ආරණ්‍යවාසී බුද්ධපුත්‍රයන් වහන්සේලා සඳහා වූ එකම වනවාසී පිරිවෙන “වතුරවිල ආරණ්‍ය සේනාසනය”


සිත නිවා සනසාලන මනස්කාන්ත පරිසරයක හරිත වර්ණයෙන් වෙළාගත් ගහ කොළ නෙතට මෙන්ම සිතට ද ප්‍රිය දසුනකි.  බුදු දහමේ සැබෑ දර්ශනය සොයා යන්නෙකුට නම් මෙය සුවදායක තෝතැන්නකි. මේ  ශ්‍යාමෝපාලි වංශයේ ආරණ්‍ය සෙනසුන් හි ප්‍රධාන මධ්‍යස්ථානය වන වතුරුවිල වනවාස සංඝ මූලස්ථානයයි. 1953 වර්ෂයේ දී බෝධිසත්ව ගුණෝපේත වතුරවිල ශ්‍රී ඤාණානන්දාභිධාන වනවාසී මහනායක හිමිපාණන් විසින් ආරම්භ කරන ලද වතුරවිල ආරණ්‍ය සේනාසනය ගාල්ල දිස්ත්‍රික්කයේ කහදූව – වතුරවිල, ගුලනකන්ද ආශ්‍රිතව තිබ්බටුවාව ග්‍රාමයේ පිහිටා ඇත. 

ඇල්පිටිය කහදූව මාර්ගයේ හෝ පිටිගල මාර්ගය ඔස්සේ කිලෝමීටර් 15ක් දුර ගෙවා අක්කර 80ක පමණ භූමිභාගයකට හිමිකම් කියන මේ පිංබිමට පැමිණිය හැකිය. තෙත් වනාන්තරයක ලක්ෂණ ඇති මෙම වනය තුළ ඇති සොභාව සෞන්දර්ය, තපෝධාරී පින්වතුන් වහන්සේලාගෙන් දෙගුණ තෙගුණ වී ඇත. ලංකාවේ ආරණ්‍යවාසී බුද්ධපුත්‍රයන් වහන්සේලා සඳහා වූ එකම වනවාස පිරිවෙන ද මෙම වතුරුවිල සෙනසුනේ වීම විශේෂ කරුණකි.

අරණ ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වන අතර - “ශීත වනය” හා “තපෝ වනය” ලෙසින් වෙන් වී ඇත. තපෝවනයේ වෙසෙන්නේ ජ්‍යෙෂ්ඨ හිමිවරුන් වන අතර, උන්වහන්සේලා බවුන් වැඩීම කරනු ලබති. මේ අවට වටපිටාවෙන් ඇසෙනුයේ නා නා විධ වූ කුරුල්ලන් ගේ නාදය පමණි. පරිසරය නිහඬ ගුප්ත බවක් උසුලන අතර, එය ජීවිතයේ නිස්සාරත්වය නිහඬව කියාපායි.

මදුනාගල, කළුගල වැනි තවත් වනවාසී ආරණ්‍ය සේනාසන 200කට මූලස්ථානය වන වතුරවිල ආරණ්‍ය සේනාසනය තුළ මහනුවර දළදා මාලිගයේ ආකෘතිය අනුව සකස් කළ ධාතු මන්දිරයක් ද පවතී. පරිසරය හා මනාකොට බද්ධව හෙළ බොදු නිර්මාණ කෞශල්‍යය විදහාපාන වතුරවිල ආරණ්‍ය සේනාසනය හිත ගත නිවන සොඳුරු ඉසව්වක් යැයි කීම අතිශයෝක්තියක් නොවේ.               

අද වනවිට මෙම නිකාය යටතේ ආරණ්‍ය සේනාසන 150ක් පමණ පාලනයවීමක් සිදුවනු ලබයි. ඒ මදුනාගල, කළුගල, සල්ගල, මඩකඩ ඇතුළු ආරණ්‍ය සේනාසන යි.   

දර්ශනීය තොරණකින් සහ සිසිල් තුරු සෙවණකින් යුත් තපෝ භූමියට පිවිසීමට ප්‍රථම ඉදිරියෙන් ඇත්තේ පියගැට පෙළකි. එම තුරුලතා අතරින් පියගැට පෙළේ මද දුරක් ගමන් කරද්දී - මෙම සෙනසුන් බිමට පැමිණිය හැකිය.

