ඔයා ගෙට ගිහින් නිදාගන්න ..මම තාත්තා බලා ගන්නම් ..’’


හැම සිත් වේදනාවක්ම, දුක් කරදරයක්ම නිමා කළ හැකි හොඳම ඔසුව වන්නේ කාලය බැව් සියල්ලෝම කියති. එහෙත් ඒ කාලය ගෙවා ගන්නේ කෙසේදැයි කිසිවෙක් නොකියති. කාලයාගේ ඇවෑමෙන් සියල්ල සාමාන්‍ය තත්ත්වයට පත් වුණත් සිය ජීවිතය එසේ නොවන බැව් දිනේෂි දැන සිටියාය. ආත්මයක් වී එනවා හැර අම්මා කවදාවත්ම ඔවුන් හමුවට එන්නේ නැත. තාත්තා මින් මතුවටත් මත් දියර භාවිතා කරන්නේදැයි දන්නේ ඔහුම පමණකි.

 

ලොකු මල්ලී වෙනස් වී සිටින බැව් ඇත්තකි. එහෙත් තමාට අත්වැල වුවමනාම අවස්ථාවක අත් හරින්නට තරම් දැඩි සිතැත්තෙක් වී ඇතැයි දිනේෂි මෙතෙක් විශ්වාස කළේ නැත. ඔහු කෙමෙන් තමන්ගෙන් ඈත් වෙමින් සිටින බැව් අවස්ථා කිහිපයකදීම දැනුණත් අම්මාගේ මරණයේ කම්පනය තුනී වෙන විට ඔහු පුරුදු ලොකු මල්ලී බවට පත් වෙනවා ඇතැයි බලාපොරොත්තුව ඇය තුළ තිබිණි.

“මට මීට පස්සෙ දවල්ට කෑම තියන්න එපා..” 


එදා පන්සලේ සිට පැමිණි සසංක, දිනේෂි විසින් වසා තබන ලද බත්පත දෙස නොසැළකිල්ලෙන් බලමින් කී ආකාරය ඇයට මතකය. ඇගේ පපුව දැවී ගියේ ඔහු එන තුරු ඇය ද දවල් කෑම නොකා බලා සිටි බැවිනි. 


“ඇයි ඒ..?” ඇය ඇසෙන නෑසෙන හඬින් විමසුවාය. 


“මට පන්සලෙන් කන්න පුළුවන්.. පොඩි හාමුදුරුවෝ කිව්වා මට ඉස්කෝලෙ ඇරිලා කෙළින්ම පන්සලට එන්න කියලා.. අදත් දානෙ බත් තිබ්බා.. හවසට තේ බොන්න කේකුයි, වැලිතලපයි තිබ්බා..” 
ඔහු ආඩම්බරයෙන් මෙන් කීවේය. 


දිනේෂිගේ පපුවට මොකක්දෝ වූයේය. ඉස්සරනම් ලොකු මල්ලී ටොපියක්වත් තනියම කෑවේ නැත. කොහෙන් හෝ යමක් ලැබුණ විට සියලු‍ දෙනාටම කන්නට ප්‍රමාණවත් නොවුණත් ඔවුන් මතක් වූ බැව් අඟවන්නට මෙන් කොටසක් රැගෙන ආවේය. 
“තියෙන දෙයක් අන්න එහෙම හැමෝම බෙදාහදාගෙන කන්න ඕනැ.. ඒක තමයි සහෝදරකම කියන්නෙ.. වෙරළු ගෙඩියත් අටකට කපලා තමන්ගෙ සහෝදරයන්ට බෙදලා දුන්න සහෝදරයෙක් ඉස්සර කාලෙ ඉඳලා තියෙනවා.. එහෙම අයට තමයි දෙවියොත් පිහිට වෙන්නෙ.. ” 
අම්මා ඔහුගේ ක්‍රියාව අගය කරන අතරම සියලු‍ දෙනාටම පාඩමක් ද කියා දුන්නාය. ඔවුන් හැදුණේ වැඩුණේ එවන් සාමකාමී ආදරණීය පවුලක් තුළය. එහි ඔවුන්ට කිසිදු අඩුපාඩුවක් තිබුණේ නැත. 


