උසේන් බෝල්ට්ගේ ව්‍යාපාරික ජීවිතය


 

යුපුන් (Yupun) ​අබේකෝන් අපේ රටේ වේගවත්ම මිනිසා ය. ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දෙන්නේ ජාත්‍යන්තරය ජයගත් මේ ක්‍රීඩකයා ගැන සහ පසුගියදා නිමා වූ පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් හිමිකර දුන්, නෙත්මි පෝරුතොටගේ, පාලිත හල්ගහවෙලගෙදර, දිලංක ඉසුරු කුමාර ගැන රටේ බොහෝ දෙනා කතාබහ වන මොහොතක ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය වෙනුවෙන් අද අප විස්තර කරන්නේ එදා මෙදා තුර ලෝක ධාවන පථයේ අසමසම වාර්තා රැසකට උරුමකම් කියන මෙතෙක් ලොව බිහි වූ වේගවත්ම ධාවන ශූරයා වන උසේන් බෝල්ට් සහ ඔහු මුදල් උපයන ව්‍යාපාර ගැනයි. 

 

ඔහු ඔහුගේ ධාවන ජීවිතයේදී ලද ඔලිම්පික් සහ අනෙකුත් ජාත්‍යන්තර පදක්කම් ගණනට කිට්ටු කිරීමට තරම් ඔහු අභිබවා යාමට තරම් තවත් ක්‍රීඩකයකු බිහිවේද යන්න පවා සිතා ගත නොහැකි තරමට බෝල්ට් නොබිඳිය හැකි වාර්තා රැසක් තබා තිබේ. මීටර 100 තත්පර 9.58 ක කාලයකදී නිම කිරීම යනු සිතාගතවත් නොහැකි විශ්මයකි. ඒත් ඒ විශ්මය සැබෑවක් කළ මිනිසා ඔහු ම ය. එනයින් ලොවම දන්නා උසේන් බෝල්ට් ගැන අපි මුලින්ම කෙටියෙන් විස්තර දැන ගනිමු.   

කතෝලික දහමට අනුව Saint (st) යන නාමය බොහෝ විට යොදා ගැනේ. ඒ දහමට අනුව ස්වර්ගයේ සිටිනා ඕනෑම කෙනෙකු සාන්තුවරයකු (Saint) ලෙස හැඳින්වේ. උසේන් බෝල්ට්ගේ නාමයේ කොටසකට ‘‘සාන්තුවර’’ අරුත ලැබීම එකිනෙකාට දෛවය මැවූ පුදුමයකි. ඔහු ඒ පුදුමය අප ඉදිරියේ පෙන්නුම් කළේ විදුලියක් සේ, වේගවත් වීමෙන් ය. සැබෑ පුදුමයට කාරණය නම්, උසේන් බෝල්ට් යනු ඔබ අප මෙන් ඍජු කොඳු නාරටියක් සහිතව උපත ලැබූ අයෙක් නම් නොවේ ය. තරමක් ඇලයකට එය පිහිටා ඇත. එය සැබැවින්ම කොඳු ඇට පෙළේ‍ රෝගී තත්වයකි. කුඩා කාලයේ සිට මෙම ආබාධිත තත්ත්වයෙන් පෙලී සිටි උසේන් බෝල්ට් හට එය මග හරවාගෙන, ධාවන පථය ජය ගැනීමට, විටෙක, කඟවේනෙකු, තවත් විටෙක චීටාවකු සේ දිව යාමට මාවත සකස්කර දුන්​නේ ඔහුගේ පුහුණුකරුවන්ට පින්සිදුවන්නටය. උසේන් හෙවත් ජැමෙයිකානුවන්ගේ උච්චාරණය අනුව යුසේන් ලෙස ශබ්ද වේ. කොඳුඇට පෙලේ ඇදය නිසා උසේන්ගේ පාද දෙකද සම නොවේ. එක් පාදයක් එකකට වඩා උසින් අඩුය. එවැනි ස්වභාවයක් ඇති මිනිසෙක් මේ තරමට වේගයෙන් දිවීම සහ අසමසම ලෝක වාර්තාවකට හිමිකම් කීම සැබැවින්ම ආශ්චර්යයකි.   