වයස අවුරුදු හත පමණ වූ කුඩා සාමණේරයන් වහන්සේලා ගේ සිට ජ්‍යේෂ්ඨ උපසම්පදාලාභී පින්වත් හිමිවරු 80ක් දෙනා වහන්සේලා පමණ මෙහි වැඩ වසන අතර, උන්වහසේ ලා ඉගෙනීම මෙන්ම බවුන් වැඩීම ආදිය පුරුදු පුහුණු කරන ආකාරයද – දුටුවන්ගේ ද සිත්සතන් නිවාලීමට සමත් වේ. සෙනසුන ඇතුළට ගමන් කරන මාර්ගයේ දී  අවටින් ඇසෙන කුරුල්ලන්ගේ නාදයත්, හරිහැටි නොවැටෙන ඉර එළියත් මෙම වනය තුළ ඇති අඳුරු ගුප්ත බව මුසු වූ නිහැඬියාවත් - භික්ෂූන් වහන්සේලා ගේ කෙලෙස් ගිනි නිවීමට ඇති ඖෂධයක් බව ඕනෑම කෙනෙකුට පසක් වනු ඇත.

ගත දැවටෙන සිසිල් සුළං රැල්ලක පහස විඳිමින් නිහැඬියාත්මක තපෝ වනය පසුකරමින් මඳ දුරක් ගමන් කරන විට මුණගැසෙන්නේ ශීත වනයයි. තපෝ වනයේ ගමන් කිරීමට වඩා ශීත වනයට පිවිසුණු විගස තරමක වෙනස් බවක් දැනේ. එය කුමක් ද කියා වචනයෙන් විස්තර කළ නොහැකි තරම්ය. ශීත වනය දෙසින් එක පෙළට වඩින කුඩා සාමණේර වහන්සේලා ගේ දසුන පාරිසරික සුන්දරවත්වය මෙන්ම -  දුටුවන් ගේ සිතද ඇද බැඳ තබා ගැනීමට සමත් වී ඇත. මෙහි සියලු දේ  සිදුවන්නේ ක්‍රමවත් කාලසටහනකට අනුවය. සියලූම වැඩිමහල් ස්වාමීන් වහන්සේලා උදෑසනම අවදි වී - ඝංඨාරය නාදකර කුඩා ස්වාමීන් වහන්සේලා අවදි කළ යුතුය. ඉන් පසුව මුව දෙවීම හා පිරිසිදු වීම් කටයුතු ආරම්භ කරන අතරම – ඉන් පසු 4.30 සිට “වත පිරිත” සජ්ජායනා කළ යුතුය. අනතුරුව ඇරඹෙන්නේ භාවනා කිරීමේ කාල හෝරාවයි. උදෑසන කැඳ ආදිය වැළඳීමෙන් පසුව කුඩා හිමිවරුන් “වනපොත්” කිරීම ආරම්භ කරනු ලබන අතරම – ගාථා, පිරිත්, සූත්‍ර, දහම් කරුණු වනපොත් කරනු ලබයි. පසුව 5.30 සිට 6.00 දක්වා “වත් පිළිවෙතෙහි” යෙදීම කරනු ලබති.

ඉන් අනතුරුව උදෑසන 6 ට ආරම්භ කරන බුද්ධ වන්දනාව පැය භාගයක්  සිදු කරනු ලබයි. මෙයට ගිහි ඇත්තන් ද සහභාගි වනු ලබයි. සියලුම හිමිවරුන් උපෝසථාගාරයට විත් එකවර ගාථා කියමින් කරනු ලබන බුදුන් වැඳීම තුළින් ගිහි ඇත්තන්ගේ ද සිත් තුළ ජනිත වන බුද්ධාලම්බන ප්‍රීතිය දෙගුණ තෙගුණ වනු ඇත. උදෑසන සියලු වත් පිළිවෙත්වලින් පසුව 6.30ට උදෑසන දන් පිළිගැන්වීම සිදුවෙයි. ගිහි පින්වතුන් සැදැහැති ලීලාවෙන්   පිළියෙල කරගත් හීල් දානය මෙහිදී බුදුන් ප්‍රමුඛ මහා සංඝරත්නයට සඟ සතුකොට පූජා කොට පිළිගන්වනු ලබයි. ඉන් පසුව නැවතත්  6.30 සිට සියලුම දෙනා වහන්සේ නැවත වනපොත් කිරීම, භාවනා කිරීම අරඹනු ලබන අතරම – පුරා පැය දෙකක් මෙය සිදුකරනු ලබයි. නැවත 9.30 ට බුද්ධ පූජාව පවත්වනු ලබති.