“එයා අක්කා වුණාට ගෑනු ළමයෙක්නෙ.. ගෑනු ළමයින්ට තනියම ඉන්න බෑ.. පිරිමියෙකුගෙ ආරක්ෂාව ඕනැමයි.. පවුලෙ වැඩිමල් පිරිමි දරුවා විදියට ඔයා තමයි එයාවත් බලා ගන්න ඕනැ..” 
අම්මා ඒ පාඩම ද ලොකු මල්ලීට උගන්වා තිබිණි. එහෙත් ඔහු අම්මාගේ මරණයත් සමඟම මිය ගොස් නැවත උපන් අයෙකු බවට පත් වී සිටියේය. ඒ තැනැත්තා සංවේදී හැඟීම් නැති, ආත්මාර්ථකාමී ආගන්තුකයෙකි. ඔහු වෙනදා තමා සමඟම ගැවසුණ නංගී හා මල්ලීත් ඈත් කර දැමුවේය. පවුල කැබලිවලට බිඳෙන බවට හැඟීම දිනේෂිට ඔරොත්තු දුන්නේ නැත. ඇය ඒ ගැන පොඩි නැන්දා සමඟත් කතා කළාය. එහෙත් සකුණට කියන ආකාරයට සිතේ ඇති හැම දෙයක්ම පොඩි නැන්දාට කියන්නට දිනේෂිට හැකි වූයේ නැත. අම්මා ගැන රහස සකුණටත් දිනේෂිටත් පමණක් සීමා විය යුතුය. 


“ඔව්වා ගැන එච්චර වද වෙන්න එපා ලොකු දුවේ.. තාත්තා, ඔයාලා හැමෝම පුරුදු වෙලා හිටියෙ තනියෙන් ඉන්න නෙමෙයි අම්මා මත්තෙ යැපෙන්න.. අම්මා නැතුව ඔයාලට හරියට හුස්ම වැටුණෙත් නෑ.. එයා නැති වුණාට පස්සෙ ඔයාලට ජීවිතේට මූණ දෙන්න අමාරු වෙලා තියෙන්නෙ ඒකයි.. ටිකක් කල් ගියාම හැමදේම සාමාන්‍ය තත්ත්වයට හැරෙයි. එතකම් කොහොම හරි අල්ලාගෙන ඉන්න..” රේණුකා අවවාද කළාය. 


දිනේෂි හූල්ලමින් බිම බලා ගත්තාය. තවමත් තමා යැපෙන්නේ අම්මා මත්තේ බැව් පොඩි නැන්දා දන්නේ නම් ඇගේ ප්‍රතිචාර කෙබඳුදැයි අනුමාන කරන්නටවත් ඇයට නොහැකි වූයේය. 
හැම සිත් වේදනාවක්ම, දුක් කරදරයක්ම නිමා කළ හැකි හොඳම ඔසුව වන්නේ කාලය බැව් සියල්ලෝම කියති. එහෙත් ඒ කාලය ගෙවා ගන්නේ කෙසේදැයි කිසිවෙක් නොකියති. කාලයාගේ ඇවෑමෙන් සියල්ල සාමාන්‍ය තත්ත්වයට පත් වුණත් සිය ජීවිතය එසේ නොවන බැව් දිනේෂි දැන සිටියාය. ආත්මයක් වී එනවා හැර අම්මා කවදාවත්ම ඔවුන් හමුවට එන්නේ නැත. තාත්තා මින් මතුවටත් මත් දියර භාවිතා කරන්නේදැයි දන්නේ ඔහුම පමණකි. ලොකු මල්ලීගෙන් තවදුරටත් සහයෝගයක් බලාපොරොත්තු වෙන්නට පුළුවන්කමක් නොවිණි. ඇතැම් විට ටික කලක් යන විට ඔහු පන්සලේම නවතින්නට තරම් හිතුවක්කාර වෙනවා ඇත. 


“මේ හැම දේකටම තනියෙන් මූණ දෙන්නෙ වෙන්නෙ මට ද අම්මා..? ඇයි මාව ඒ විදියට අසරණ කෙරුවේ..?” 


පහන් පැල ළඟට ගොස් කෑ ගසා එසේ අසන්නට ඇයට ඕනෑ වූයේය. ඇය ඒ ආවේගය මැඩ පවත්වා ගත්තේ තොල තදින් සපාගෙන, දෑතේ ඇඟිලි එකිනෙක මිරිකා ගනිමිනි. 
“මේ.. මට නිදිමතයි.. දැන් රෑ දොළහත් පහු වෙලා ඇති.. ඔයා මොනවද කරන්න හදන්නෙ..? එළි වෙනකම් මෙතන ඉඳගෙන මෙයාට තනි රකිනව ද..?” 
තවමත් එකකට එකක් සම්බන්ධ නැති දේවල් දොඩවමින් හිටිහැටියේ හඬමින් සිටින තාත්තා දෙස ද, දිනේෂි දෙස ද නොසතුටින් බැලූ සසංක පිටස්තරයෙකුගේ ස්වරයෙන් විමසුවේය. ඇගේ සිත අලු‍තෙන් දැවී ගියේය. ලොකු මල්ලී හා තාත්තා අතරත් පරතරයක් නිර්මාණය වෙමින් පවතින බවට ඔහුගේ එවදන් සාක්ෂි දැරීය. එය හොඳ පෙරනිමිත්තක් නොවේ. ලොකු මල්ලී වඩාත් සමීපව සිටියේ අම්මාට වුවත් ඔහුගේ ලෝකයේ වීරයා වූයේ තාත්තාය. තාත්තා කරන කියන හැමදේම නිවැරදි යයි ඔහු මෙතෙක් කල්ම ඇදහුවේය. එහෙත් අදින් පසුව සියල්ල නරක අතට වෙනස් වෙනවා ඇත. 


