අහක දැමූ ගෙඩි කොළවලින් ආහාර වර්ග සීයක් හදන විස්මිත උමංදාව


මන්දපෝෂණය මන්දපෝෂණය කියලා මුළු රටම එකිනෙකාට දෝෂාරෝපණය කරමින් කෑගසමින් ඉන්නවා. හැබැයි කවුරුත්ම මේ ප්‍රශ්නය විසඳන්න මාර්ගයක් හොයන්නේ නැහැ. අප්‍රිකානු මිනිස්සු මන්දපෝෂණය පිටුදැක්කේ කොහොමද? මුරුංගාවලින්. අප්‍රිකානු මිනිස්සු ඔවුන්ගේ සෑම ආහාර වේලකටම මුරුංගා කොළ එකතු කළා. අපේ රටේ හැම තැනකම සුලබව තියෙන ආහාරයක් තමයි මුරුංගා. මේ මුරුංගාවල තියෙන පෝෂණ ගුණය හාල්මැස්සාගෙන් ලැබෙන පෝෂණ ගුණයට වඩා ඉතාම ඉහළ බව මේවනවිට විද්‍යාත්මක පරීක්ෂණවලින් ඔප්පුවී තිබෙනවා. ඉතින් අපිටත් පුළුවන් නේද මේ සුලබ ආහාරයෙන් අපේ රටේ මන්දපෝෂණයට විසඳුමක් හොයන්න..?

  
මුළු රටම මන්දපෝෂණය ගැන කතා කරන අවස්ථාවක මන්දපෝෂණය දුරලිය හැකි අපූරු පෝෂණීය ආහාර වේලක් ගැන මේ ආකාරයට සඳහන් කළේ මේ රටේ පෝෂණවේදියෙකු නොව ප්‍රායෝගික අත්දැකීමෙන්ම මුළු රටටම පෝෂණීය ආහාර වර්ග සම්බන්ධයෙන් ජනතාවට දැනුමක් ලබා දීමට වෙහෙසක් දරන ප්‍රසිද්ධ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකි.   
උන්වහන්සේ අන් කවුරුත් නොව මේවනවිට මුළු රටේම ප්‍රසිද්ධ මැල්සිරිපුර උමංදාව නම් වූ බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ සිරි සමන්තභද්‍ර හිමියන්ය.   


මැල්සිරිපුර නගරයේ සිට රඹේ මාර්ගයේ අලිපල්ලම දක්වා කිලෝ මීටර් 12 ක් පමණ ගමන් කළ විට අද මුළු රට පුරාම කතා වෙන ප්‍රසිද්ධ උමංදාව විශ්ව ගම්මානය හමුවේ.   
ජනගහනයට සාපේක්ෂව දකුණු ආසියාවේ මන්දපෝෂණය පවතින රටවල් අතර දෙවැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇති බවට ජාත්‍යන්තරයෙන් නිකුත්වූ වාර්තාවක් පසුගිය දිනවල රටම කැළඹවූ පුවතක් බවට පත් විය. එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ “ලෝක ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය 2017 වාර්තාව”‍ මඟින් මෙම තත්ත්වය අනාවරණය කර තිබුණි.   


සෞභාග්‍යමත් රටක් ජනතාවට ලබාදෙන බවට පොරොන්දුව බලයට පැමිණි පාලකයන් නිසා අවසානයේදී ජනතාවට සිදුව ඇත්තේ ආර්ථික අහේනියක් තුළින් අවාසනාවන්ත ලෙස ආහාර අහේනියකටද මුහුණ දීමටය. එවන් තත්ත්වයක් තුළ ඊට විසඳුම් ලබා නොදී ඊට දෝෂාරෝපණය කරමින් තමන් ගැලවීමට යත්න දරන පාලකයින් සිටින රටක ආහාර අහේනියට විසඳුම් සොයමින් ජනතාව දැනුවත් කරමින් යන සමන්තභද්‍ර හිමියන්ගේ මේ වැඩපිළිවෙළ සැබැවින්ම අගය කළ යුතුය.   


