ඉස්සර දවසක මහා සෑයට මල් ගෙන ගිය තුලාවෙල්ලිය


ගුරු පාරේ දකුණු පස කුඹුරු යායේ යලේ වී අස්වනු නෙළීමට තවත් දින කිහිපයක් ගතවෙන බව අනුමානයෙන් කියත හැකිය. කිරට නැමුණු ගොයම රන්වන් පැහැයට හැරෙමින් තිබේ. මේ ගිනිදන අව්ව ගොයම කැපෙන දිනය කඩිනම් කරයි. අක්කර ගණනාවක කුඹුරු යායෙහි වැඩි හරියක් යලෙහි පුරන් වී තිබේ. පුරන් වූ ලියැදි මත එල ගවයින් රොත්තක් වියළි තණ උලාකමින් සිටිති. ගවයින්ට දිය දීමට පැමිණි සමහරෙකු ගිනිදන අව්වේ ගුරු පාරේ රත්වූ වැල්ලේ ඉක්මන් අඩි තබමින් යනු පෙනේ. ගැහැනු, පිරිමි ඔවුන් හැම ගේ පාහේ තෙහෙට්ටුවෙන් පිරුණු මුහුණු කළු වී ගිය ගල් තලාවක් මෙනි. 

අනුරාධපුරයෙන් නික් මී සුප්‍රකට ඒ නවය පාරේ මැදවච්චිය දෙසට කිලෝමීටර් දහයක් පමණ පැමිණි විට පරසන්ගස්වැව හන්දිය මුණගැසේ. එහි සිට වමත දෙසට ඇති මාර්ගයේ තවත් කිලෝමීටර් දහයක් පමණ ගියතැන් හි කෝවිල්බැන්ද ගම්මානයේ මහවැව දැකගත හැකිවේ. එතැන් සිට දකුණත දෙසට දියත් වන ගුරු පාරේ තවත් කිලෝමීටර් අටක් පමණ මග ගෙවූ විට “තුලාවෙල්ලිය” ගම්මානය මුණගැසේ. 

ගිනි ගහන අව් රැස් “තුලාවෙල්ලිය” පුරාණ ගම මැදින් දිවෙන ගුරු පාරේ දූවිලි අවුළුවයි. ගුරු පාර දුෂ්කරතා සපිරි එකකි. එහි වළගොඩැලි බොහෝ වේ. විටෙක හමා එන සුළඟට මුසුවෙන දුහුවිල්ලෙන් මුහුණ වැසී යයි. මග දෙපස වන ළැහැබ අලි විමානයකි. වනය පසු කොට තවත් දුර යත්ම දිස්වන මේ වෙල්යාය හිතට අස්වැසිල්ලකි. මින් ඔබ්බට ගම්මැද්ද බව දැන් පැහැදිලිය. ගුරු පාරේ හැල්මේ පිය මනින අයෙකි. ඔහුට හදිසියක් ඇති සෙයක් නොපෙනේ.

“කොහෙ ද මේ අව්වේ ගියේ..?” 

මම කතාවකට පොටක් පෑදීමට වෑයම් කළෙමි. 

“කුඹුර පැත්තේ ගියේ නිකං බලලා එන්ඩ. තවම කපන්ඩ මදි.” මොහොතක් ගමන බාල කොට ඔහු පිළිවදන් දෙයි. ඔහු නමින් පී. ප්‍රියන්තය.

“මේ පාර වැස්ස අඩුයි නේද ?” 

කලක් තිස්සේ දන්න හඳුනන ලීලාවෙන් මම යළි ඇසුවෙමි.

“මෙදා ලොකු වැහි වැස්සේ නෑ. ඒකත් අපේ වෙලාව.”

“රජ කාලේ මෙහෙන් නේ ද රුවන්වැලි සෑයට නෙලු‍ම් මල් ගෙනිච්චා කියන්නේ.”  

මා එතෙක් මනසේ පොදි කෑ පැනය කරුණාබරිත මුහුණින් යුතු ඔහු වෙත යොමු කළෙමි.

“ඕක ගැන හරියටම කියන්ඩ පුළුවන් කෙනෙක් ඉන්නවා. එන්ඩකෝ යන්ඩ.”  ප්‍රියන්ත ඉස්සර වෙයි. මා ඔහු පසුපස වැටුණෙමි. 

