එයා එහෙම කැරකි කැරකී ඉන්නවානම් දානෙ දෙන්න ඕනැ නෑ අම්මා


 

පවුලක් යනු බර පිරවූ කරත්තයක් බවත්, එය අදින්නට අඹුසැමි දෙපොළම හරි හරියට දායක විය යුතු බවත්, එකෙක් දුර්වල වුවහොත් හෝ මඟ නැවතුණහොත් කරත්තයේ ගමන මන්දගාමී වන බවත් මංගල දිනයේම ඔවුන්ගේ සිතට කාවද්දන්නට වැඩිහිටියෝ උත්සාහ දරති. එමෙන්ම සැමියා ප්‍රබල චරිතයක් වුවත්, දුර්වල චරිතයක් වුවත් ඔහු පවුලේ ප්‍රධානියා විය යුතුමය. බිරිඳ කළ යුත්තේ ඔහු උපයා ගෙනැවිත් දෙන වත්කම් අරපිරිමැස්මෙන් කළමනාකරණය කර ගනිමින්, ඔහුටත් උවැටන් කරමින් පවුල් කරත්තය ඉදිරියට අදින්නට දායකත්වය සැපයීමය. හැම විටම පවුලේ බර වැඩි පැත්ත ඇත්තේ බිරිඳගේ කර මත බැව් සැමියා තබා බිරිඳවත් පසක් කර ගන්නේ නැත්තේ සමාජමය, පාරිසරික, සංස්කෘතික බලපෑම් විසින් සැමියාටත්, බිරිඳටත් වෙන වෙනම භූමිකා නිර්මාණය කර දෙනු ලැබ තිබෙන නිසාය. කෙසේ වුවත් හදිසියේ සැමියාට සිය භූමිකාව අත්හරින්නට සිදු වුවහොත් බිරිඳ සිය කර මත ඇති බරත් අත්හැර සියල්ල විනාශ වෙන්නට ඉඩ තබන්නේ නැත. ඇය නව ජවයකින් හා අලු‍ත් අදිටනකින් යුතුව ඔහුගේ බරත් සිය කර මතට ගන්නීය. එහෙත් බිරිඳගේ පැත්ත අත් හැරුණහොත් සැමියා එමොහොතේම ඇදවැටෙන්නේ නැවත නැගිටුවන්නට අසීරු ආකාරයටය. තමා අතිප්‍රබල පෞරුෂයකට හිමිකම් කියන්නෙකු බවට වන අභිමානය ද ඒ සමඟම සුණුවිසුණු වී යන්නේය. කොටින්ම ඔහු මඳ සුළඟකට වුව ද ඒ මේ අත ගසාගෙන යන පරඬැලක් බවට පත් වන්නේය. සුළඟ ඇදගෙන යන තැනට ඔහේ යනවා මිස නවතින තැනක් පිළිබඳ හැඟීමක් පරඬැලකට නැත. 


ජිනාදරී ගේ මරණය විසින් කිත්සිරි ද පත්කරනු ලැබ තිබුණේ එබඳු පරඬැලක් බවටය. ඇය විසින් අත්හරිනු ලැබ තිබූ පැත්තේ බරත් තම කරට ගත යුතු බැව් ඔහුට එහෙම පිටින්ම අමතක වී ගොස් තිබිණි. ඔහු අතීතයේ ජීවත් වෙන මිනිසෙකු බවට පත් වී සිටියේය. අතීතයේ අළු මතින් උපදින ෆීනික්ස් කුරුල්ලෙකු වන්නට තරම් ආත්ම ශක්තියක් ඔහුට නොවිණි. ඒ දුබලකම සමාජයේ අවඥාවටත් ගැරහුමටත් ලක් වුවත් දියණිය තමාට අනුකම්පා කරන බැව් ඔහුට වැටහිණි. 
“තාත්තට බණින්න එපා ආච්චි..” 


