ඔබේ ගමේ තොරණ ඇන්දෙන් නිමේෂ් විය හැකිය මෙවර රට පුරා තොරණ 15 කට චිත්‍ර ඇන්ද තරුණයා


ජාතක කතාවක්, තොරණක් සඳහා රූප වලින් ප්‍රතිනිර්මාණය කරන පුද්ගලයා - ජාතක කතාවේ සාරාර්ථය මෙන්ම ඒ ඒ චරිතවල ගුණයත්, ගැඹුරත්, සමාජ හා මනෝ විද්‍යාත්මක තක්සේරුවත් හොඳින් ප්‍රත්‍යක්ෂ කරගෙන සිටිය යුතුය. 
 
ජාතක කතා පොත් වහන්සේ මැනවින් පරිශීලනය කොට - ඒ ඒ ජාතක කතාවල ඇති චරිත පසුතළ නිර්මාණ ද සහිතව තෙළිතුඬින් ජීවමානව ගෙත්තම් කරන අසමසම නිපුණතාවයකින් හෙබි තරුණයෙක් අපට හමු වුණි. 
 
අඩි අටක් පමණ උසැති කැන්වස් මත කරවූ රූප රාමු පහළොවක් පමණ එක තොරණකට තනියම අඳින ඔහු - මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් තොරණ පහළොවක් සඳහා ජාතක කතා සිතුවම් කරන්නට කටයුතු කර තිබේ. ඔහු කුරුණෑගල කෝවාන ප්‍රදේශයේ පදිංචි නිමේෂ් කේ. සෝමධීරය. හේ 29 හැවිරිදි තරුණයෙකි. 
 
මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් - අඩි 87 ක් උස ගම්පහ තොරණ,
අඩි 60ක් උස වේයන්ගොඩ තොරණ, අඩි 30 ක් උස අම්බලන්ගොඩ තොරණ, අඩි 57 ක් උස තලවතුගොඩ තොරණ, අඩි 65 ක් උස පෑලියගොඩ තොරණ, අඩි 65ක් උස දෙමටගොඩ තොරණ, අඩි 60 ක් උස මීගමුව තොරණ, අඩි 55ක් උස වට්ටාරම තොරණ, අඩි 50 ක් උස මිද්දෙණිය තොරණ, අඩි 45 ක් උස බෙලිඅත්ත තොරණ, අඩි 35 ක් උස රාජාංගනය තොරණ, අඩි 40 ක් උස වැලිවේරිය තොරණ, අඩි 35 ක් උස කෝවාන තොරණ, අඩි 40ක් උස ගණේමුල්ල තොරණ සහ අඩි 55 ක් උස කුරුණෑගල තොරණ යන තොරණ 15 ක සිතුවම් තනිවම සිදු කළ මේ සිත්තරා වසරේ හයමාසයක් පුරා තොරන් සඳහා චිත්‍ර ඇඳීමට සම්පූර්ණ කාලය වැය කරන තරුණයෙකි .
මේ ප්‍රතිභාපූර්ණ තරුණ සිත්තරා “ඉරිදා ලංකාදීපය” සමග දොඩමළු වූයේ මේ අයුරිනි.
 
“මම චූටි කාලෙ ඉඳලා අපේ අප්පච්චි තොරණ වලට හා පන්සල්වලට චිත්‍ර අඳිනවා බලන් හිටියා. මමත් අප්පච්චිට උදව් කළා . මේ වෙද්දි තොරණ පනහකට විතර මම තනියම චිත්‍ර ඇඳලා තියෙනවා. අපේ අප්පච්චි විෂයයක් වශයෙන් චිත්‍ර ඉගෙන ගෙන නෑ. ඒ වුනාට එයා ගෙන් තමයි මම මේ  චිත්‍ර කලාව ඉගෙන ගත්තේ. මම සාමාන්‍ය පෙළ ට සංගීතය ඉගෙන ගෙන අන්තිම අවුරුද්දේ තමයි චිත්‍ර විෂයයක් විදිහට ඉගෙන ගත්තේ. හොඳට සාමාන්‍ය පෙළ පාස් වුණත්, උසස් පෙළ නොකර චිත්‍ර කලාවට යොමු වුණා.”
 