වේලාව 9.45 පමණ වූ පසුව අරණේ ලොකු කුඩා සියලුම දෙනා වහන්සේලා ජ්‍යෙෂ්ඨත්වය මත පෙළ සැදී  “පිණ්ඩපාතයේ” වැඩමවීම සිදු කරති. යමෙකු මෙම අරණ බැලීමට ගියහොත් මෙම දසුනෙන් කිසි විටෙකටත් නෙත් ඉවතට ගැනීමට සිත් නොදෙන බව නම් නොරහසකි. සියලු භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාත චාරිකාවේ ගමන් කිරීම එතරම් ම මනස්කාන්ත ය. පිණ්ඩපාතය නිම කිරීමෙන් පසු නැවත තම කුටිය කරා එන උන්වහන්සේ ලා නා පිරිසුදු වීම, සිවුරු අඳන ආදිය සෝදාගැනීම වැනි කටයුතු සඳහා  “පැන් පහසුව” සලසා ගනු ලබයි. පසුව ඉර හැරීමට පෙර දහවල් දානය වැළඳීම කරනු ලබති. ඉර අවරට යෑමෙන් පසු දන් වැළඳීමක් සිදුවන්නේ නැත. මේ පිළිබඳව සියලු විස්තරයන් විනය පිටකයේත් අටුවාවලත් මැනවින් පැහැදිලි කර දී ඇත. පසුව12 ට නැවත බුද්ධ වන්දනාව සිදුකරනු ලබන අතරම, කුඩා හිමිවරුන් 12.30 දක්වා   පුහුණුවන දහම් දෙසීම් සිදුකරනු ලබයි.

12.30 සිට1.00 දක්වා සියලුම දෙනා වහන්සේලා විවේක සුවයෙන් පසුවෙති. පසුව පස්වරු 1.00ට අධ්‍යාපනය ලබන හිමිවරුන් සඳහා පිරිවෙන් කටයුතු ආරම්භ වෙයි. සවස 5.00 වන තෙක් පිරිවෙන පැවැත්වෙන අතර, සවස 5.00ට නැවත වත් පිළිවෙත් කටයුතු ඇරඹේ. සවස 6.00 සිට 7.00 දක්වා සන්ධ්‍යා ධර්මදේශනය පැවැත්වේ. සවස7.00 ට නැවත උදෑසන මෙන් සන්ධ්‍යා බුද්ධ වන්දනාව ඇරඹෙයි. අනතුරුව “වතපිරිත” පැවැත්විය යුතු අතර, පසුව ගිලන්පස වැළඳීම කරනු ලබයි. ඉන් පසුව යෙදෙන 8.00 සිට 8.30 දක්වා භාවනා වැඩසටහනද, 8.30 සිට 9.30 දක්වා කුඩා හිමිවරුන් වනපොත්, වැඩිහිටි හිමිවරුන් බවුන් වැඩීමත් කළ යුතුය. රාත්‍රී 10.00ට කුඩා හිමිවරුන් අතර, 10.30ට වැඩිහිටි හිමිවරු සැතපෙති.

මෙම සියලු කටයුතු අරණේ දෛනික දින චරියාව වන අතරම  සෑම වත් පිළිවෙතක් ආරම්භයේ දීම වේලාව මතක් කිරීමට ගෙඩිය ගසනු ලබයි. අනෙක් සෙනසුන්වලට වඩා මෙහි පවතින්නා වූ වැදගත්ම කාරණය වන්නේ - උන් වහන්සේලා ගේ මෙම දින චරියාව බුදුන් වහන්සේ අනුදැන වදාළ අයුරින්ම පවත්වාගෙන යාමයි. සමාජය ක්‍රම ක්‍රමයෙන් පරිහානියට පත් වී යන යුගයක මෙවැනි සේනාසන  පැවතීම සත්‍ය ලෙසම  ආධ්‍යාත්මික සතුටට කරුණකි.

මෙම වනවාසී සංඝ මූලස්ථානය ස්ථාපිත කළ  මහා නා හිමියන් වහන්සේ 1953 වසරේ සිට උන්වහන්සේ අපවත්වීම දක්වා වසර 33ක කාලයක් මෙම පින්බිම ආරණ්‍යයක් ලෙස පැවතීමට අවශ්‍ය බුද්ධ මන්දිරය, ධාතු මන්දිරය, ධර්ම ශාලාව, බෝධීන් වහන්සේ, චෛත්‍ය  රාජයාණන් වහන්සේ, උපෝෂථාගාරය, භික්ෂූන් වහන්සේලා සඳහා කුටි, භාවනා කුටි, සක්මන් මළු, පිරිවෙන, දාන ශාලාව, විශ්‍රාම ශාලාව වැනි ගොඩනැගිලිවලින් පරිපූර්ණ කිරීමට සමත් වූහ. මෙම ගොඩනැගිලි මෙම පින්බිමට දායාද කරනු ලැබුවේ වසර 60ක කලක් තිස්සේ මෙම පුදබිම වන්දනාමාන කිරීමට හා දානමාන ආදිය ලබාදීම සඳහා පැමිණි සැදැහැව‍තුන් විසින් බව බොහෝ දෙනාගේ මතයයි.

කෙසේ වෙතත් දකුණු පළාතේ අතිරමණීය පරිසරයක පිහිටා ඇති මෙම සෙනසුනේ පවත්නා ස්වභාව සෞන්දර්යාත්මක බවත්, සිතට ගතට දැනෙන සන්සුන් බවත් නිසාම අද වනවිට බොහෝ දෙනාගේ මතකයෙන් නොමැකෙන මනරම් ස්ථානයක්  වී හමාර ය. 

මදූශා දිල්ශානි