යනුවෙන් ඇය ආයාචනාත්මක ලෙස ඔහුගේ මවට කීවේ එම නිසාය. අතීතයේ දිනකදී මෙන්ම ඇය තුරුළු කරගෙන හිස සිපගන්නට සිත් වුවත් ඔහු එම හැඟීම යටපත් කර ගත්තේය. ඔවුන් ජීවත් වූයේ පියෙකුගේ හා දියණියකගේ බැඳීම සිතට පමණක් සීමා විය යුතු යයි සම්මතය සහිත සමාජයකය. 
කෙසේ වුවත් අම්මාගේ වාග් ප්‍රහාරය විසින් කිත්සිරිගේ පියවුණ දෑස් යම් තරමකට විවර කරවනු ලැබිණි. දරුවන්ගේ සුබසිද්ධිය උදෙසා තමා මේ අතීතකාම නිද්‍රාවෙන් අවදි විය යුතු බැව් ඔහු වටහා ගත්තේය. ඇතැම් විට එදා ජිනාදරීගේ ආත්මය පැමිණ අඟවන්නට තැත් කළේ ද එයම විය යුතුය. ඒ දවසේ මතකයත් සමඟම කිත්සිරිගේ සිත සසල වූයේය. 
කෙනෙකු මියගිය පසුව ආත්මය නිදහස් වී ගන්ධබ්බ අවධියට පත් වන්නේය. අරමුණකින් තොරව ඔහේ සැරිසරන ඒ ආත්මය ප්‍රතිසන්ධිය ලබන්නේ ජීවත් වන ඥාතීන් විසින් මියගිය තැනැත්තා සිහිපත් කර දෙනු ලබන පින්පෙත්වලින් ශක්තිය ලබා ගනිමිනි. ජිනාදරී ගේ ආත්මය තවමත් මේ අවට සැරිසරමින් සිටින්නේ ඇවැසි තරම් පින් නොලැබුණ නිසා විය යුතුය. එහෙත් පින් ලබා දී ඒ ආත්මය නිදහස් කරන්නට බැරි ලෝබකමක් කිත්සිරි ගේ සිතේ ඇති විණි. එලෙසින් හෝ ඇය අවට සැරිසරන්නේ යයි හැඟීම ඔහුට මහා සැනසිල්ලක් උදාකර දුන්නේය. 
“මං ළඟට ආවා වගේ ජිනා සමහර විට ලොකු දුව ළඟටත් එනව ද දන්නෙ නෑ.. එයත් ඉස්සර වගේ කාන්සියෙන් නෙමෙයි ඉන්නෙ. මොකක්දෝ සන්තෝසෙකින් කියලා මට තේරෙනවා.. පහන ළඟට වෙලා කවුරු හරි එක්ක කතා කරනවා වගෙත් මට ඇහිලා තියෙනවනෙ.. ඉතින් කොහොමද ජිනා වෙනුවෙන් දානයක් දීලා එයාව අපි ළඟින් ඈත් කරන්නෙ..?” 


නොසන්සුන් දෑසින් සිය මව දෙසත් දියණිය දෙසත් මාරුවෙන් මාරුවට බලමින් කිත්සිරි කල්පනා කළේය. ජිනාදරී වෙනුවෙන් කවදාවත් ඇති නොවූ ආකාරයේ තෘෂ්ණාවක් ඔහුට ඇගේ ආත්මය කෙරෙහි ඇති වී තිබිණි. 
පුතුගේ මෙම උකටලී ස්වභාවය හීන්නෝනා කෝප ගන්වන්නට සමත් වූයේය. ඇය මේ උදේ පාන්දර ගෙදර ඇති කප්පරක් වැඩ දමාපියා, ඔහු නිවසින් පිට වෙන්නට පළමුව පැමිණියේ දරු හැවිකාරය නිසා මිස ඔහු මෙසේ තුෂ්ණිම්භූත වී සිටිනවා දකින්නට නොවේ. හරිනම් ඔහුගේ බිරිඳ වෙනුවෙන් තුන් මාසයේ දානය දෙන්නට මුල් විය යුත්තේ ඔහුය. එහෙත් ඔහුට ඒ ගැන හැඟීමක්වත් නැති ගාණය. 


“කිත්තා.. මොකක්ද බං උඹට වෙලා තියෙන්නෙ..? මං කියපු එක කනකටවත් ගත්තෙ නැද්ද..?” හීන්නෝනා සැරෙන් විමසුවාය. 
“කනට නෙමෙයි, ඔළුවටම ගත්තා අම්මෙ.. ඔළුවටම ගත්තා.. ජිනාගෙ තුන් මාසෙ දානෙ දෙන්නනෙ ඕනැ..” 
කිත්සිරි රළු හඬින් පැවසුවේ සිය දබරැඟිල්ලෙන් හිසට තට්ටු කර ගනිමිනි. ඔහු එවදන් පිට කළ ස්වභාවය හීන්නෝනා පමණක් නොව දිනේෂි ද තිගස්වන්නට සමත් වූයේය. ඔහු මේ හඬින් කතා කරන්නේ කෙනෙකු සමඟ ගැටුමක් ඇතිකර ගත් අවස්ථාවක පමණක් බැව් ඇයට මතක තිබිණි. ඒ ද බොහෝ කලාතුරකිනි. 
“ඔව්.. ඒවා ඔළුවට ගන්න ඕනැ තමයි.. දානෙට දවස වෙන් කරගෙන, කී නමකට දානෙ දෙනව ද කියලා නියම කරගෙන ගිහින් පන්සලේ ලොකු හාමුදුරුවන්ට ආරාධනා කරලා වරෙන් එහෙනම්.. ඔව්වා කල් යවන්න හොඳ දේවල් නෙමෙයි.. ඔය කීප දෙනෙක් එකතු කරගෙන දානෙ ටික උයාගන්න එක මට මහ කජ්ජක්යැ..” එවර හීන්නෝනා කතා කළේ නිවුණ හඬිනි. 