සිරි සමන්තභද්‍ර හිමියන්ගේ ඇතැම් ධර්ම කාරණා පසුගිය වකවානුව තුළ මෙරට බෞද්ධ ජන සමාජය තුළ දැඩි ලෙස විවේචනයට ලක් වුවද අපට අවශ්‍ය වූයේ ඒ සම්බන්ධයෙන් විමසීමට නොව උන්වහන්සේ විසින් දියත් කර තිබෙන උමංදාවේ දැවැන්ත වගා සංග්‍රාමයේ තොරතුරු විමසා දැන ගැනීමටය.   


ඒ පිළිබඳව විමසා සිටි සැනින්ම සමන්තභද්‍ර හිමියන් කිසිදු පැකිලීමකින් තොරව ඉතා කාරුණිකව උමංදාවට පැමිණ එම වගා සංග්‍රාමය දැක බලා ගැනීමට අපට ආරාධනා කළහ.   
සමන්තභද්‍ර හිමියන් විසින් කරන ලද ආරාධනාවකට අනුව කොතරම් රාජකාරි බහුලව තිබුණද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද පසුගිය සතියේදී උමංදාව විශ්ව ගම්මානයට පැමිණියේය. ජනාධිපතිවරයා උමංදාවේ වැඩ කටයුතු නරඹමින් පැය දෙකකට වැඩි කාලයක් එහි ගත කළේය. ඒ අතරවාරයේදී සමන්තභද්‍ර හිමියන් විසින් හඳුන්වාදී ඇති සුවිශේෂී දේශීය ආහාරපාන රැසක් රස විඳීමටද ජනාධිපතිවරයාට අවස්ථාව ලැබුණි.   


අක්කර 70 කින් පමණ සමන්විත සුවිසල් බිමක බෞද්ධ සිද්ධස්ථානයක් සමඟ ගොඩනැගෙමින් පවතින මේ නිර්මාණ කාර්යය සමන්තභද්‍ර හිමියන් විසින් නම් කර තිබෙන්නේ “උමංදාව විශ්ව ගම්මානය”‍ නමින්ය. සැබැවින්ම මෙය විශ්වකර්ම කාර්යයක් බව අපට හැඟී ගියේ පැය කීපයක්ම ඒ තුළ ඇවිදගිය කාලයේදීය.   
සමන්තභද්‍ර හිමියන් මේවනවිට තම නිර්මාණ කාර්යය තුළින් අපේ රටේ මෙතෙක් කාලයකට කිසිවෙකු සිදු නොකළ ආහාර පෙරළියක් කරලීමට සමත්ව සිටිති. ගමේ ගොඩේ පොළොවේ ඉබේ හැදුනු ගස්වැල්, මල්, පළතුරු, අල වර්ග, ගඩා ගෙඩි වර්ග ප්‍රනීත ආහාර වර්ග බවට, බීම වර්ග බවට පත් කිරීමට උන්වහන්සේගේ මඟපෙන්වීම යටතේ ලැබී ඇති හැකියාව විස්මයජනකය.   


කිසිවෙකුගේ අවධානය යොමු නොවී ඉබේ පැළවී ඉබේ දළුලා මලක් බවට පත්වූ නිල් කටරොඩු මල සහ වද මල අද දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද ජනප්‍රියතාවයට පත් ප්‍රනීත බීම වර්ගයකි. ආහාර වර්ග වර්ණ ගැන්වීමට යොදාගත හැකි ස්වභාවික වර්ණයන්ය. මෙතෙක් කල් ඉවත දැමූ මේ බොහෝ දෑ යොදා ගනිමින් නිපදවූ රසවත් අයිස්ක්‍රීම් වර්ග රැසකින් එක් වර්ගයක් රස විඳීමටද අපට අවස්ථාව හිමි විය. අල වර්ගයක් යොදාගෙන සැකසූ ඒ අයිස්ක්‍රීම් එක විශ්වාස කළ නොහැකි ආකාරයේ ප්‍රනීත රසයක් අපට ගෙන දුන්නේය. ඒවායේ වර්ණයද පරිසරයෙන් උකහාගත් දෙයින් නිර්මාණය කර තිබූණි.   


