එදා වගේම අදත් ඉන්දියාවෙන් උතුරට එන හොර බඩු


එදා පොලිස් අත්අඩංගුවට පත් වූ කුට්ටුමනී

 

ශ්‍රී ලාංකික ජනතාව දැනට වසරක පමණ කාලයක සිට ජාතිභේද, ආගම් භේදයකින් තොරව පෝලිම් අත්දැකීම ලබති. කිරිපිටි, සිමෙන්ති, ගෑස් පෝලිමේ සිටි ජනතාව ඉන්ධන, තෙල් හිඟයේ උපරිම ස්ථානයේ පසුවෙති.   

මේ ආකාරයට භාණ්ඩ හිඟය නිසා යුද සමයේදී උතුරේ ජනතාව දශක කීපයක් තිස්සේ මේ පෝලිම් අත්දැකීම් ලැබුවෝය. වව්නියාවේ ජනතාවද එකල මෙම පෝලිම් අත්දැකීම් ලැබුවද වව්නියාවේ පිහිටීම නිසා විකල්ප විසඳුම් තිබිණි. වව්නියාවට උතුරෙන් කි.මී. 10 දුරින් කොටි පාලන වන්නි ප්‍රදේශය පිහිටා තිබූ අතර, වව්නියාවට දකුණෙන් කිලෝමීටර් 08ක දුරකින් උතුරු මැදට අයත් අනුරාධපුර දිස්ත්‍රික් සීමාව පිහිටා තිබිණ.   
වව්නියාවට උතුරෙන් පිහිටි කොටි පාලන ප්‍රදේශයට ප්‍රවාහනය කෙරෙතැයි සැක පිට අතරමැදිව පිහිටි වව්නියාවට යම් යම් භාණ්ඩ සඳහා සීමාවන් පැවතුන ද අනුරාධපුරයට එම තහනම් ක්‍රියාත්මක වූයේ නැත. වව්නියාවෙන් තොග භාණ්ඩ, ඉන්ධන නිකුත් කිරීමේදී සීමා හා බලපත්‍ර ක්‍රමයක් පැවති නිසා විකල්ප විසඳුමක් ලෙස ඇතැම් පිරිස් යාබද අනුරාධපුර දිස්ත්‍රික්කයට ​ගොස් එම භාණ්ඩ රැගෙන ඒමට පියවර ගෙන තිබුණි. තවත් පිරිසක් එය ව්‍යාපාරයක් ලෙස ද කළේය. නමුත් වර්තමානයේදී මේ තත්ත්වය වෙනස්ය. මුළු මහත් ශ්‍රී ලංකාවම මේ භාණ්ඩ හිඟයට මුහුණ දී සිටින බැවින් අසල්වැසි දිස්ත්‍රික්කයට නොව පළාත් දෙක තුනක් ගිය ද හිඟ භාණ්ඩ සොයා ගත නොහැක. ඒ මක්නිසාද යත් මුළු රටම එකම ඉරණමකට මුහුණ දී සිටින බැවිනි.   
එහෙත් මන්නාරම හා යාපනය ජනතාව විකල්ප විසඳුමක් සොයාගෙන ඇත. ඔවුන්ගේ විකල්ප විසඳුම වී ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙන් හිඟ භාණ්ඩ සඳහා වෙළෙඳපළක් සකස් කර ගැනීමයි. තලේමන්නාරමට හා යාපනය දූපත් ප්‍රදේශවල සිට පෝක් සමුද්‍ර සන්ධිය හරහා ඉන්දියාවට ඇත්තේ කිලෝමීටර 40කට අඩු දුරකි. ඒ නිසා කිලෝමීටර 300-400ක් දුරින් තිබෙන රටේ අගනුවරින් ණයට සපයා ගන්නවාට වඩා පහසුවෙන් අසල්වැසි තමිල්නාඩුවෙන් භාණ්ඩ සපයා ගැනීම පහසු වී ඇත. ඒ නිසා පසුගිය කාලයේදී කහ, කෘෂි රසායන, සිමෙන්ති, ඇපල් (පලතුරු) ආදිය බෝට්ටු මගින් ඉන්දියා​වේ සිට ගෙන්වා ගනු ලැබූ අතර, මෑතක සිට පෙට්‍රල් ඉන්දියාවේ සිට රැගෙන එති. ඇතැමුන් උතුරේ සිට බෝට්ටු මගින් ඉන්දියාවටම ​ගොස් මෙම භාණ්ඩ රැගෙන ඒම සිදු කරනු ලබන අතර, තවත් පිරිසක් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළුවන සංක්‍රමණික ඉන්දියානු ට්‍රෝලර් හිමියන් සමග සම්බන්ධ වී මෙම වෙළෙඳ ගනුදෙනුව සිදු කරති. නමුත් මේ වෙළෙඳ ගනුදෙනුව ඉතා පුළුල් ලෙස සිදු වන්නේ නැත. මෙය නීති විරෝධී කටයුත්තක් බැවින් මෙය සිදුවන්නේ ඉතාමත් රහසිගතවය. ඊට අමතරව ඉන්දීය සැපයුම්කරුවා අදාළ භාණ්ඩ අලෙවි කරනුයේ ඉන්දීය රුපියල් ​හෝ ඇමරිකානු ඩොලර්වලට බැවින් ද මේ රහසිගත වෙළෙඳාම ඉතා සීමා වී ඇත.   


ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසුව තත්ත්වය වෙනස් විය. එයින් පසුව විදේශයේ සිට භාණ්ඩ හා පුද්ගලයන් පැමිණීමට අනුමත වරාය හා ගුවන් තොටුපළ හරහා නීත්‍යානුකූලව ඇතුළු වීම අනිවාර්ය විය. නමුත් උතුරේ නාවික වෙළෙඳ ප්‍රජාවට පරණ පුරුද්ද අත්හැරීමට නොහැකි විය. ඒ වන විට මුහුදු මගින් භාණ්ඩ රැගෙන ඒම හොර බඩු ජාවාරම ලෙස ද පුද්ගලයන් රට තුළට ඇතුළු වීම (සංක්‍රමණය) කල්ලතෝනි ප්‍රශ්නය ලෙස ද ප්‍රචලිත විය. හොර බඩු රැගෙන ඒමෙන් නොනැවතී අබිං වැනි මත්ද්‍රව්‍ය ජාවාරමද උතුරේ සිදුවිය. මෙය එවකට පැවති රජයන්ට මහත් හිසරදයක් විය. ඒනිසා උතුරට විශේෂ අවධානයක් ​යොමු කර ආරක්ෂාව තර කරන ලදී. ඊට හොඳම උදාහරණය නම් නෙඩුන්තිව් (ඩෙල්ෆ්ට්) පොලිසියයි. යාපනය අර්ධද්වීපයට දුරින්ම පිහිටි ඩෙල්ෆ්ට් දූපතේ පිහිටි පොලිසිය  ගැසට් මගින් ආරම්භ කර ඇත්තේ 1950 දශකයේදීය. ඉන්දියාවට ආසන්න දූපතක් බැවින් හොර බඩු ජාවාරමට වැට බැඳීම සඳහා ශ්‍රී  ලංකාවට නිදහස ලැබීමෙන් පසු ඩෙල්ෆ් පොලිසිය ස්ථාපිත කර තිබුණි. නමුත් හොර බඩු ජාවාරම දිගින් දිගටම සිදුවිය. වැල්වැටිතුරේ හොර බඩු ජාවාමේ මූලස්ථානය බවට පත් විය. වර්තමාන වැල්වැටිතුරේ යුද හමුදා කඳවුර ඉදිරිපිට එක ළඟ ඉදිකරන ලද විශාල ප්‍රමාණයේ සුපිරි නිවාස 4ක් ඇත. එම නිවාසයන්හි පදිංචිකරුවන් වැඩි පිරිසක් පදිංචිව සිටිනුයේ යුරෝපයේය. එම නිවාස සියල්ල ෂෙන්ටුගම් නඩරාජා පරම්පරාවට අයත්ය. සෙන් මුහම් රතු යන්නෙහි. සිංහල තේරුම රතු නහයයි. එම නිසා රත් පැහැති නාසයක් හිමි නඩයො ෂෙන්ටුගම් නඩරාජා ලෙස ප්‍රසිද්ධ විය. පැරැන්නෝ පවසන පරිදි මේ නඩරාජා 60-70 දශකයේදී යාපනයේ සිටි ප්‍රධානම හොරබඩු ජාවාරම්කරු විය. එමෙන්ම හොර බඩු ජාවාරමෙන් හොඳ හැටි මුදල් ඉපැයූවෙකි. ඔහුට එකල ඉන්දියාවට යෑම ගම්පහ සිට කොළඹට යන්නාක් මෙන් පහසු ගමනක් විය. මේ නඩරාජාට බිරින්දෑවරු දෙදෙනෙකි. එක් බිරියක දරුවන් සමග ඉන්දියාවේ ජීවත් වූවාය. ඉන්දියානු බිරියට සිටි නඩරාජාගෙ එක් දියණියකගේ නම E.V. සරෝජාය. E.V. සරෝජා යනු 1960-70 දශකයේ ඉන්දියානු සිනමාවේ සිටි ප්‍රසිද්ධ නිළියක හා නර්තන ශිල්පිනියකි. අනෙක් බිරිඳ දරුවන් සමග වැල්වැටිතුරේ ප්‍රදේශයේ විසුවාය. ලංකාවේ හා දකුණු ඉන්දියාවේ බිරියන් දෙදෙනකු සිටීම නඩරාජාට පමණක් සීමා වූවක් නොවීය. එය එකල යාපනයේ සිටි බොහෝ හොර බඩු ජාවාරම්කරුවන්ට පොදු කාරණාවක් විය. බිරියන් දෙදෙනකු සිටීම හොර බඩු ජාවාරමට ද පහසුවක් විය. ඉන්දියාවේ සිටියදී පොලිසිය ඇල්ලූ විට ඉන්දියානුවෙකු ලෙස සිය ඉන්දියානු බිරිඳ සමග පෙනී සටින ජාවාරම්කරුවෙකි. ලංකාවේදී ලංකාවේ බිරිඳ සමග ශ්‍රී ලාංකිකයකු ලෙස පෙනී සිටී. හොර බඩු ජාවාරම්කරුවන් කෙතෙක් බහු විවාහ මෙන්ම අනියම් සබඳතා පැවැත්වුවද කිසිදු දිනක බිරියන් අතර කෙහෙවළු පටලා ගැනීමේ රංඩු සරුවල් හෝ පොලිසියට පැමිණිලි ලැබුණේ නැත.  
 ඒ මක් නිසාද යත් බිරියන් දෙදෙනා රටවල් දෙකක සිටි බැවින් රහස්‍යභාවය රැක ගැනීමට පහසු විය. ඒ නැතත් සිය සැමියාගේ රහස් හෙළි වුවද ඒ සඳහා ක්‍රියාමාර්ගයක් ගැනීමට මුහුදෙන් එතෙර වී ඉන්දියාවට හෝ ලංකාවට යා යුතු විය.   


