුරු වෙලා. අපිට ඊට අදාළව ඖෂධ ගෙන්වලා නැහැ. ඒ කාරණාවලින් අපිට පේන දේ තමයි ඒක. මේ අරමුදල් සම්පාදනයේ ගැටලු‍වක් නෙමෙයි. අනිත් කාරණය තමයි ඒකට තව උදාහරණයක් අපි ගත්තෝතින් ඖෂධයක සාමාන්‍යයෙන් ප්‍රසම්පාදක ක්‍රියාවලියකට මාස 11 ක විතර කාලයක් තමයි අර ප්‍රසම්පාදක ක්‍රියාවලිය ඇතුලේ යන්නේ. අවුරුද්දේ මුල ඉඳලම ඖෂධ නැහැයි කියල කියන්නේ මේකේ ප්‍රශ්නෙ මුල තියෙන්නේ ගිය අවුරුද්දෙනේ. එතකොට අපිට ගිය අවුරුද්දේ ඩොලර් හිඟයක්, මුදල් අර්බුදයක් තිබුණේ නැහැ. දැන් ඩොලර් හිඟය උග්‍ර වෙලා තියෙනවා. ඒකේ යම් දායකත්වයක් තියෙනවා. නමුත් ඔය කියන මට්ටමේ තියෙන ප්‍රධානම දේ නෙමෙයි.   
රජයේ වෛද්‍යවරුන් පොදු මහත් ජනතාව සියලු‍ම දෙනා කියන්නේ රෝහල්වල බරපතළ ඖෂධ හිඟයක් රටේ පවතින බවයි. රෝගීන්ට එළියෙන් බෙහෙත් ගන්න කියලා තුණ්ඩුව දෙනවා කියලා නේ කියන්නේ. නමුත් සෞඛ්‍ය ඇමතිවරයා පවා පවසන්නේ රටේ බරපතළ ඖෂධ හිඟයක් නැති බවයි. දැන් මෙහෙම බැලු‍වහම රජය කියන එකයි වෛද්‍යවරුන් කියන එකයි අතර පරස්පරයක් තියෙනවා නේද? මොකක්ද සත්‍යය? අපි ඔහුගෙන් විමසුවෙමු.   


“ඇත්තටම භුමියේ යථාර්ථය නේ අපි පිළිගන්න ඕනෑ. මේ රටේ සාමාන්‍ය අහිංසක ජනතාව රජයේ රෝහලකට ගියත්, සායනයකට ගියත්, වෙනදා ලැබුණු ඖෂධ ප්‍රමාණය දැන් ලැබෙන්නේ නැහැ. එකක් වෙනදාට එකවර මාස එකහමාරකට ලැබුණා නම් දැන් දෙන්නේ මාසයකටයි. වෙනදට බෙහෙත් වර්ග 10 ක් දුන්නා නම් දැන් දෙන්නේ බෙහෙත් වර්ග දෙක තුනක් ෆාමසියකින් ගන්න කියලා තමයි බෙහෙත් තුණ්ඩුව දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට අනික් පැත්තෙන් සාමාන්‍ය දෛනික ශල්‍ය කර්ම වගේ දේවල් දැන් විශාල වශයෙන් කල් දාන්න සිද්ධ වෙලා තියෙනවා. හේතුව නිර්වින්දන ඖෂධ නැහැ. උපකරණ නැහැ. ඒ ගැටලු‍වත් එක්ක. ඇත්තටම ප්‍රශ්නේ මුලදිම තිබුණේ සායනවල. දැන් බාහිර රෝගී අංශයේ පවා තියෙනවා. අපි දන්න සරල මූලික ඖෂධ තිබුණේ පැරසිටමෝල්, පිරිටන්, සාමන්‍ය ප්‍රතිජීවක ඖෂධ. සාමාන්‍ය වේදනානාශක ඖෂධ දැන් මේවත් හිඟයි. දැන් බාහිර රෝගී අංශයට ගිහාම දවස් තුනකට පහකට විතර බෙහෙත් තුණ්ඩුව ලියා දුන්නහම බෙහෙත් වර්ග 4-5 ක් ලිව්වොත් ඉන් 2-3 ක් පිටින් ගන්න රෝගියාට සිද්ධ වෙනවා.
මේ අතර රට තුළ පවතින ඖෂධ සම්බන්ධයෙන් දෛනිකව සාකච්ඡා කිරීම සඳහා විශේෂ කමිටුවක් පිහිටුවීමට ද සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා පියවර ගෙන තිබිණ.   


එම කමිටුව දිනපතා රැස්වීමටත්, එයට අමතරව වෛද්‍ය සැපයුම් අංශය ඇතුලු‍ අදාළ ආයතන මෙන්ම රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතනයන් හි පවතින ඖෂධ සම්බන්ධයෙන් දෛනික වාර්තා ලබා ගැනීමටත් ඒවා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටත් මෙහිදී තීරණය කර තිබිණ   
පවතින ඖෂධ හිඟය මගහරවා ගැනීම සඳහා අවශ්‍ය ඖෂධ ආනයනය කිරීමේ දී ඉන්දීය ණය සහනාධාර සහ ආසියානු ආයෝජන බැංකුව මෙන්ම අනිකුත් ක්ෂේත්‍ර කෙරෙහි ඉහළ අවධානයක් යොමු කිරීම කෙරෙහිද මෙහිදී සාකච්ඡා කෙරී තිබේ.   


කෙසේ වුවද රෝගී ජනතාව බලා සිටින්නේ තම ජීවත පිළිබඳව අදාළ බලධාරීන්ගේ අවධානය යොමු වන අයුරු ය. ජනතාව දහසක් පීඩාවන් මැද බදු ගෙවන්නේ ද යහපත් සෞඛ්‍ය සේවාවක් අරමුණු කරගෙන ය. 

 

 

සටහන
පද්මිණී මාතරගේ