උසේන් සෙන්ට් (ශාන්ත) ලියෝ බෝල්ට් උපත ලැබුවේ, ජැමෙයිකාවේ මොන්ටෙගේබේ (හරියටම කිව්වොත් ජැමෙයිකාවේ උප කුඩා නගරයක් වන ෂර්වුඩ්හිදීය). පියාගේ නම වෙල්ස්ලි ය. මවගේ නම ජෙනිෆර් ය. මේ යුවළ එකල කළේ තම ගමේ ඉතා කුඩාවට සිල්ලර කඩයක් පවත්වාගෙන යෑමය. ‘බෝල්ට්’ පවුලේ අය ජීවිකාව ගෙන ගියේ එයින් ලද පුංචි මුදලකිනි. උසේන් බෝල්ට් පවුලේ වැඩිමලා ය. මල්ලිගේ නම සදිකි බෝල්ට් ය. එකම සහෝදරියගේ නම ෂෙරීන් ය.   


බටහිර ඉන්දීය කොදෙව්වන්ට ජීවයෙන්ම උරුම වූ සහ දක්ෂතාවය දක්වන ‘ක්‍රිකට්’ ක්‍රීඩාවේ කුඩා කල සිට උසේන් මහත් සේ ප්‍රිය කළ අයෙක් විය. මෙනිසාම ඉඩ ලද සෑම මොහොතක දී ම කළේ මල්ලී සමග එක්වී වීදි පුරා, කෙටි මාවත් පුරා සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩා කිරීම ය. කුඩා කල සිටම ‘බෝල්ට්’ ක්‍රීඩාවට දක්ෂයකු වුවද, ඔහුගේ අරමුණ වී තිබුණේ ක්‍රිකට් ක්‍රීඩකයකු වීම ය. පාසලේ 12 න් පහළ තරගයක දී දිවීමට ඉදිරිපත් වූ අතර එය ජයග්‍රහණය කළේ අන් අය විශ්මයට පත් කරවමිනි. එතැන් සිට දිවීම නිසා පාසලට ජයග්‍රහණ අත්කර දෙමින් පදක්කම් පිට පදක්කම් ලබමින් සිටිය ද ඔහු හදවතින්ම ආදරය කළේ, ‘ක්‍රිකට්’ ක්‍රීඩාවට ය. ඊට අමතරව ‘පාපන්දු’ ඔහුගේ අනෙකුත් ප්‍රියතම ක්‍රීඩාව බවට පත්කරගෙන සිටියේ ය.   


විලියම් ක්නිබ් අනුස්මරණ උසස් පාසලට ඇතුළත් වීමෙන් පසුවද ‘ක්‍රිකට්’ ක්‍රීඩකයකු ලෙස කටයුතු කරමින් සිටියද ‘බෝල්ට්’ පන්දු රැකීමේදී දිවයන අසාමාන්‍ය වේගය දුටු ක්‍රිකට් පුහුණුකරු දිනෙක බෝල්ට් හට පැත්තකට එන්න යැයි කීවේ ය.   