“මගේ ජීවිතයේ අමතක නොවෙන ලොකුම දේ තමයි අප්පච්චිත් එක්ක එකතු වෙලා නෙල්ලිගල සහ කූරගල සමන් දේව පිළිම නිර්මාණය කළ එක. ඒ වගේ පන්සල් ගණනාවක අපි චිත්‍ර සහ මූර්ති හදල තියෙනවා. එවැනි කටයුතු සාමාන්‍යයෙන් අප කරන්නේ වෙසක් සමයෙන් පස්සේ. අපි  වැඩිම කාලයක් යොමු කරන්නේ වෙසක් තොරණ චිත්‍ර අඳින්න. නොවැම්බර් මාසේ තොරණ චිත්‍ර අඳින්න පටන් ගත්තාම, රට පුරාම ගිහින් වෙසක් පෝය වෙනකල් තොරණ චිත්‍ර අඳිනවා. කොහේ හරි නගරයක හදන තොරණ ක උස සහ ජාතක කතාව ගැන කිව්වාම ඒකට සුදුසු සැලැස්ම නිර්මාණය කරලා දෙන්නෙත් අපිමයි.
 
ඊට පස්සේ ඒක අනුමත වුනාම මම චිත්‍ර අඳින්න පටන් ගන්නවා. වෙසක් උත්සවයෙන් පස්සේ  පන්සල් චිත්‍ර අඳිනවා. දැන් මේක තමයි මගේ ජීවනෝපාය ගෙනයන මාර්ගය වෙලා තියෙන්නේ. 
 
අපි මුලින්ම තොරණක් හැදුවේ අපේ  ගමේ. ඒ කියන්නේ කෝවාන පන්සලේ තොරණ. ඒ තොරණ අපි අවුරුදු පහළොවක් විතර කාලයක් තිස්සේ හැමදාම අඳිනවා. ගමේ පන්සලට අඳින තොරණ හැමදාම අපි නොමිලේ කරන්නේ.” 
 
“මම තනියම චිත්‍ර අඳින්න අරගෙන දැන් අවුරුදු තුනක් විතර ඇති. මේ වෙද්දි තොරණ තිහක විතර චිත්‍ර  මං තනිවම ඇන්දා. මේ අවුරුද්දේ තමයි වැඩිම තොරණ ගණනකට මම චිත්‍ර ඇන්දේ. ඊට වඩා අඳින්න අපිට ලැබෙනවා. 
 
ඒත් මගේ අතින්ම අඳින නිසා කරන්න පුළුවන් ඒවා විතරයි භාර ගන්නේ. මේක තව කෙනෙක් එක්ක හවුලේ කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. මූලික වර්ණ ගැන්වීම්වලට ළඟපාත පුංචි පුංචි දරුවෝ සම්බන්ධ වෙනවා. එයාලා හරි ආසයි අඳින්න. ඒත් මේ වගේ කලා නිර්මාණ වලට වර්තමානයේ යොමු වෙනවා අඩුයි. ඒ නිසයි අපි ළඟ වැඩ කරන්නත් කට්ටිය නැත්තේ.”
 
“තිරනාටක රචකයෙක්, හඬ කැවීමේ ශිල්පීන් හෝ කථකයෙක්,   විදුලි කාර්මිකයෙක්, සමග චිත්‍ර ශිල්පියෙකුගේ සංකලනයකිනුයි තොරණක් නිර්මාණය වෙන්නේ. ලක්ෂ සංඛ්‍යාත පිරිසකට එක් ප්‍රදර්ශන වාරයකදී එකම ජාතක කතාවක් නරඹන්න හැකි වන ආකාරයට. මේ තුළින් යහපත් ජීවිතයකට ආදර්ශයක්, උපදේශයක්, වටිනාකමක්,  සැපයෙන ආකාරයට සිතුවම් නිර්මාණය කරන්න මම හැම වෙලාවෙම උත්සාහ කරනවා.”‍
 
අඩි 40 ක් පමණ දුරක සිට ඉතා මැනවින් රූප හඳුනා ගැනීමට හැකි වන අයුරින් - විනෝදය, සතුට හා  උපදේශය එකට කැටිකොට සිතුවම් නිර්මාණය කිරීම වෙනම චිත්‍ර කළා අංගයක් බව අමුතුවෙන් කිව යුතු නැත.
 
කුරුණෑගල 
චාන්දනී දිසානායක