“ඇයි ආච්චියෙ දානෙ කල් දාන්න හොඳ නැත්තෙ..?” 
වෙනමම කල්පනාවක සිටි දිනේෂි ඉන් මිදෙමින් විමසුවාය. 
“මනුස්සයෙක් මැරුණම හත් දවසෙන්, තුන් මාසෙන් කරන පින්කම් හරියට වෙලාවටම කරන්න ඕනැ.. ඒ කාලෙ තමයි ඒ මනුස්සයා හුඟක්ම පින් බලාපොරොත්තු වෙන කාලෙ..” හීන්නෝනා කීවාය. 


“වෙලාවට දානෙ දෙන්න බැරි වුණොත්..?” 
දිනේෂි විමසුවේ තමා කලින් බැස ගත් නිගමනය නිවැරදි බැව් සනාථ කරමින් නොවේදැයි කිත්සිරිට සිතිණි. අම්මාගේ ආත්මය හමු නොවුණේ නම් ඇය තුළ මෙවන් ගැටළු පැනනගින්නට පුළුවන්කමක් නැත. 
“බැරි වුණොත් ඉතින් ජිනාගෙ පරාණකාරයට වෙන තැනක ඉපදෙන්න පුළුවන්කමක් නෑ.. ඔහේ දුක් විඳ විඳ මේක වටේම කැරකි කැරකී ඉඳියි.. ඒක උඹලටත් හොඳ නෑ නෙ..” 
හීන්නෝනා බියෙන් මෙන් වටපිට බලමින් කීවේ ජිනාදරී මේ කොහේ හෝ සිට සියල්ලට ඇහුම්කන් දී සිටින බැව් අඟවන්නාක් මෙනි. ඒ අවස්ථාවේ කිත්සිරි විමසිල්ලෙන් දියණිය දෙස බැලීය. මෙවන් කතාවක් ඇසූ විට ඇය බියපත් විය යුතු වුවත් ඒ දෙතොලේ පෙනෙන නොපෙනෙන ආකාරයේ සිනාවක් මිස බියක සේයාවක්වත් නැති බැව් ඔහු නිරීක්ෂණය කළේය. 


“එයා එහෙම කැරකි කැරකී ඉන්නවානම් දානෙ දෙන්න ඕනැ නෑ අම්මා.. දානෙ දුන්නම ඒ පින් අරගෙන එයා යන්න යයිනෙ..” 


ඔහු පහත් හඬින් කී විට දිනේෂි වහා ඔහු දෙස බැලු‍වේ එය අනුමත කරන්නාක් මෙනි. සමාජ සම්මතයේ පවතින බොහෝ දේවල්වලට තාත්තා එරෙහි වන බැව් ඇය දැන සිටියාය. එම නිසාම ඔහු නිරන්තරයෙන්ම වැඩිහිටියන්ගේ දෝෂ දර්ශනයට ලක් වූයේය. එහෙත් තුන් මාසයේ දානය වැනි තීරණාත්මක අවස්ථාවකට ඔහු මෙවන් විරෝධයක් දක්වනු ඇතැයි ඇය සිහිනෙකින්වත් සිතුවේ නැත. ඉනික්බිතිව ඇගේ බැල්ම යොමු වූයේ ආච්චි දෙසටය. ඇය කෝපයෙන් පුපුරු ගසමින් සිටිනු පෙනිණි. 


“කිත්තො.. හැබෑටම උඹ ඉන්නෙ හොඳ සිහියෙන් ද..? මොනවද මේ කියන කුණුහරුප කතා..? තමන්ගෙ ගෑනිගෙ තුන් මාසෙ දානෙ දෙන්න ඕන නෑ කියන මිනිහෙක් මම මේ දැක්කමයි.. උඹ කවදාවත් කිසිම දේක හොඳක් දැක්ක මිනිහෙක් නෙමෙයි.. දෙයියො බුදුන් අදහන්නෙ නෑ.. ගෑනිගෙ, ළමයෙකුගෙ හඳහනක් බලන්නෙ නෑ.. ඒකෙන් තමයි දෙයියො කෝප වෙලා මේ තරම් විපත්තියක් කෙරුවෙ. දැන්වත් මොළේ පාවිච්චි කරලා වැඩ කරපන්..” 


ඇය කෑ ගැසුවාය. 


ලබන සතියට...