ආබාධිත මව්පියන් රැකගන්න ඕමානයට මල්කාන්ති ඔත්පොළව ඇඳක් උඩ


අපි දන්නේ නෑ පත්තරේ දමන්න පෙර ඇවිත් අපෙන් උපදෙස් ගන්න ඕනෑ. 

කුරුණෑගල ඒජන්සිය ගොරවයි

අතපය වාරු නැතිව එක්තැන්ව සිටින තම ආදරණීය පියාත් නිසි ලෙස දෑස නොපෙනෙන ආදරණීය මවත් ජීවත් කරවීම සඳහා ඕමාන් රටේ ගෘහ සේවයට ගිය අවිවාහක තරුණියකට සිදු වූ හද කකියවන පුවතක් පිළිබඳව පොළොන්නරුව බැඳිවැව දුෂ්කර ගම්මානයකින් වාර්තා වෙයි.


මව්පියන් ජීවත් කර වූ මෙම තරුණිය මේ වන විට ඕමානයේ සිට නිවසට පැමිණ ඇඳ මත උඩුබැලි අතට වැටී සිටින්නේ කකුල් දෙක සහ එක් අතක් ද සමග කොන්ද ද කැඩී දැඩි ලෙස ආබාධිත වීමෙනි.


දැන් සිදුව ඇත්තේ අතපය වාරු නැති ආදරණීය පියාට සහ නිසි ලෙස ඇස් නොපෙනෙන ආදරණීය අම්මාට මෙම දියණියගේ සියලු‍ ඕනෑ එපාකම් සොයා බලා ඉටු කිරීමටය.
දිනේෂා මල්කාන්ති තිස්හත් හැවිරිදිය. අවිවාහකය. ඕ පොළොන්නරුව බැඳිවැව ධීවර ගම්මානයේ පදිංචිව සිටින්නීය.


දරිද්‍රතාවයෙන් පෙළෙන පවුලේ මුළු බර ඇය තම කරට ගත්තේ ඇඟලුම් කම්හලක සේවය කරමිනි. කෝවිඩ් වසංගතය නිසා ඇයට රැකියාවෙන් ලැබුණු ආදායම අහිමි විය. නිවසේ අසරණව සිටින අම්මාට තාත්තාට ප්‍රතිකාර ලබාදීම, ආහාර සැකසීම, ඇඳුම් පැළඳුම් ලබාදීම ඇයට හීනයක් වූයේ කොරෝනා වසංගතය නිසා ඇයට රැකියාව අහිමි වූ නිසාවෙනි.
තම හිත මිතුරන් දැනුවත් කරද්දී ඇයගේ දුක් වේදනාව දැනුණු බව කියන පොළොන්නරුව ප්‍රදේශයේම කාන්තාවක් යතුරුපැදියකින් නිවසට පැමිණ ඒ දුක තමන් භාරගන්නා බව පවසමින් ඇයට විදේශ රැකියා සිහිනය කාවද්දන්නට වූවාය. ඒ අනුව මවගෙන් පියාගෙන් අවසර ගත්  ඇය එකම ගැලවුම්කාරයා ලෙස දුටු විදේශ රැකියා ආයතනවලට කාන්තාවන් සොයා දෙන තැරැව්කාර කාන්තාවගේ උපකාර ඇතිව කුරුණෑගල ප්‍රදේශයේ පෞද්ගලික විදේශ රැකියා ආයතනයකින් ඕමාන් රටෙහි ගෘහ සේවය සඳහා පිටව ගියාය.
ඕමානයේ දී ඇය මුහුණ දුන් සිදුවීම් රැසකි. ඒ  සියල්ල ඇස් දෙකින් දැක්කේ, කන් දෙකෙන් ඇහුවේත් ඒ සිදුවීම් සියල්ලටම මුහුණ දුන්  මල්කාන්ති මෙනවියයි. අතක් පයක් ඔසවන්නට නොහැකිව ඇඳ මත ජීවිතයත් මරණයත් අතර සිටින මල්කාන්ති තම මව්පියන් දෙදෙනා ඉදිරියේ තබාගෙන ඇස් දෙකෙන් කඩා වැටෙන කඳුළින් කොට්ටය තෙමමින් සිය අත්දැකීම් මෙසේ විස්තර කරන්නට වූවාය.