මේ ආකාරයට සමන්තභද්‍ර හිමියන් විසින් සොයාගනු ලැබූ කවුරුත් නොසිතූ අත නොගැසූ දේශීය ආහාර වර්ග සංඛ්‍යාව සියයකට අධික යැයි කිවහොත් ඔබ විමතියට පත්වනු නියතය. නමුත් එය සැබෑවකි. අපේ රටේ මහ පොළොවේ ඉබේ පැළවී කිසිවකුගේ අවධානයට ලක් නොවී පරවී ගිය ගස්වැල්, මල්, කොළ, අල වර්ග, කැලෑ පළතුරු වර්ග රැසක් මේවනවිට විවිධාකාරයෙන් රසවත් ආහාර වට්ටෝරු බවට පත් කිරීමට උන්වහන්සේ සමත්ව සිටිති.   

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට උමංදාවේ නිපදවන විශේෂ ආහාර වර්ග ගැන කියාදෙන සමන්තභද්‍ර හිමි


‘‘මම කළේ කවුරුත්ම වැඩකට ගන්නේ නැති දේවල් වැඩකට ගත හැකි දේවල් බවට පරිවර්තනය කිරීම පමණයි. මම පෙන්නලා දෙනකල් කටරොඩු මල කවුරුත්ම ගණන් ගත්තේ නැහැ. දැන් අන්තර්ජාලයට ගිහින් ඊබේ (e Bay) එකේ බලන්න වියළි කටරොළු මල් කිලෝවක මිල කීයද කියලා. ඩොලර් සීයකට කිට්ටුයි. වද කියන මල එකෙක් ගණන් ගත්තේ නැහැ. අද වද මලෙන් බීම පවා හදනවා. අපි මේ නොසලකා හැරපු දේවල්වලට උමංදාව හරහා වටිනාකමක් වගේම නව වෙළෙදපොළකුත් නිර්මාණය කර දුන්නා’’.  
උමංදාවේ සකස් කෙරෙන සෑම ආහාර වර්ගයකටම මුරුංගා කොළ යෙදීම අනිවාර්යයෙන්ම කළ යුත්තකි. එය සමන්තභද්‍ර හිමියන්ගේ නියමයකි. මුරුංගා කොළ යොදාගෙන අප්‍රිකානු රටවල් මන්දපෝෂණය පිටුදැකීම ආදර්ශයට ගත් සමන්තභද්‍ර හිමියන් උමංදාවේ නිෂ්පාදනය කරන ආහාර වර්ග අතුරෙන් මුරුංගාවලට ප්‍රමුඛත්වයක් ලබාදී තිබේ.   
එසේම උමංදාවේ ආහාර වැඩපිළිවෙළ හරහා දේශීය ගස්වැල්වල, අල බතලවල, පලතුරුවල ඇති පෝෂණීය ගුණය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමද විශේෂයෙන්ම සඳහන් කළ යුතුය.   


‘‘අපේ රටේ දරුවන්ට මන්දපෝෂණය තියෙනවානම් ඒකට එකම පිළිතුර තමයි ලේසියෙන්ම වත්තේ පිටියෙන් හොයාගන්න පුළුවන් මුරුංගා. උදේ ඉස්කෝලෙට යන දරුවාගේ ආහාර වේලට මුරුංගා එක්කරපල්ලා. හදන සැන්ඩ්විචස් එකට මුරුංගා කොළ ටිකක් බටරුත් එක්ක කවලම් කරපල්ලා. කිරිබත් හදනවානම් ඒකත් එක්ක කන්න හාල්මැස්සන් එක්ක මුරුංගා කොළ තෙම්පරාදු කරලා දීපල්ලා. පරිප්පු හොද්දට, දරුවන්ට හදන රෝල්ස් වලට, කට්ලට් එකට මුරුංගා දාපල්ලා. මුරුංගා දිනපතා ආහාරයට ගන්නවානම් අපේ රටෙන් මේ කියන මන්දපෝෂණය තුරන් කරන එක මහ ලොකු කජ්ජක් නොවෙයි. අදවනවිට මුරුංගා කියන්නේ ලෝකයේ සුපිරි ආහාරයක් . හාල්මැස්සගේ වගේ විසි ගුණයක පෝෂණීය ගුණයක් මේ මුරුංගාවල තියෙනවාලු‍”‍.   
‘‘අපට අවශ්‍ය මේ වටිනා පණිවිඩය ජනගත කරලා සමාජය දැනුවත් කරලා වස විස කෑමෙන් තොරව අඩු වියදමකින් පරිසරයෙන් ලබාගත හැකි ආහාර වේලකින් නිරෝගිමත් පරපුරක් බිහි කිරීමයි”‍ උන්වහන්සේ කියති.   