‘‘යුසේන්, පුතා මම ඔයාට බොහොම ආදරයෙන් දෙයක් කියන්නම්, ඔයා මලල ක්‍රීඩා අංශයෙන් ගියොත්, ක්‍රිකට්වලට වඩා ලොකු දෙයක් කරන්න පුළුවන් වේවි’’   
එදා පෙර කී පරිදි උසේන් 12න් පහළ දිවීමට සහභාගි වූයේ ඉනික්බිතිව ය. හිටපු ජැමෙයිකානු ඔලිම්පික් තරග ශූරයකු වූ ‘පැබ්ලෝ මැක්නීල්’ එතැන් සිට බෝල්ට්ගේ පුහුණුකරුවා වීම නිසා ඔහු ධාවන තරග කෙරෙහි ටිකෙන් - ටික උනන්දු වී, නිරන්තර පුහුණුව ලබමින් ඒ හා සමානවම ජයග්‍රහණ ද ලබාගත්තේය. ඩිවේන් ජැරට් පුහුණුකරුවා ද ඔහුගේ අනෙක් උපදේශකයා වී ය. ධාවන ශූරයකු වූ මයිකල් ග්‍රීන්ගේ සහාය ද නොමදව ලබාගැනීමට තරම් බෝල්ට් වාසනාවන්ත විය. ලෝක කණිෂ්ඨ ශූරතාවලිය නියෝජනය කරන විට බෝල්ට්ගේ වයස අවුරුදු 15ක් වූ අතර, උස අඩි 6ක් සහ අඟල් 5ට සමීපව සිටියේය. ලෝක කනිෂ්ඨ ශූරයා ලෙස කරලියට ඒමත් සමග, ෆිට්ස් කෝල්මන් පුහුණුකරු යටතේ, වෘත්තීය ධාවන ජීවිතයට අවතීර්ණ වී සිටි උසේන් හට ඉන්පසුව ඒ වන විට ජැමෙයිකානු ලෝක ශූරයාව සිටි අසාෆා පවෙල් ද උපදෙස් දෙමින් දිරිමත් කළ බව සඳහන් වේ. 2008 න් පටන් ගත් ඔලිම්පික් ගමනේ දී පමණක් බෝල්ට් රන් පදක්කම් 8ක් රටට දිනා දුන් අතර, ලෝක ශූරතා තරගාවලිය නිසා රන් පදක්කම් 11ක් රටට දිනා දී තිබේ. 17න් පහළ 20න් පහළ කණිෂ්ඨ ශූරතා ගතහොත් උසේන් බෝල්ට් යනු රන් කුමාරයෙකි. රනින් පදක්කම් අස්වැන්න සරුවට නෙළා ගත් අසමසම වීරයෙකි. ‘ජැමෙයිකානු විදුලිසැරය’ (අකුණුසර) ලෙස අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන උසේන් බෝල්ට් යනු ජැමෙයිකාවේ ඉහළම ගෞරවයට පාත්‍ර වූ මිනිසෙකි. ඔහුගේ නාමය ඉදිරියේ OJ (order of Jamaica) OD (order of distinction) OLY යන ගෞරව නාමයන් ඇතුළත් ය. ඒ අනුව අද ඔහු හැඳින්වෙන්නේ, OJ, CD, OLY, උසේන් st, ලියෝ බෝල්ට් යනුවෙනි. OJ යනු නයිට් නාමයක් මෙනි. එතරම්ම රටේ ඉස්තරම්ම ගෞරවය ඔහු ලබා තිබේ. 'OLY' නාමය ලබා දී ඇත්තේ, ලෝක මලල ක්‍රීඩා සංගමය විසිනි.   