උතුරේ හොර බඩු ජාවාරමේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේ 1970-1977 සමගි පෙරමුණ රජයේ (සිරිමා) පාලන සමයයි. සිරිමා රජය විසින් දේශීය නිෂ්පාදන දිරිගැන්වීම සඳහා භාණ්ඩ අපනයනය ඉතාමත් දැඩි ලෙස සීමා කෙරිණි. එහි ප්‍රතිඵලය රෙදිපිළි, විදුලි උපකරණ, දේශීය වෙළෙඳපල තුළ හිඟයක් ඇති වීමයි. එම තත්ත්වය නීති විරෝධී හොර බඩු ජාවාරම්- කරුවන්ට වාසිදායක කාලයක් විය. ඒ වන විට මුහුදු මගින් ඉන්දියාවේ සිට නීති විරෝධීව රැගෙන එනු ලබන රෙදිපිළි ගෘහ උපකරණ ආදිය වැල්වැටිතුරේ හා ඒ අවට නිවාසවල තිබිණ. හොර බඩු තිබූ ඇතැම් නිවාස හොඳින් ඉදිකරන ලද විශාල ප්‍රමාණයේ නිවාස වූ අතර, කුඩා ප්‍රමාණයේ පොල් අතු නිවාසද විය. වර්තමානයේදී මහා පරිමාණයෙන් කෙරෙන මංගල උත්සවයකදී මංගල සාරිය ඇතුළු ඇඳුම් ආයිත්තම් මිලදී ගැනීමට යන්නේ පිටකොටුව මහ වීදියටයි. එසේත් නැතහොත් ඉන්දියාව හෝ සිංගප්පූරුවටයි. නමුත් දශක කීපයකට පෙර උතුරේ මංගල උත්සවයකදී මංගල සාරිය ඇතුළු රෙදිපිළි මිලදී ගැනීමට ගියේ වැල්වැටිතුරේ ගම්මානයටයි. තමන්ට ගැළපෙන ඇඳුම් පැළඳුම් සොයා වැට කඩොළු පනිමින් වතු ගානේ පිරිස යාම එකල වැල්වැටිතුරේට සාමාන්‍ය දෙයකි. රෙදිපිළි වෙළෙඳසල් හිමියන්ද වැල්වැටිතුරේට ගියේ අගනුවරවත් නැති රෙදිපිළි අඩු මිලට වැල්වැටිතුරෙන් මිලදී ගැනීම සඳහාය.   
වැල්වැටිතුරේ හොර බඩු ජාවාරම්කරුවන් හොරබඩු පමණක් නොව නීති විරෝධී ලෙස පුද්ගලයන් ඉන්දියාව හා ලංකාව අතර රැගෙන යාම සිදු කළේය. ඊට උදාහරණයක් ඉංග්‍රීසි පාලන සමයේදී වාමාංශික නායකයන්ගේ පලායෑමයි. පිලිප් ගුණවර්ධන (වර්තමාන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ පියා) ඇන්.