‘‘මම ගොඩක් දුක් විඳපු කෙනෙක්. මගේ අම්මයි තාත්තයි ජීවත් කරවීම තමයි මගේ එකම අරමුණ බවට පත්වුණේ. මම කසාද බැන්දේ නැහැ අම්මටයි තාත්තටයි සලකන්න කෙනෙක් නැතිවෙයි කියන බයට. පුංචි කාලේ ඉඳලම කුලී වැඩ කළා. වැවේ ගිහිල්ලා මාළු ඇල්ලු‍වා. අම්මයි තාත්තයි ජීවත් කරවන්න කොළඹ ගිහිල්ලා ගාමන්ට් එකක වැඩ කළා. කොවිඩ් වසංගතේ හින්ද තමයි අපිට මෙහෙම වුණේ. පස්සේ මම තීරණය කළා රට යන්න. ඒ අතරේ තමයි පොළොන්නරුවේ අක්කා කෙනෙක්  ඇවිල්ලා මගේ දුකට පිහිට වෙනවා කියලා මාව කුරුණෑගල රැකියා ආයතනයට එක්ක ගිහින් ඕමාන්වලට යැව්වෙ”‍.


‘‘2022 ජූලි මාසේ 21 වැනිදා තමයි මම ලංකාවෙන් ඕමාන් ගියේ. ඒ රටේ ඒජන්සියක දවස් ගණනක් තියාගෙන ඉඳලා ගෙදරකට ගිහින් දුන්නා. මාස කීපයක් වැඩ කරගෙන හිටියා. අම්මා තාත්තා වෙනුවෙන් පුදුම ඉවසීමකින් වැඩ කළා. කන්න බොන්න දුන්නේ නැහැ. අඩුම තරමේ ඇඳුමක් සබන් කෑල්ලක් මොනවත් දුන්නේ නෑ. එකම ඇඳුම ඇඳගෙන හිටියේ. යට ඇඳුමක්වත් ලැබුණේ නෑ. ඒ මදිවට ගහනවා. පුදුම විදිහට වද දෙන්න ගත්තා. ඒ මිනිස්සුන්ගේ හිතේ කිසිම තෙතමනයක් තිබුණේ නෑ.


‘‘මම කතා කරලා කිව්වා ලංකාවෙන් මාව රට යවපු උප  නියෝජිතවරියට. ඕමාන්වල අපිව බාරගත්ත ඒජන්සියටත් කිව්වා. ඒත් සත පහකටවත් ගණන් ගත්තේ නෑ. ඒ අය කියනවා රුපියල් ලක්ෂ දහයක් දුන්නොත් උඹ ගෙදර යවන්නම්. එහෙම නැත්තං ආවනං දුක් විඳගෙන හිටපන් කියලා. බැරිම තැන මම මේ ගෙදරින් හොරෙන් පැනලා   ඕමානයේ තානාපති කාර්යාලයට ගියා. මම එහෙට ගිහින් කිව්වා ලංකාවට ගිහිල්ලා කොහොමහරි මගේ අම්මයි තාත්තයි ජීවත් කරවන්නන්, මාව යවන්න කියලා. තානාපති කාර්යාලයෙන් කළේ නැවතත් ඒජන්සියට මාව බාර දීමයි.


ඒ ඒජන්සිය දවස් ගාණක් මාව තියාගෙන මට හොඳටම බැනලා බැනලා ලංකාවට යවනවා කියල පස්සේ නැවත අර ගෙදරටම මාව බාර දුන්නා. ඒ වෙලාවේ මම හිතුවා මගේ ජීවිතේ නැති වෙයි කියලා. මම  කවදාවත් හිතුවේ නෑ ජීවිතේ දුක් විඳපු තැනකින් හොරෙන් පැනලා ඇවිල්ලා ඉද්දි නැවත එතෙන්ටම ගිහින් දාන්න තරම් මේ මිනිස්සු මහා ගුණමකු මිනිස්සු කියලා.


පස්සේ ඒ ගෙදර අය මට වදදීම දෙගුණ තෙගුණ කළා.  ඒ මිනිස්සු  කිව්වේ සල්ලිවලට ඕනම දෙයක් කරන්න පුළුවන් කියලයි. මම ඒක දැනගෙන හිටියා. අවසානයේ දී මේ මිනිස්සු මට වෙනදා දීපු වැඩවලට අමතරව තවත් වැඩ පවරන්න ගත්තා. උයන්න පිහින්න, ගෙවල් අතුගාන්න, රෙදි හෝදන්න, වාහන හෝදන්න පමණක් නෙවෙයි අවසානයේ දී මේ අය මට දෙමහල් ගොඩනැගිලිවල බිත්ති හෝදන්න, ජනෙල් හෝදන්න පවා මට පැවරුවා.