මේ අනුව බැලූවිට උමංදාව නමැති විශ්වගම්මානය සේම උන්වහන්සේගේ දේශීය ආහාර වට්ටෝරු නිර්මාණයද සැබැවින්ම විශ්මයජනකය.   
‘‘මට මේ ඉඩම ලැබෙනකොට ඒක නිසරු පොල් වගාවකින් පමණක් සමන්විත නිසරු භූමියක් විදිහටයි තිබුණේ. ඒ නිසරු භූමිය අද මේ විදියට පවතින තත්ත්වයට ගේන්න මට අවුරුදු හයක කාලයක් ගත වුණා. ඒ අතරවාරයේදී මට විවිධ තර්ජන ආවා. ඇතැමුන් පුළුවන් තරම් මේ භූමිය අල්ලාගෙන මට මඩ ගැහුවා. අවසානයේදී පසුගිය අරගල අවස්ථාවේදී මේ අවට පිරිසක් මම මහත් ශ්‍රමයකින් ගොඩනඟපු මේ නිර්මාණය ගිනි තියලා විනාශ කරන්නත් උත්සාහ කළා. නමුත් මම ඒ එකකින්වත් සැලු‍ණේ නැහැ. පසුබැස්සෙත් නැහැ. මේවායින් සිද්ධ වුණේ මම තව තවත් ධෛර්යමත් වීම පමණයි. මම පිළිගන්නා දෙයක් තමයි කෙදිනක හෝ සත්‍යය ජය ගන්නවා කියන එක. දැන් ඒ සත්‍යය ජය අරන් ඉවරයි”‍.   
‘‘මේ විශ්වය කාලයෙන් කාලයට අපට ඕනෑ දේවල් හදලා දෙනවා. එය අපි අකැමැත්තෙන් වුවද පිළිගත යුතුයි. මම හිතන්නේ මේ උමංදාවත් එවැනි දෙයක් කියලයි. අවුරුදු හයක් යනකොට කුමන විවේචන, දෝෂාරෝපණ, ගැරහීම් ආවත් රටේ ජනතාවගෙන් බහුතරයක් අද ජාති ආගම් බේදවලින් තොරව අද මේ නිර්මාණය පිළිඅරගෙන අවසානයි”‍.   
‘‘සමන්තභද්‍ර හිමියන්ගේ එම ප්‍රකාශය සත්‍යයක් බව අපට පෙනීගියේ එදින උමංදාව නැරඹීම සඳහා පැමිණ සිටි විශාල ජනකාය දුටු විටය. පුන් පොහෝ දිනවලට සහ නිවාඩු දිනවලදී උමංදාව ජනතාවගෙන් පිරී ඉතිරී යන බව ඒ ආසන්නයේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යන අයෙකු සඳහන් කළේය. උමංදාව හරහා එම ප්‍රදේශය තුළ මේවනවිට වක්‍ර රැකියා අවස්ථා රැසක්ද බිහිවී තිබේ.   


