ඉන්ධන මිල අඩුවුණත් අඩු නොවෙන බස් ගාස්තුව


 

ඉන්ධන මිල සූත්‍රයට අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් ලීටරයක මිල රුපියල් 40 කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් අඩු කෙරුණේ ඉකුත් සඳුදා (17) රාත්‍රියේ සිටය. මේ අනුව ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක නව මිල රුපියල් 370 ක් හා ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 415 ක් වී තිබේ. මෙසේ ඩීසල් මිල රුපියල් 15 කින් අඩු කිරීමත් සමග, තමන් හම්බ කරන මුළු සේසතම බස්වලට පුදන මගී ජනතාව බලා සිටියේ දැන්වත් බස් ගාස්තු අඩු කරනු ඇතැයි කියාය.

එකම මාර්ගයේ දිවෙන, එකම බස් රථයේ වුවද උදේ හවස රාත්‍රියේ යනෙන එකම මගී ජනතාවගෙන් විවිධ බස් ගාස්තු අය කරන කොන්දොස්තර මහත්තුරුන්ගේ අණසකට යටත්ව මෙතෙක් ගිය ගමන දැන්වත් සාධාරණ වනු ඇතැයි ඔවුන්ගේ බලාපොරොත්තුව විය. 


එහෙත් දැන් පෙනෙන, කියන කරුණු කාරණා අනුව එසේ සාධාරණ බස් ගාස්තුවක් මගී ජනතාවට ලැබෙන බවක් නම් පෙනෙන්නට නැත. බස් සංගම් මෙහිදී පවසන්නේ ඩීසල් ලීටරය රුපියල් 15 කින් අඩු වුව ද සෙසු වියදම් අහස උසට ඉහළ නැග ඇති බැවින් බස් ගාස්තු අඩු කිරීමට හැකියාවක් නැති බවය. 


ටයර්, ටියුබ්, බැටරි සහ වාහන අංගෝපාංගත් වාහන සර්විස් කිරීමේ ගාස්තු ඇතුළු සියලු‍ දේ සියයට 300 කින් වැඩි වී තිබියදී රුපියල් 15 කින් ඩීසල් මිල අඩු කළ ද එය බස් රථ ධාවනයේ දෛනික වියදමට බලපෑමක් ඇති නොකරන බැවින් බස් ගාස්තු කිසිසේත් අඩු කළ නොහැකි බව පවසන්නේ සමස්ත ලංකා පෞද්ගලික බස් සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතාය. 


ඔහු පෙන්වා දෙන අන්දමට බස් ගාස්තු අඩු කිරීමට ඇත්තේ එකම එක පියවරකි. එනම් මෙම අඩු කළ රුපියල් 15 ට අමතරව තවත් රුපියල් 35 කින් පමණ ඩීසල් මිල අඩු කළහොත් අවම බස් ගාස්තුව රුපියල් 30 සීමාවට ගෙන එමින් මගී ජනතාවට සහනයක් ලබා දීමට හැකියාවක් තියෙන බව ය. 


ඔහු සඳහන් කරන අන්දමට ලැබෙන ඩීසල් ප්‍රමාණය ද බස් රථ ධාවනයට කිසිසේත්ම ප්‍රමාණවත් ද නැත. ඩීසල් ලබා ගැනීමට සිදුව ඇත්තේ ශ්‍රී ලංගම ඩිපෝවලිනි. එහිදී සිදුවන විවිධ අක්‍රමිකතා, අත යට ගනුදෙනු හේතුවෙන් පෞද්ගලික බස් රථ හිමියාට අසාධාරණ රැසකට මුහුණදීමට සිදුව තිබෙන බව ද ඔහුගේ චෝදනාවකි. 