ප්‍රියන්ත ගේ අයුරුවෙන් තුලාවෙල්ලියේ තලතුනා වැඩිහිටියෙකු වූ ඒ. කපුරුබණ්ඩා මුණගැසීමේ ඉඩකඩ උදාවිය. නිවුණු පෙනුමෙන් යුතු ඔහු හැටපස් වියැතිය. සියලු‍ දුක් මොහොතක දී නිවාරණය කරමින් ඔහු මුහුණත සිනහවක් මතුව එයි. හේන්, කුඹුරු කරමින් ජීවිකාව ගෙන යන කපුරුබණ්ඩා මහත්තයා මේ වියළි, දුෂ්කර පරිසර රටාව තුළ හොඳින් පදම් වූ අයෙකි. ඔහු ගම හා බැඳුණු අතීත කතාවේ වං හුං මා හා කියන්නට විය. 

“අල්ලපු ගමෙන් නෙලු‍ම් මල් කඩාගෙන ඇවිල්ලා මේ ගමේ දී කිරලා මල් පුප්පලා කරත්ත පෙරහරකින් රුවන්වැලි සෑයට ගෙනිච්චා කියන කතාව තමයි කටින් කට එන්නේ. මාසෙකට සැරයක් මල් ගෙනිච්ච ද සතියකට සැරයක් ගෙනිච්ච ද එහෙම නැත්නම් දවස ගාණේ ඔය රාජකාරිය කෙරුව ද කියලා තමයි හරියට බේරගන්ඩ බැරි. ඒත් දවස ගාණේ මල් ගෙනිච්ච කියන එක තමයි විශ්වාස කරන්නේ. මෙතැන ඉඳලා අනුරාධපුරේට හැතැම්ම විසිපහක් විතර තියෙනවා. සද්ධාතිස්ස රජ්ජුරුවන් ගේ කාලේ ඉඳලම මේ මල් පූජාවට ගෙනිච්චා කියන එක තමයි අපි අහලා තියෙන්නේ. ඒ රාජකාරිය කරපු අය මේ ගමේ ඉඳලා තියෙනවා.” 

“මෙහේ ඉඳලා නෙලු‍ම් මල් ගෙනිච්චා කියලා අපි කොහොම ද හරියටම කියන්නේ” 

මම අතුරු පැනයක් යොමු කළෙමි. 

“මල් කිරන්ඩ පාවිච්චි කරපු තරාදිය එල්ලපු ගල් කණු තුන හතරක් හිටවපු විදිහටම අදටත් ගම මැදට වෙන්ඩ තියෙනවා. ගල් කණු තියෙන ඉඩම පුරාවිද්‍යා එකෙන් වෙන් කරලා තියෙනවා. දැන් එතැන කැලෑ වැහිලා තියෙන්නේ. අඩුම ගාණේ මෙතැන බෝඩ් එකක් දාලා ඉඩම සුද්ද කරලා දානවා නම් ලොකු වටිනාකමක් මෙතැනට එනවා. ඉඩම වෙන් කරලා ගිහිල්ලා සෑහෙන කාලයක් වුණා. ඊට පස්සේ තාම කවුරුවත් ආවේ නෑ.” 

“ඇත්තටම මාමා පූජා කරන්ඩ ගෙනිච්ච මල් ඇයි කිරන්ඩ ඇත්තේ. ” 

මා ඇසු පැනයට කපුරුබණ්ඩා දුන්නේ මෙවැනි පිළිතුරකි. 

“ඒක රාජකාරියක් විදිහට කරපු නිසා දවසකට ගෙනියන්ඩ ඕන මල් ප්‍රමාණේ නියම කරලා තියෙන්ඩ ඇති. මෙච්චර බර තියෙන මල් එක සැරේකට ගේන්ඩ ඕන කියලා දන්වලා තිබුණා වෙන්ඩ පුළුවන්. අනිත් එක සීමාවක් ගානක් නිනව්වක් නැතිව මල් ගෙනිච්ච නම් ඒක රාජකාරියක් වෙන්නේ නෑනේ. එහෙම් පිළිවෙළක් නැති වුණාම වැව් පිටින් මල් කඩලා ගෙනියයි. මං හිතන්නේ ඒ නිසා වෙන්ඩ ඇති කිරලා ගෙනියන්ඩ ඇත්තේ.” 