“අපිට තාත්තා මෙතන මෙහෙම දාලා ගෙට ගිහින් දොර වහන්න බෑනෙ ලොකු මල්ලී..” ඇය කීවේ හැඬුම්මුසු ස්වරයෙනි. 
අසරණව සිටින කල සතුරෙකු වුව ද අත් හැර දැමීම කුරිරුකමකි. ඉදින් මෙතෙක් කල්ම ඔවුන්ට වචනයකින්වත් හිංසාවක් පීඩාවක් නොකළ, ඔහු දුක් විඳිමින් වුව ද ඔවුන් සැපවත් කළ තාත්තා නොසළකා හැරීම කිසිසේත්ම කළ නොහැකිය. 


“බැරිනම් ඉතින් ඔයා ඔහොම ඉන්න...” 
කියමින් සසංක ගෙතුළට යන්නට හැරුණේය. 


“අනේ ලොකු මල්ලී.. අපි කොහොම හරි තාත්තා ගෙට එක්ක යමු..” ඇය ආයාචනා කළාය. 
“අනේ මේ පිස්සු නැතුව ඉන්න අක්කා.. මේ සිහි නැති වෙන තරමට බීගෙන ඉන්න අලි මිනිහෙක් උස්සන්න අපි දෙන්නට පුළුවන් ද..? ඊටත් වැඩිය වමනෙ ගඳයි, අරක්කු ගඳයි එකතු වෙලා මටත් වමනෙ යන්න එනවා..” ඔහු තරහින් කීවේය. 
ඔහු කීවේ බොරුවක් නොවේ. දහදිය, මත් දියර සියල්ලම එකතු වී මහා අප්‍රසන්න ගන්ධයක් හාත්පස පැතිර තිබිණි. දිනේෂිට ද එය හිස රුදාව හැදෙන තරමටම අප්‍රියජනක වූයේය. එහෙත් තාත්තා කෙරෙහි ඇති ආදරය හා අනුකම්පාව විසින් අනෙක් හැඟීම් සියල්ල යටපත් කරනු ලැබිණි. 
තවදුරටත් ලොකු මල්ලීට පින්සෙණ්ඩු වීමෙන් පලක් නොවන බැව් දිනේෂිට වැටහිණි. 
“ඔයා ගිහින් නිදා ගන්න.. මම තාත්තට ටිකක් සිහිය ආවම එන්නම්..” 


ඇය සුසුමක් හෙළමින් කීවාය. 
“ඔය කියන තරමට සිහිය නැති වෙලා නම් ගෙදර හොයාගෙන එන්නෙ කොහොමද..? එයාගෙ මායම්.. ඔයත් ගිහින් නිදා ගන්න..” 
දයාවිරහිත ලෙස කී සසංක යන්නට ගියේය.

 
“මට තනියි, පාළුයි ලොකු මල්ලී..” 


සිතින් පමණක් කියා ගත් දිනේෂි තාත්තාට නුදුරින් පිල මත වාඩි වූවාය. තාත්තාගේ දෙඩවිල්ල ද ක්‍රම ක්‍රමයෙන් අඩු වූ බැවින් ඇගේ සිතට දැනෙන හුදෙකලාව වැඩි වූයේය. නිශාචර කෘමීන්ගේ හඬවල් මැඩගෙන ඈතින් බල්ලෙක් උඩු බුරලන හඬ ඇසිණි. අසුබවාදී හැඟීම් රැසක් ඇගේ සිත තුළ පෙරළි කරන්නට පටන් ගත්තේය. 
“ඔයා ගෙට ගිහින් නිදා ගන්න.. මම තාත්තා බලා ගන්නම්..” 


එක් වරම දිනේෂිට ඇසුණේ අම්මාගේ කටහඬය. එය කොහෙන් ආවේදැයි නිශ්චය කර ගන්නට ඇයට නොහැකි වූයේය. තිගැස්සී නැගී සිටි නමුත් ඇගේ සිතට දැනෙන්නට වූයේ මහා සහනශීලී හැඟීමකි. තනිකම ද නිමේෂයකින් ඇය හැර දා ගියේය. ඇගේ නෙත් වහා දිව ගියේ පිච්ච වැල් ගාල දෙසටය. සුදු පැහැති මීදුමක් බඳු සේයාවක් පිච්ච වැල් ගාලෙන් ඉහළට එසවී තිබෙනු ඇයට පෙනිණි. 


ලබන සතියට.