අපිට ඩීසල් ලීටර් 40 යි කිව්.ආර්. කේතය මගින් සතියකට දෙන්නේ. අපිට එක වරුවක් දුවන්න බැහැ. අපිට ඩීසල් ලබාගන්න වෙන්නේ වෙනත් ආකාරයකටයි. හැබැයි ඒ ගොල්ලෝ ඊට පස්සේ කියනවා ඒ අයගේ ශ්‍රී ලංගම ඩිපෝවෙන් ගන්න කියලා. ශ්‍රී ලංගම ඩිපෝවට ගියාම නිකම් දෙන්නේ නැහැ. ඒකට අත යට විශාල ගනුදෙනු සිදුවෙනවා. ඩීසල් ලීටර් 100-200 ක් ලබාගන්න අපිට රුපියල් 5000-10,000-15,000 ක් විතර වියදම් කරන්න වෙනවා. එතකොට ඩීසල් ලීටරයක් ආණ්ඩුවෙන් දෙන මිලට නෙමෙයි අපි ගන්නේ ඊට වඩා රුපියල් 100-200 ක් වැඩියෙන්. මේ තත්ත්වය තුළ බස් ගාස්තු අඩු කරන්න හැකියාවක් නැහැ.“ ඒ ඔහු නගන එම චෝදනාවේ පසුබිමය. 


මේ අතර ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ද මෙහිදී පවසා සිටියේ, ගිය වතාවේ ඩීසල් මිල අඩු වූ විට එහි සහනය ජනතාවට ලබාදුන්න ද මෙවර එය කිසිසේත්ම කළ නොහැකි බව ය. අදාළ මිල සූත්‍රයට අනුව ගත් විට සියයට 4 ක ප්‍රතිශතයක් ඉක්ම වුවහොත් බස් ගාස්තු අඩු කිරීමට අදාළව කිසියම් පියවරක් ගත හැකිව ඇත. එහිදී සියයට 4 සීමාව ඉක්මවාලීමට නම්, සාමාන්‍යයෙන් රුපියල් 15 කින් නොව රුපියල් 38 ත් 40 ත් අතර මුදලකින් මිල අඩුවිය යුතුව තිබේ. මෙවර එය අඩුව ඇත්තේ සියයට 1.5 ක් වැනි ප්‍රතිශතයකින් යැයි ද ඔහු පෙන්වා දෙයි. 


“අවුරුදු 20 ක් පුරා ක්‍රියාත්මක වුණු ජාතික ප්‍රතිපත්තියේ මිල සූත්‍රය අනුව එහෙමයි ක්‍රමවේදය. නමුත් අපිට මේකට ස්වකැමත්ත ලබාදෙන්න බැහැ. මොකද බස්රථ සඳහා අවශ්‍ය අමතර කොටස් මිල ඇතුළු සියලු‍ දේවල්වල මිල වැඩි වෙලා තියෙනවා. හිතු හිතු මිල ගණන්වලට අමතර කොටස් විකුණනවා.“ ඔහු පවසයි. 


බස් හිමියන්ගේ අභිමතය පරිදි සිය කැමැත්ත මත බස් ගාස්තු අඩු කිරීමට හැකියාවක් පවතින නමුදු සියයට 4 ට අඩුවෙන් තියෙනවා නම් එය කළ නොහැකි බව ද ඔහු පෙන්වා දෙයි. මෙසේ ස්වකැමැත්ත මේ සඳහා ලබාදීමට නොහැකිව ඇත්තේ බස් රථ අමතර කොටස් වියදම බරපතළ ලෙස ඉහළ යාම, බස් රථ නඩත්තු වියදම වැඩිවීම ඇතුළු ගැටලු‍ ගණනාවක් නිසා ය. 