එනයින් තුලාවෙල්ලිය සියවස් ගණනාවක වටිනාකම් රැසකට උරුමකම් ඇති ගම් පියසක් වග අනුමාන කළ හැකි වේ. පෙර රජ දවසෙහි තුලාවෙල්ලියේ සිට ගොන්බැඳි කරත්තවල තබා රුවන්වැලි මහා සෑයට නෙලු‍ම් මල් ගෙනගිය පුවතක් ජනප්‍රවාදගතව පවතී. සමහර විටක පා ගමනින්ම මල් ගෙන ගොස් මේ පූජා සත්කාරයට දායක වූ පිරිසක් ද එවක මෙම ගම්මැදිවල සිටින්නට ඇත. එය පුරාවිද්‍යාත්මකව පිළිගත හැකි සාධක කිහිපයක් ද මේ ගම් මායිමේ තවමත් ශේෂව පවතී. යාබද පුල්එලිය ගමෙන් නෙළාගත් නෙලු‍ම් මල් තුලාවෙල්ලියට ගෙනවිත් එහිදී බර කිරා, පෙති පුබුදා මහා සෑය කරා ගෙන ගොස් පූජා සත්කාර කර ඇති බව සඳහන් වේ. 

නෙලු‍ම් මල් කිරන ලද තරාදියක් වැනි යමක් රැඳවූ බවට අනුමාන කෙරෙන ගල්කණු කිහිපයක් අදත් තුලාවෙල්ලිය ගම්මැද්දේ දී දැකගත හැකි වේ. ගමට කිලෝමීටර් තුනක් පමණ ඔබ්බෙන් ඇති කනදරා ඔය හරහා බැඳි ගල් පාලමකින් එතෙරව නෙලු‍ම් මල් මහා සෑය කරා ගෙන ගොස් ඇති බව කටින් කට කියැවේ. දැන් කනදරා ඔය හරහා ගල් පාලමක් නැත. එය ඔයට කඩා වැටී ඇත. එහෙත් එහි නටබුන් තවමත් ශේෂව තිබේ. වසර කිහිපයකට මත්තෙන් ඉදිකළ කොන්ක්‍රීට් පාලමකින් ගැමියෝ එතෙර මෙතෙර වෙති. ගල් පාලමේ සුන්බුන් ඔය මායිමෙන් දිස්වේ. පුල්එළිය ගමෙහි තිබූ වැව්, පොකුණු ආදියෙන් නෙළාගත් නෙලු‍ම් මල් මෙසේ රුවන්වැලි මහා සෑය පිදීමට ගෙන ගිය හෙයින්ම පුල්එළිය ගමට “පියුම් පොකුණ” යන නම පටබැඳ තිබූ බව තුලාවෙල්ලිය වැව ඉහත්තාවේ දී මුණගැසුණු පී. අබේරත්න කීවේය. 

ගිනිදන අව්වේ වැව් තාවුල්ලේ බොර දිය කඩිත්තක දිගේලි කළ මී හරක් රංචුවක් ඈතින් ඈතට දිස්වෙයි. හිඳෙන වැව් පිටියේ දිග පළල දවසින් දවස වැඩිවෙයි. ගිනි කාෂ්ටකේ ඔට්ටු වී දින, සති ගතවෙත් ම වැව් දියත්ත අඩියටම සිඳී යෑමට නියමිතව තිබේ. ඇති දිය කඳුලෙන් රෙදි පෙරදි සෝදා ගත් එකියක දරු සිඟිත්තෙකු ද සමග අප පසුකර යන්නට විය.  හිඳීයන වැව් දියත්ත දෙස බලා වියපත් අබේරත්න මහත්තයා කට ඇරියේ ය. 

එම්. සෝමාවතී 

 

“ගමේ වැව් දෙකක් තියෙනවා. මේක මහවැව. මේ වැවට උඩින් පොඩි වැවක් තියෙනවා. මහවැවෙන් තමයි කුඹුරු කරන්නේ. අක්කර 250 ක් විතර මහට වපුරනවා. යලේ මොනව හරි ගොවිතැනක් කරන්ඩ බක් මහට වහින්ඩ ඕන. දැන් නම් වැව් දෙකම අඩියටම වගේ හිඳිලා තියෙන්නේ. මේ පාර යලේ වැවේ වතුරෙන් කුඹුරු අක්කර හැටක් විතර තමයි වැපුරුවේ. ඒකනං යන්තං පැහෙයි. කුඹුරු යායෙන් වැඩි හරියක් පුරන් වුණා. මේ දවස්වල හවස් වෙන කොට අලි රංචු එනවා වැවෙන් වතුර බොන්ඩ. තව දවස් යන කොට නාගන්ඩවත් වැවේ වතුර ටිකක් ඉතුරු වෙන එකක් නෑ. මේක තමයි අපේ ජීවිතේ.” 