තට්ටු දෙකක ගොඩනැගිල්ලේ ජනෙල් සබන් දාලා හෝදන්න කිව්වා. මම දෙවැනි තට්ටුවේ ජනෙල් සබන් දාලා හෝදමින් ඉද්දි තමයි පය ලිස්සලා ඇදගෙන වැටුණේ. ඒ වෙලාවේ මම හයියෙන් කෑ ගැහුවා. නැගිට ගන්න බැරි වුණා. මම වැඩ කරපු ගෙදර එක මනුස්සයෙක්වත් ආවේ නෑ. මම දැක්කා අල්ලපු ගෙදර කවුරු හරි කෙනෙක් ඉන්නවා වගේ. මම හයියෙන් එහේ භාෂාවෙන් කෑගහලා එයාට කිව්වා. අනේ ඒ කාන්තාවක් ඇවිල්ලා මාව ඇදලා ගිහින් ගේ ඇතුළට දැම්මා.


අර ගෙදර මිනිස්සුන්ට කතා කරලා කිව්වා, මේ වැඩකාරී වැටිලා ඉන්නවා කියලා. පස්සේ ඒ ගෙදර බාබා මාව වාහනේක දාගෙන එයා දන්න වෛද්‍යවරයකුගේ රෝහලකට එක්ක ගිහින් බෙහෙත් දාගෙන ආපහු වාහනේ දාගෙන ඇවිල්ලා කාමරයකට දැම්මා දාලා දොරවල් වහලා වතුර එකක් විතරක් තිබ්බා. සතියක් පමණ කාලයක් මම මේ කාමරය ඇතුළේ දුක් වින්දා. අඩුම තරමේ වේදනාවට බෙහෙත් ටිකක්, වැසිකිළි කැසිකිළි යන්න පහසුකමක් ඒ මිනිස්සු දුන්නේ නෑ. මම එතන ඉඳලා දිගටම එහේ ඒජන්සියට කිව්වා. ලංකාවේ ඒජන්සියට කිව්වා. කිසිම කෙනෙක් ගණන් ගත්තෙ නෑ. මාස තුනක මගේ සල්ලි ඒ ගෙදර බාබා තියාගත්තා. මගෙන් ලියුමක් ගත්තා සල්ලි එයා ළඟ තියෙනවා කියලා. මහා නරුම මනුස්සයෙක්. පස්සේ මගේ පඩි සල්ලි එකතු කරලා ගුවන් ටිකට් පත් හදලා මාව ඕමාන් ගුවන්තොටුපොළට ගෙනැල්ල බස්සල යන්න ගියා. ගුවන් තොටුපොළේ හිටපු කාරුණික මිනිස්සු මාව ගුවන්යානයට දාලා ලංකාවෙන් බස්සවලා සියලු‍ දේවල් කළා.”‍


කොහොම හරි ඉතා අමාරුවෙන් ලංකාවට ආපු මම රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර කරගෙන දැන් ගෙදරට ඇවිල්ලා දින කිහිපයයි. තවමත් ලංකාවේ ඒජන්සිවලින් හෝ විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මට කිසිම සාධාරණයක් ඉටු කළේ නැහැ. නීත්‍යනුකූල සියලු‍ ක්‍රමවලට තමයි මම විදේශගත වුණේ. අවසානයේ දී ඇස් පේන්නේ නැති මගේ අම්මාත් ඇවිද ගන්න බැරිව ඔත්පලව ඉන්න මගේ තාත්තාත් මමත් දැන් එකම වළක වැටී මැරි මැරී උපදින තත්ත්වයට පත්වෙලා. මම කරන එකම ඉල්ලීම විදේශගත වෙන ගෘහ සේවිකාවන් සඳහා මීට වඩා විධිමත් ක්‍රමවේදයක් සකසන්න. මේ වගේ අනතුරු සිදු වුණාම අඩුම තරමෙන් ඒ අය ජීවත් කරවීම සඳහා වැඩපිළිවෙළක් හදන්න.
මල්කාන්ති ඕමානයට යවන්නට මැදිහත් වූ තැරැව්කාර කාන්තාවගෙන් විමසීමේ දී ඇය කියා සිටියේ එක් කාන්තාවක් සොයා දීමේ දී තමන්ට රුපියල් 70,000 ක් ලැබෙන බවය. ඉන් එහාට තමන්ට වගකීමක් නැති බව ද ඕ සඳහන් කළාය.


මල්කාන්ති ඕමානයට යැවූ බව කියන කුරුණෑගල ප්‍රදේශයේ විදෙස් රැකියා නියෝජිත ආයතනයෙන් විමසීමේ දී එහි ප්‍රකාශිකාවක කියා සිටියේ තමන් මේ ගැන දැනුවත් වී නැති බව ය.


මේවා මාධ්‍යයට දමා ප්‍රකාශයට පත් කිරීමට පෙර තමන් ළඟට පැමිණ අවශ්‍ය උපදෙස් ලබා ගැනීම ඔවුන්ගේ වගකීමක් බව ද ඕ ප්‍රකාශ කළාය.

 

 

■ දඹුල්ල කාංචන කුමාර ආරියදාස