බස් රථ සඳහා අවශ්‍ය අමතර කොටස් මිල ඇතුළු සියලු‍ දේවල මිල මෙසේ වැඩි වී තිබෙන අතර වෙළෙඳපොළේ බොහෝ තැන් හි හිතු හිතු මිල ගණන්වලට අමතර කොටස් විකිණීම ද මෙහිදී ජයට කෙරෙන කාරණයකි. බ්‍රේක් ලයින් සෙට් එකක මිල කලින් පැවතියේ රුපියල් 5500 ටය. නමුත් දැන් එහි මිල වන්නේ රුපියල් 18,500 කි. ක්ලච් ප්ලේට් එක කලින් තිබුණේ රුපියල් 6000 ටය. එහි දැන් මිල රුපියල් 24,000 කි. රුපියල් 35,000 ට තිබූ ටයර් එක රුපියල් 85,000 කි, රුපියල් 28,000 ට තිබූ බැටරියේ මිල රුපියල් 78,000 කි. සෑම භාණ්ඩයකම මිල තුන් ගුණයකින් වැඩි වී තිබෙන බව ඔහුගේ චෝදනාව ය. මෙසේ තිබියදී වාහන නඩත්තු කරන්නේ කෙසේ දැයි ඔහු විමසන්නේ ය. 


“ඩීසල් තමයි ආර්ථිකයේ ඵලදායිතාවය. ඩීසල් මිල අඩු වෙනවා නම් බස් රථවලට පමණක් නෙමෙයි හැම පැත්තෙන්ම භාණ්ඩ මිල අඩුවෙනවා, උද්ධමනය අඩු වෙනවා. පෙට්රල් අඩු කළාට ඒක වෙන්නේ නැහැ. දැන් අපිට තියෙන රුපියල් 15 වාසියත් අනිත් පැත්තෙන් යනවා. මොකද මේ වන විට රටේ බරපතළ විදියට මාර්ග තදබදයක් වෙනවා. හේතුව මිනිස්සු විකල්ප වාහනවලට යනවා. මෝටර් සයිකල්වලට යනවා. මේවා සමීක්ෂණය කරන්න ඕනෑ කාරණා. රටක ආණ්ඩුවක් තියෙනවා නම්, විවිධ නිලධාරින් ඉන්නවා නම් මේකේ තියෙන අවුට්පුට් එක බලන්න ඕනෑ. මිනිස්සු විකල්ප වාහනවලට යනවා. මාර්ග තදබදය නිසා රුපියල් බිලියන 1 ක් රටට දවසකට සාමාන්‍යයෙන් පාඩු වෙනවා. රිය අනතුරු වැඩි වෙනවා. පහුගිය කාලේ පෙට්රල් නැති නිසා රිය අනතුරු තිබුණෙම නැති තරම්. 

 


මේ අතර ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුණේ ඩීසල් මිල පහත දැමුව ද බස් ගාස්තු අඩු කිරීමට හැකියාවක් නොමැති බව ය. 


ඔහු පෙන්වා දෙන අන්දමට බස් ගාස්තු අඩු කිරීමට නම් ඩීසල් ලීටරයක මිල සියයට 4 කින් හෝ ඊට වැඩි ප්‍රතිශතයකින් අඩුවිය යුතුව තිබේ. රුපියල් 430 ක් ව පැවති ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් අඩු කළ ද එය සියයට 4 ක ප්‍රතිශතයක් නොවන බවත් ඒ හේතුවෙන් මෙම අවස්ථාවේ බස් ගාස්තු සංශෝධනයක් සිදුකළ නොහැකි බවත් ඔහු පවසන්නේය. 
මෙම සියලු‍ කරුණු කාරණා මත පෙනෙන්නේ මගී ජනතාවගේ බස් ගාස්තු අඩුවීමේ සිහිනය, තවදුරටත් සිහිනයක්ම වනු ඇති බව ය. දහසක් ජීවන ප්‍රශ්න ගැටලු‍ හමුවේ යන්තම් හුස්ම අල්ලා සිටින රටේ ජනතාව තවදුරටත් ජීවත් කරවීමට ජීව හුස්ම ලබාදීම පාලකයන් හමුවේ ඇති අභියෝගයක්ව පවතී.

 

 

සටහන
පද්මිණී මාතරගේ