ඇම්. පෙරේරා ඇතුළු වාමාංශික නායකයන් අධිරාජ්‍යවාදීන්ගේ අත්අඩංගුවෙන් මිදීම සඳහා ඉන්දියාවට පලා ගියේ වැල්වැටිතුරේ වෙරළ තීරයෙනි. සිරිමා පාලන සමයේදී (70-77) යාපනයේ හොර බඩු ජාවාරම්කාරයින්ට අමතර ආදායම් මාර්ග ලැබුණ යුගයක් විය. සිරිමා පාලන සමයේදී එතෙක් පෞද්ගලික අංශයට විදේශීය චිත්‍රපට ගෙන්වීමට දී තිබූ අවසරය ඉවත්කර චිත්‍රපටි ඒකාධිකාරි බලය රාජ්‍ය චිත්‍රපටි සංස්ථාවට පවරා ගන්නා ලදී. ඉන්දියාවේ චිත්‍රපටි අලෙවිය සිදුවූයේ අපූරු ආකාරයකටය. චිත්‍රපටිය තිරගත වන දිනයේදී මිලදී ගන්නේ නම් ඉතා ඉහළ මුදලකට අලෙවි කරන අතර, තිරගත වී මාස කිහිපයකට හෝ වසරකට පමණ පසුව මිලදී ගන්නේ නම් චිත්‍රපටයට ගෙවිය යුතු මුදල කීප ගුණයකින් අඩුවේ. මේ මිල අඩුවීමේ වාසිය බැලූ චිත්‍රපටි සංස්ථා නිලධාරීන් ලංකාවට ආනයනය කරන ලද්දේ අඩු මිලට මුල් ප්‍රදර්ශනයෙන් මාස ගණනාවක් ගිය චිත්‍රපටි හා ඉන්දියාවේ ප්‍රේක්ෂක ආකර්ෂනයක් නොවූ චිත්‍රපටිය. නමුත් යාපනයේ සිටි චිත්‍රපට පිස්සන්ට ඉන්දියාවේ තිරගත වූ චිත්‍රපටි නරඹනතෙක් ඉවසිල්ලක් නොවීය. ඒ නිසා ඔවුහු ඉන්දියාවට ගොස් දෙමළ චිත්‍රපටි නැරඹීමට පුරුදු වූහ. මොවුන් ඉන්දියාවට ප්‍රවාහනය කරන ලද්දේ හොර බඩු ජාවාරම්කරුවන්ය. යාමට ඒමට බෝට්ටු කුලිය රුපියල් 100-200 අතර විය. ඉන්දියාවේදී චිත්‍රපටි නැරඹීමේ ගාස්තුව රු. 1-3 (රුපියලක්-තුනක්) අතර විය. ඉන්දියාවට යන තරුණයින් දිනක් ඇතුළත චිත්‍රපටි කිහිපයක් නරඹා ආපසු ඒමට පුරුදුව සිටියහ.   
හොර බඩු ජාවාරම මැඩලීම සඳහා මීට දශක 5-6කට පමණ පෙර යුද හමුදා ඒකකයක් පිහිටුවා තිබිණි. 1963 අගෝස්තු 14 දින පිහිටුවන ලද මෙම යුද හමුදා ඒකකය හඳුන්වන ලද්දේ ටැෆයි (Task Force for Anti Immigrants) ලෙසයි. යාපනය පලාලිහි මූලස්ථානය පිහිටුවා තිබූ අතර, මන්නාරමේ සිට මුලතිව් වෙරළ තීරය ආවරණය වන ලෙස කුඩා හමුදා කඳවුරු පිහිටුවා තිබිණ. ත්‍රස්තවාදයේ වර්ධනයත් සමග Taffaii හමුදා ඒකකය කොටි ත්‍රස්තවාදය මර්දනය සඳහා යෙදවූ අතර Taffaii ඒකකය ඉබේම අහෝසි විය. නමුත් යාපනයේ ජනතාවට අනුව කොටි ත්‍රස්තවාදයේ උපත එනම් තිඹිරිගෙය වැල්වැටිතුරේ හොරබඩු ජාවාරමයි. ත්‍රස්තවාදී සංවිධානයන්හි ආරම්භක නායකයන් හොර බඩු ජාවාරම්කරුවන් වූහ. කොටි නායක ප්‍රභාකරන් මුලින්ම එක්වූ එක් කල්ලියක් වූයේ චෙල්ලයියා ධනපාලසිංහම් හෙවත් චෙට්ටි යන අයගේ කල්ලියයි. 