‘‘ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමංදාව නැරඹීමට පැමිණි අවස්ථාවේදී සමන්තභද්‍ර හිමියන් උමංදාව සම්බන්ධයෙන් පස් වැදෑරුම් වැඩපිළිවෙළක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළහ.   
‘‘එම පස් වැදෑරුම් වැඩපිළිවෙළට අනුව සමන්තභද්‍ර හිමියන් පළමුවෙන්ම යෝජනා කරන්නේ උමංදාවේ ක්‍රියාත්මක ආහාර නිර්මාණ වැඩසටහන සමඟ උමංදාව විශ්ව ගම්මානය මේ රටේ පාසල් දරුවන්ව දැනුවත් කිරීම සඳහා පාඩමක් ලෙස පාසල් පෙළ පොතට එක්කරන ලෙසය. එහි දෙවැනි යෝජනාව ලෙස උන්වහන්සේ සඳහන් කර ඇත්තේ උමංදාවේ කෘෂි කර්මාන්තය සම්බන්ධ කරගෙන ජාත්‍යන්තර මට්ටමේ කෘෂි විශ්වවිද්‍යාලයක් පිහිටුවීමය.   
මීට අමතරව මැල්සිරිපුර උමංදාව විශ්ව ගම්මානය හා සමාන තවත් විශ්ව ගම්මාන දෙකක් උතුරේ සහ දකුණේ ජනතාව වෙනුවෙන් නිර්මාණය කිරීමය. එසේම උතුරේ නිර්මාණය කෙරෙන විශ්ව ගම්මානයේ ආයෝජනය සඳහා විදෙස්ගතව වෙසෙන දෙමළ ජනයාට ආරාධනය කොට එතුළින් ඩොලර් ආදායමක් මෙරටට ඉපැයීමද සමන්තභද්‍ර හිමියන් විසින් සකසක ලද පස් වැදෑරුම් වැඩසටහනට ඇතුළත් කර ඇති සිවුවැනි යෝජනාව වේ.   


මෙහි ඇතුළත් පස්වැනි යෝජනාව ආන්දෝලනයකට තුඩු දිය හැකි යෝජනාවක් ලෙස සැලකිය හැකි බැවින් එය උන්වහන්සේ පැවසූ ආකාරයටම මෙසේ සඳහන් කරමු.   
‘‘මම යෝජනා කරනවා අපේ රටේ තහනම් බෝගයක් කියලා සලකන කංසා නීත්‍යනුකූලව වගා කරලා ඒවායේ සීබීඩී නිස්සාරණය කරලා අපනයනය කරලා අපේ රටට විශාල ඩොලර් ආදායමක් උපයන්න පුළුවන් වෙයි කියලා. දැන් මේ යෝජනාව ගෙනාවාමත් මාව විචේචනය කරලා මඩ ගහන්න පටන් ගනී. අපේ මිනිස්සුන්ගේ හැටි එහෙමනේ. කිසිම දෙයක් කරන්නෙත් නැහැ කරන මිනිහට කරන්න දෙන්නෙත් නැහැ”‍.   

 