දිගු කාලයක් තිස්සේ උසේන් බෝල්ට් පෙමින් වෙලී සිටියේ නිරූපිකාවක වන කාසි බෙනට් සමග ය. ඇය සමග යන එන තැන් සහ පෞද්ගලිකව ‘කාසි’ යන තැන් පැපරාසීන් හට හොඳ අවස්ථා විය. මෙයින් ගැලවීමට බැරිම තැන ඇය ගැන බෝල්ට් මුළු ලෝකයටම කියා සිටියේය. අඩි 5යි අඟල් 2ක් උසැති ඇය උපත ලැබුවේ 1990 ජූලි 7 ජැමෙයිකාවේ ඕල්ඩ් හාබර් හි දී ය. ඇය ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිධාරිනියක ද වන්නීය. අද සැමියා සමග ඇය ද ව්‍යාපාරික කටයුතුවල යෙදෙන බව කිව හැකිය. 
උසේන් බෝල්ට්ගේ ව්‍යාපාර කටයුතුවලට ඇයගේ දැනුම ඉතා වැදගත් වී ඇත. අද මේ යුවළ දරුවන් තිදෙනෙකුගේ මව් පිය යුවළකි. ඔවුනගේ දියණියගේ නම ඔලිම්පියා ලයිට්නින් බෝල්ට් ය. නිවුන් පුතුන් තිදෙනාට නම් තබා ඇත්තේ ශාන්ත ලියෝ බෝල්ට් (st) සහ තන්ඩර් (Thunder) බෝල්ට් ලෙස ය. අද මේ බෝල්ට් පවුල වෙසෙන්නේ ජැමෙයිකාවේ නම් නොවේ. එවකට ඔහු ප්‍රකාශ කර සිටියේ තමා කිසිදාක ජැමෙයිකාව අත්හැර නොයන වග ය. එහෙත් හිත හොඳ මේ ලෝක පූජිතයා, ඒ පොරොන්දුව කඩ කළ නිසා ජැමෙයිකානු බලධාරීන් පවා කනස්සල්ල පළ කළ පුවත් පළවිණි. 


ජැමෙයිකානු රාජ්‍යය ඔහුට ඉහළම ගරු නාමය පුදකර තිබුණද දැන් ඔහු වෙසෙන්නේ, ඕස්ට්‍රේලියාවේය. බ්‍රිස්බේන් ලේක් එකට මුහුණලා ඇති රමණීය නිවසක වෙසෙන බෝල්ට් මලල ක්‍රීඩා දිවියට සමුදුන් පසුව පාපන්දු ක්‍රීඩාවේ නිරත වේ. ‘මැන්චෙස්ටර් යුනයිටඩ්’ යනු ‘බෝල්ට්’ පිස්සුවෙන් මෙන් රසිකත්වයක් දක්වන පාපන්දු කණ්ඩායම වේ. එ මොන දේ කළත් ක්‍රිකට් යනු ඔහුගේ ජීවිතය මෙනි. ක්‍රිකට් ක්‍රීඩාවට ද එතරම්ම ප්‍රිය කරන ඔහු වතාවක පවසා සිටියේ, සචින් තෙන්දුල්කාර්, එම්.එස්. දෝනි, මැතිව් හේඩ්න්, ක්‍රිස් ගේල් ඔහුගේ ප්‍රියතම ක්‍රිකට් තරු බව ය. 


ක්‍රිකට් ක්‍රීඩා කිරීම ද කළ බෝල්ට් වේග පන්දු යැවූ ක්‍රීඩකයකු විය. ඔහුගේ ප්‍රියතම පන්දු යවන්නා වාකාර් යුනුස් වන අතර, ප්‍රියතම ක්‍රිකට් කණ්ඩායම වන්නේ පාකිස්ථානු ක්‍රිකට් කණ්ඩායමයි.  

ඉලෙක්ට්‍රික් ස්කූටර් කම්පැනි බෝල්ට් මොබිලිටි නමින් ඔහු ස්ථාපිත කළේ 2018 වසරේදීය. පැයට කිලෝමීටර 25ක පමණ වේගයෙන් ධාවනය කරවිය හැකි නැනෝ තාක්ෂණයද සමන්විත ඔහුගේ සැහැල්ලු විදුලි මෝටර් බයිසිකල් සඳහා ඇත්තේ ඉහළ ඉල්ලුමකි. නිව්යෝර්ක්හිදී එළිදැක්වූ, මෙම ව්‍යාපාරය යුරෝපයේ පැරිසිය දක්වා ව්‍යාප්ත කරවීමට ඔහුට හැකිව තිබේ. 2019 දී ‘විවා’ තාක්ෂණ සම්මේලනයට සහභාගි වෙමින් ඔහු පවසා සිටියේ තමාගේ සමාගම ඉදිරියේදී නැනෝ තාක්ෂණයෙන් යුතු කුඩා මෝටර් රථය හඳුන්වා දෙන බවය. එම සම්මේලනය අතරවාරයේ ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්රෝන් හමුවී සාකච්ඡා කිරීමද ජාත්‍යන්තර මාධ්‍ය ඉහළින් වාර්තාකර තිබිණි.  