වැස්ස කෙරෙහි වූ විස්වාසයෙන් කෙරෙන හේන්, කුඹුරු ගොවිතැන අද තුලාවෙල්ලියේ ලොකුම ආදායම් මාර්ගයයි. වැව් පිටිවල, කැලෑ රොදවල දිගේලි කළ කිරි හරක්, මී හරක් ගැමියන් ගේ අතට අමතර ආදායමක් උපයා දෙයි. තුලාවෙල්ලිය එක්තරා අන්දමක හුදකලා ගමකි. ගමේ තනි රකිනුයේ ගම වටකර ඇති රූස්ස කැලයයි. ගැමියන් කියන හැටියට මේ වන මායිමේ අලීන් ගේ, ඌරන් ගේ, රිළව්, වඳුරන් ගේ අඩුවක් නැත. සමහර දවසක රාත්‍රියේ නිවෙස් අසලින් වල් අලි හැල්මේ යන අන්දම මෙහි ගැමියන්ට හොඳින් හුරුවූ දසුනකි. 

අලි රංචු සමග ගෙන යන සටන දැන් ඔවුනගේ දෛනික දින චර්යාවේ අනිවාර්ය පංගුවක් වී ඇති සෙයකි. හේන්, කුඹුරු කාලෙට වගාබිම් අසානාසි කරන සද්ධන්ත අලි නිවාස වෙත කඩා වැදී මරණ බිය බෝ කර තිබේ. රාත්‍රියේ අලි මුර කරන ගැමියන්ට දිවා කළ රිළව්, වඳුරන්, ඉත්තෑවන්, මොණරුන් ආදින් ගේ කරදර ද අඩුවක් නැත. පැහී එන ගොයම රැකීමට වෙලේ උඩපැලේ රැය ගතකිරීමට ගැමියන්ට සිදුවේ. කළ වගාවෙන් අස්වැන්නක් ගෙට ගෙන එන තෙක් ඔවුනට ඒ ජීවිතෙන් ගැලවුමක් නැත. ගම කෙළවරට වී කුඩා තේ කඩයකින් සිය බිරිඳ හා එක්ව දවසේ වියදම හොයන වී. මුණසිංහ මුදලාලි මහත්තයා පැවසුවේ මෙවැනි කරුණු පෙළකි.

“අලි කරදරේ තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ. කරපු ගොවිතැන් බේරගන්ඩ පැල් උඩට වෙලා රෑ එළිවෙනකන් නිදිමරනවා. ඒත් පොඩ්ඩ බැරිවෙන කොට ඔක්කොම ඉවරයි. මං දැන් ගොවිතැන් කරන්නේ නෑ. මේ කඩෙන් කීයක් හරි හොයාගෙන අපි දෙන්නා දවස ගෙවා ගන්නවා. දරුවන්ට කරදර කරන්ඩ යන්නේ නෑ.” 

ගම්මැද්දේ ජීවිත අවුරා දුක ඇවිළෙන මුත් තුලාවෙල්ලියේ පිහිටීම පිටිසර සිරියාවට හොඳටම දෙස් දෙයි. වියළි කටුක පරිසරයට අභියෝග කරමින් අතු පතර ලා වැඩුණු පලු‍, වීර ආදි ගස් ගම කෙළවර දිස්වේ. වසර සිය ගණනක ආගිය තොරතුරු මේ විසල් වනස්පතීන් දැක ඇතිවාට සැක නැත. ගම කෙළවර ඇති වළගම්බා ආරණ්‍ය සේනාසන විහාරය ද මෙහි පෞරාණික බවට කදිමට දෙස් දෙයි. වළගම්බා රජු දකුණු ඉන්දීය ආක්‍රමණික පාලකයින්ට එරෙහිව සැඟවී සේනා සංවිධාන කොට ඇති අවදියේ මෙම විහාර අඩවියේ ද සැඟව සිටින්නට ඇතැයි අනුමාන කෙරේ. මෙහි ඇති විසල් ගල් පව්, තැනිතලා, ගල් පොකුණු ආදිය සැඟව සිටින්නෙකුට මහෝපකාරයක්ම වන්නට ඇත. 

තුලාවෙල්ලිය ගමේ පුංචි ඉස්කෝලේ දරුවෝ අසු දෙනෙකු පමණ ගුරුවරුන් පස් දෙනෙකු සමග මේ වන වදුලු‍, මුකලන් අතරේ ජීවිතයේ ආලෝකය සොයා අකුරු කරති. තුලාවෙල්ලිය ගමේ නාම මාත්‍රයක් දැකගත හැකිව ඇත්තේ ද පාසල ඉදිරිපස ඇති පුවරුවේ පමණකි. ගම මැදින් තවත් ගම්මැදි කිහිපයක් පසු කොට කිලෝ මීටර් දහයක් පමණ ගිය තැන්හි මැදවච්චිය නගරය හමුවේ. 