‘‘අපේ අයියලාට අමුතුවෙන් කංසා දෙන්න ඕනෑ නැහැ. අපේ උන්දලා දැන් ඉන්නේ කංසත් ගහලා, කේරළ ගංජත් ගහලා, අයිසුත් ගහලයි. දැන් අන්තිමට මිනී පුච්චපු අළුත් අරගෙන ඒවත් කුඩු විදිහට බොන්න අරන්ලු‍. මෙතැනදී අපි කළ යුත්තේ කංසා බොන එක නොවෙයි ඒවායින් ජාත්‍යන්තර වෙළෙඳපොළ ඇල්ලීමයි”‍.   
‘‘තවත් සුවිශේෂිම කරුණක් තමයි මේවනවිට අපේ රටේ තරුණ නිර්මාණකරුවෙක් හෙල්මට් එකක් හදලා තියෙනවා පොල් කෙන්ද යොදාගෙන. ඔහු මට ඒ හෙල්මට් එක පෙන්නලා කීවා ඔහුට පුළුවන්ලු‍ කංසා කෙන්ද භාවිතා කරලා වෙඩි නොවදින, බුලට් පෲෆ් හිස් ආවරණයක් නිර්මාණය කරන්න පුළුවන්. බලන්න කවුරුවත් හිතපු පැත්තක්ද ඒ. ඉතින් අපි තාම ඉන්නේ කොතැනද? අපේ රටේ මෙවැනි අතිදක්ෂ නව නිර්මාණකරුවෝ කොපමණ ඉන්නවාද කිසිම රජයකින් අත නොදුන්න..? කංසාවලින් තෙල් ගන්න පුළුවන්. සුවඳ විලවුන් හදනවා. සමහර රටවල් කංසා යොදලා ඖෂධීය විදියට කේක් පවා හදනවා. ඇයි අපේ රටේ ඒ දේවල් කරන්න බැරි? මගේ යෝජනාව හරහා මම ඉල්ලන්නේ අපේ රටෙත් කංසා හරහා රටට ඩොලර් ආදායමක් උපයමු කියලයි. නැත්නම් අපි තවමත් ඉන්නේ දූපතක අතරමන් වුණු ගෝත්‍රිකයන් පිරිසක් විදිහටයි”‍.   
‘‘අපේ රටේ ආරක්ෂක අංශවලට මේවනවිට හෙල්මට් හිඟයක් තිබෙනවා. ඉතින් අපේ රටේ නීති විරෝධී විදිහට වගා කරන කංසා හේන්වලට ගිනි තියනවාට වඩා හොඳ නැද්ද ඒවා වෙඩි නොවදින හෙල්මට් හදනවා වගේ ප්‍රයෝජනවත් කාර්යයකට යොදවලා ආදායමක් සොයන එක. මේ ​ෙවනවිටත් තායිලන්තය ඇතුළු රටවල් ගණනාවක්ම මේ කියන කංසා නීතිගත කරලා ඉවරයි. ඇයි එහෙමනම් අපිට ඒ දේ නීත්‍යානුකූලව කරන්න බැරි..? ”‍ 

 
‘‘ජපානයේ දරුවන්ට පෙර පාසලේ සිටම ඔවුන්ගේ ජීවිතය ගොඩනඟාගත හැකි ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රමයකට යොමු කරනවා. අන්න ඒ දෙය දැන්වත් අපේ රටේත් ක්‍රියාත්මක කළ යුතුයි. ඒ සඳහා මොඩලයක් ලෙස උමංදාව යොදා ගන්නා ලෙස මම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා. අද දරුවන්ට තියෙන්නේ ෆෝන් එක විතරයි. ප්‍රායෝගික දැනුමක් නොමැතිකම රටකට අසාර්ථක පුද්ගලයෙකු බිහි වීමේ පෙර ලකුණක්. අසාර්ථක පුද්ගලයෙකු සාර්ථක කරන්නනම් ඔහු උමංදාව වැනි ප්‍රායෝගික පරිසරයක ඇවිදලා පුහුණු කළ යුතුයි. රටේම ළමයි මෙතැනට ගෙන්වලා මේ ආහාර නිෂ්පාදන වැඩපිළිවෙළ ඔළුවට දැම්මානම් ඔවුන් මෙතැනින් එළියට යන්නේ තමන්ටම කියා ක්‍රියාත්මක කළ හැකි සැලසුමකුත් සමගයි. එහෙම නැත්නම් අපේ රටේ ළමයින්ගේ අනාගත සැලසුම නිතරම දකින ත්‍රීවීල් රියැදුරෙක් වෙන්න පුළුවන්. එහෙම වුණාම රටේ අනාගතය කොතැනටද යන්නේ ..?”‍   
‘‘උමංදාවේ කෘෂි වගා ව්‍යාපෘතිය දේශීය කෘෂිකර්මය සමඟ නව තාක්ෂණය එකතු කරන ලද අවස්ථාවක් ලෙසද සැලකිය හැකිය. මෙහි සියලුම වගාවන් කෘෂි රසායනිකවලින් තොර කාබනික පොහොරෙන් සිදු කළද සාමාන්‍ය බීජවලට අමතරව දෙමුහුන් බීජ වර්ගද මෙහි වගා කිරීම විශේෂත්වයකි.   