උසේන් බෝල්ට්ගේ ‘අවන්හල්’ ජාලය නම් කර ඇත්තේ, ට්‍රැක්ස් ඇන්ඩ් රෙකෝඩ්ස් (Tracks & records) නමිනි. ජැමෙයිකාවේ ස්ථාපිත කළ මෙම අවන්හල් ජාලය ජාත්‍යන්තරයට ගෙන ගියේ 2021 දී නැගෙනහිර ලන්ඩනයේ මිඩ්ල්සෙක්ස් වීදියේ අවන්හලක් ස්ථාපිත කරමිනි. ජැමෙයිකාවේ කිංස්ටන්, ඔචෝරියෝස් සහ චොන්වෙගෝ බේ අවන්හල්වලට අමතරව සිව්වැනියට විවෘත කළේ එංගලන්තයේ ලන්ඩන්හි ස්ථාපිත කළ මෙම අවන්හල ය. ජැමෙයිකානු නියම ආහාරය රස විඳ ගැනීමට ලන්ඩන​යේ ස්ථාපිත වූ කදිම අවන්හලකි. ජේර්ක් චිකන්, ​ජෝක්, ෆිෂ්, බැමි සහ ජැමෙයිකානු රසයට ලොල් බැඳි යුරෝපීයයන් මේ අවන්හල සොයා එන බව වාර්තා වේ.  

 


‘‘ලන්ඩනය මට මගේ දෙවැනි නිවස වගෙයි, මගේ හදවතට හරිම සමීපයි. ඒ නිසාම අවන්හලේ පහත මාලය නර්තනයට සුදුසු විදියටත් මගේ සැමරුම් ඇතුළත් විදියටත් සකස් කළා’’  


‘‘බෝල්ට්’’ එසේ පවසයි. මෙම ව්‍යාපාරවලට අමතර ලෝ ප්‍රකට වෙළඳ නාම සහ විවිධ වෙළඳ ගිවිසුම් නිසා, ඔහුට ලැබෙන මුදල අතිවිශාල ය. ලෝ ප්‍රකට පුමා (puma) හියුබෝල්ට් අත් ඔරලෝසු ඇතුළු වෙළඳ ගිවිසුම් නිසා විශාල මුදලක් ඔහුට ලැබේ. ‘රැවුල බෑමේ’ නිෂ්පාදන ඇතුළත් කම්පැනියක්ද ඔහු සතු ය.  


ජැමෙයිකාවේ උපත ලබා, ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙමින්, ඇමරිකාවේ සිට ව්‍යාපාර අරඹා, එංගලන්තය දෙවැනි නිවෙස කරගෙන සිටින, උසේන් බෝල්ට් ගැන කිව යුතු විශේෂ දෙයක් තිබේ. එනම් අඩි හයයි හතරෙ මිනිහෙක් වුවද සමහර මිනිසුන්ට රටට තියා තමාටවත් වැඩක් කර ගත නොහැකිය. ඒ අතින් බලන කල, කොඳු නාරටියේ ඇලයක් පවා තිබූ ආබාධිත තත්වයේ සිටි ‘උසේන් බෝල්ට්’ යනු අසාමාන්‍ය චරිතයකි. තම හැකියාවට මුල් තැන දුන් ඔහු ආබාධ නිසා ජීවිතයට ‘තිත’ තබාගත් අයෙකු නොවීම ඒ විශේෂත්වයයි.

 

 

පරිවර්තන සටහන : සඳුන් ගමගේ  
[email protected]