වෙලෙන් ලැබෙන වී අස්වැන්නත්, හේනේ කුරක්කන් අස්වැන්නත් මෙහි ගැමියන් ගේ එදිනෙදා ආහාර වේල පිරිමසයි. වැව් තාවුල්ලෙන් කන්කුන්, මුකුණවැන්න, තැල් කොළ ආදි පලා අහුරක් නෙලා ගැනීමට මෙහි ලියන් සකසුරුවම් වේ. තවමත් මේ ගම්මැද්දේ සමහර නිවෙස්වල “කුරහන් ගල” අත්‍යවශ්‍ය මෙවලමකි. ගලේ කුරහන් ඇඹරීම අමුතුම කලාවකි. අව්වේ වේලා වනේ කොටා, කුරහන් ගලේ අඹරා කුරහන් පිටි ටිකක් එකලස් කර ගැනීමට වෙහෙසෙන ඩබ්ලිව්.එම්. ලතා මාතාව සිය අත්දැකීම් ගැන කීවේ මෙවැනි කරුණුය.   

“පිටි ටිකක් අඹරාගෙන උදේට රොටියක් හදා ගත්තහම ඇති. කුඹුරු වැඩ දවස්වලට තේ බොන්ඩ හැලප ටිකක් හදලා යවපුවහම වෙන දෙයක් ඕන් නෑ. කිරි හොදියි පිට්ටුයි දවල්ටත් හොඳයි. රෑටත් හොඳයි. අපිට දෙයියනේ කියලා හරියට හේනක් පස්ස ගත්තොත් කන්නෙට අමතරේට කන්ඩ කුරහන් ටික ඉතුරු වෙනවා. මේ ගං ගෙවල්වල තාමත් කුරහන් ගල තියෙනවා. දැන් ගොවිතැන් සත්තුන්ගෙන් බේරගන්ඩ ලොකු යුද්ධයක් කරන්ඩ වෙලා තියෙන්නේ. උන්ටත් කන්ඩ බොන්ඩ හිඟවෙලා හින්දා මිනිස්සු කරන ගොවිතැන් අසානාසි කරනවා.” 

පවුල් දෙසීයක පමණ දහසකට වැඩි පිරිසක් මෙම දුෂ්කරතා සමග තුලාවෙල්ලිය ගම්මැද්දට වී ජීවන හුස්ම අල්ලති. ගිනිහම් අව්ව ගම වටකර ඇවිළෙතත් මෙහි ගැමියෝ නිහතමානි චරිත සෝභාවෙන් යුතු වෙති. ඔවුහු කිරට නැමී පැහෙන වෙල් ඉහත්තාව මෙන්ය. එහෙත් වයස ඉක්මවන වියපත් බවක් කම්කටොලු සපිරි මේ ජීවන වටපිටාව ඔවුනගේ මුහුණු වෙත ගෙන දී ඇත. හිඳුණු වැව් දියත්තෙන් බේරුණු පිපුණු සුදු නෙලු‍මක් සිහින් සුළඟට ආ වඩයි. ගුරු පාර දිග දරමිටියක් හිසින් ගත් තැනැත්තියක දුවිලි මැදින් මතුව එයි. ඇය වියපත් එම්. සෝමාවතී අම්මාය. 

“දර හනසු ටිකක් එකතු කරගන්ඩ ගියා. වතුර ටිකක් උණු කරගන්ඩ හරි දර කෑල්ලක් ඕනනේ. ඒ ගිය ගමන් හේනෙන් කැකිරි, එළබටු ටිකකුත් කඩා ගත්තා. දැන්නම් හොඳටම වතුරත් තිබහයි.”

පිටි අල්ලෙන් දහදිය පිසිමින් අව්ව කපා ඈ නික්ම යන්නට වූවාය. හිරු වෛරයක් පිරිමහන්නාක් මෙන් සැඩ වී තිබේ. වැව් ඉහත්තාවෙන් මී නාම්බෙකු බෙරිහන් දෙන්නට විය. පහසුවෙන් කියවා ගත නොහැකි සංවේදනා රොත්තක් සමග මම යළි එන මගට පිවිසුණෙමි.  

බුල්නෑව ප්‍රදීප් රණතුංග

තුලාවෙල්ලියෙන් මහා සෑයට පිදු නෙලු‍ම්

ගමට එපිටින් ගලා යන කනදරා ඔය

 

පුරන් වු වෙල් ලියැදි උලාකන එළ ගව රංචුව

 

ගැමියන්ගේ රැය ගතවෙන උඩ පැලක්

ගමේ පුංචි තේ කඩය