‘‘අපි කිසිම අවස්ථාවක දේශීය බීජවලට කියලා කොටු වෙලා නැහැ. මොකද අපි ඉදිරියට යන්නනම් අර තාක්ෂණික සීමා ජයගත යුතුයි. කවුරු හරි සොයාගත්ත අළුත් බීජ වර්ග වගේම අස්වැන්න වැඩිකර දෙන පිටරට බීජ වර්ගත් අපි උමංදාවේ වගා කරනවා. ඒ තුළින් අපි මේවනවිට ඉතා සාර්ථක ප්‍රතිඵල ලබාගෙන තිබෙනවා. අපට අවශ්‍ය ගොවියාට නව තාක්ෂණය සමඟ නව මානයක් පෙන්වන්නයි. අපේ ඉලක්කය ළමයා සහ තරුණයා අධ්‍යාපනයත් සමඟම තාක්ෂණය මුසු කරගෙන කුඹුරට බස්සලා කාටවත් අත නොපා බඩගින්නේ ඉන්නේ නැතිව ජීවත් වීමේ ක්‍රමෝපායක් මේ රටට සකස් කරලා දීමයි”‍ යැයිද සමන්තභද්‍ර හිමියෝ පෙන්වා දුන්හ.   


‘‘අපේ රටට දැන් වෙලා තියෙන්නේ රට සංවර්ධනයක් කරා ගෙනයන්න පුළුවන් ව්‍යාපෘති කිසිවක් නොමැති වීමයි. මේ නිසා අපේ රටේ කොටසක් උද්ඝෝෂණ කර කර ප්‍රශ්න විසඳන්න හැදුවා. තව කොටසක් කම්මැලිකමේ ඉඳගෙනම ප්‍රශ්න විසඳන්න හැදුවා. මේතාක් කල් පත්වෙච්චි සෑම රජයක්ම රටේ ප්‍රශ්න විසඳන්න හැදුවේ පිටරටින් ණය අරගෙනයි. මේ නිසා රටේ සෑම දෙයක්ම දැන් අච්චාරුවක් බවට පත්වෙලා ඉවරයි”‍.   
සමන්තභද්‍ර හිමියන් පවසන ආකාරයට උමංදාවේ නිපදවන නව ආහාර වර්ග සංඛ්‍යාව සියයකට අධිකය. එමෙන්ම මෙහි විශේෂත්වය වන්නේ එහි නිපදවන සියලුම ආහාර වට්ටෝරු ගුරු මුෂ්ටියකින් තොරව ඕනෑම කෙනෙකුට ලබා දීමය. ඒ සඳහාම පැවැත්වෙන පාඨමාලා රැසකි. සමාජයේ ඕනෑම අයෙකුට ස්ත්‍රී පුරුෂ භේදයකින්, වයස් භේදයකින් තොරව එම පාඨමාලා හැදෑරීම සඳහා අයැදුම් කළ හැකිය. දිනපතාම නොමිලේ මෙම පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමද විශේෂත්වයකි. එයින් ස්වයංරැකියා මාර්ගයක් විවෘත කර ගැනීමට හැකිය.   


එම හැදෑරීමෙන් අනතුරුව නිපදවන ඕනෑම ආහාර වට්ටෝරුවක් හෝ වෙනත් ස්වයං නිෂ්පාදනයක් උමංදාවේ තබා අලෙවි කිරීමටද සමන්තභද්‍ර හිමියන් විසින් ජනතාවට අවස්ථාව සලසා දීමත් විශේෂයෙන් සඳහන් කළ යුත්තකි. මෙවැනිදෑ උමංදාව නැරඹීමට පැමිණෙන ජනතාව විසින් මිලදී ගැනීමෙන්ම සමන්තභද්‍ර හිමියන්ගේ උත්සාහය සාර්ථක බව අපට දැකගත හැකි විය.   