1975 චෙට්ටි පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසුව ප්‍රභාකරන් එම කල්ලියේ නායකයා විය. ඉන් අනතුරුව ප්‍රභාකරන් කුට්ටුමනිගෙ කල්ලියට එක්විය. කුට්ටුමනිද අංක එකේ හොර බඩු ජාවාරම්කරුවකු වූ අතර, දෙමළ ඊළාම් විමුක්ති සංවිධානයේ (Telo) නිර්මාතෘ​ වේ. මුලින් සඳහන් කළ පරිදි කුට්ටමනිටද ලංකාවේ හා ඉන්දියාවේ බිරියන් සිටියහ. (පොලිස් අත්අඩංගුවට පත් කුට්ටමනි 1983 ජූලි කෝලහල ත්‍රස්තවාදයේ වර්ධනයන් සමයේදී වැලිකඩ හිරගෙදර කැරැල්ලකදී ඝාතනය විය) 70-80 දශකවලදී ත්‍රස්තවාදී මර්දනයේදී ආරක්ෂක අංශ මුහුණ දුන් ලොකුම ගැටලුව වූයේ මේ නීති විරෝධී හොර බඩු ජාවාරම්කරුවන්ය. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් සිදු කරන විට බෝට්ටු මගින් ඉන්දියාවට පලා ගොස් සැඟවීම පුරුද්දක් කරගෙන සිටියහ.   
කෙසේ නමුත් 1977 ජේ.ආර්. ජයවර්ධන මහතා හඳුන්වා දුන් විවෘත ආර්ථික ක්‍රමයත් සමග හොර බඩු ජාවාරම නැවතුණද, ඒ ඒ කාලානුරූපව ජාවාරම්ද වෙනස් විය. 1983 වර්ෂයෙන් පසුව බෝට්ටු ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වූයේ යුද අනාථයන් ලෙස දෙමළ ජාතිකයන් ඉන්දියාවට ප්‍රවාහනය කිරීමයි. 1983දී මෙලෙස ගිය ප්‍රමාණය ලක්ෂය ඉක්ම විය.   


එකල අයෙකුගෙන් රුපියල් 500ක මුදලක් අය කෙරිණ. යුද්ධයේ අවසානයත් සමග ජාවාරම කේරළ ගංජා, මත්කුඩු ප්‍රවාහනයට පරිවර්තනය විය. අද වන විට එය ශ්‍රී ලංකාවේ අර්බුදයට මුහුණ දී තිබෙන කෘෂිරසායනික බෙහෙත්, කහ, ඇපල් වැනි අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍යවලට වෙනස් වී තිබේ. ඒ අනුව පැහැදිලි වන්නේ උතුර හා දකුණු ඉන්දියාව අතර නීති විරෝධී ගනු දෙනු තව ඉදිරියටත් වෙනස් වෙනස් මුහුණුවරකින් සිදු වන බවයි.   

 

 

සටහන
ඕමන්ත ප්‍රියන්ත හේවගේ