කැකිරි, බතල, වට්ටක්කා, ඇඹරැල්ලාවලින් දෝසි, අඹ, අනෝදා, දිවුල්, පොල්වලින් ටොෆී, කුරක්කන්, පොල් පිටි, රම්පේ, අඹ, පැපොල්, ඉඟු‍රු, කොස් පිටි, වට්ටක්කා පිටි, මඤ්ඤොක්කා පිටි, බඩඉරිඟු‍ පිටි, පැපොල්වලින් කේක්, කොස් පිටි, මඤ්ඤොක්කා පිටිවලින් ස්වීස් රෝල්, මඤ්ඤොක්කා පිටි, බඩඉරිඟු‍ පිටිවලින් මුරුක්කු සහ බයිට් වර්ග, දිවුල්, අනෝදා, පැපොල්, පුහුල්වලින් මස්කට්, බතල, මඤ්ඤොක්කා, කිරි අල, කොස් පිටි, දෙල් පිටිවලින් පැටිස්, බනිස් වර්ග, රෝල්ස් සහ පේස්ට්‍රි වර්ග උමංදාවේ නිපදවන ප්‍රධාන ආහාර වර්ග අතරට අයත්ය.   


මීට අමතරව පොල්, අනෝදා, දිවුල්, පැපොල්, අඹ, දෙල්, මුරුංගා, වරකා, අල වර්ග, අලිගැටපේර යොදාගෙන නිපදවන අයිස්ක්‍රීම් වර්ගද මේවනවිට ජනතාව අතර ඉතාම ජනප්‍රිය වී තිබේ. එසේම කිසිවෙකු නොසිතන අත්තික්කා මලෙන් මෙන්ම අඹ, දිවුල්, පැපොල්, චෙරි, ඇඹරුල්ලා, බෙලි, කාමරංගා, පුහුල්, ගොරකා යොදගෙන නිපදවන ජෑම් වර්ග මෙන්ම පොල් සහ රටකජුවලින් නිපදවන උමංදාවේ බටර්ද ඉතා ජනප්‍රිය වී තිබේ .   


මෙහි නිපදවන තවත් රසවත් රසකැවිල්ලක් ලෙස ඉඟු‍රු, පැපොල්, අඹ යොද නිපදවන සූකිරි ජනතාව අතර ඉතා ජනප්‍රියවී තිබේ. නිල් කටරොළු මලෙන් කරන බීම නිෂ්පාදනයට අමතරව මාෂ්මෙලෝස්, කුකීස් සහ දොදොල්ද නිපදවීම සිදුකරගෙන යති.   


උමංදාවේ නිපදවන විවිධ වර්ගවල දේශීය සහල් වර්ග ඇතුළු මේ සෑම නිෂ්පාදනයක්ම එහි ඇති අලෙවිසලකින් ඉතාම පහසු මිලකට මිලදී ගැනීමටද ජනතාවට අවස්ථාව සලසා ඇත.   


උමංදාවේ නිපදවන නව නිපැයුම් සඳහා පේටන්ට් අයිතියක් ලබාගෙන ඇත්දැයි අප විමසූ විට උන්වහන්සේ ඊට ලබා දුන්නේ අපූරු පිළිතුරකි.   


‘‘මට මොකටද මහත්තයෝ මේවාට පේටන්ට් බලපත්‍ර. මට අවශ්‍ය පුළුවන් තරම් අපේ රටේ නිකරුණේ අහක යන දේවල්වලින් අලුත් යමක් හදලා ඒක ජනගත කරලා ජනතාව දැනුවත් කරලා ඒකෙන් සමාජය පෝෂණය කිරීම විතරයි. මම උමංදාව බලන්න එන ජනතාවගෙන් ඉල්ලන්නේ මෙහේ ඇවිත් අපි නිර්මාණය කරලා තියෙන දේවල් නරඹලා, වැඳ පුදාගෙන යනවා වගේම මෙහෙන් දැකගත් යමක් හිතෙන් අරන් ගිහින් ඉන් පෝෂණය ලබාගන්න කියලයි. එතකොට අපේ රටේ ඇතිවෙලා තියෙන ආහාර ප්‍රශ්නයට ඉබේටම විසඳුමක් ලැබේවි..”‍.   


 (තොරතුරු ලබා ගැනීම සඳහා සම්බන්ධීකරණය කර සුවිශේෂී සහායක් ලබා දුන් උමංදාවේ ධම්මනාථ හිමියන්ට ගෞරවනීය ස්තුතිය)   

 

ජායාරූප හා සටහන
පුෂ්පකුමාර ජයරත්න