දරු මුනුපුරන් කීප දෙනෙකු සමග
1921 වසරේ එක්තරා දිනෙක දී හීන්මැණිකා මාතාවගේ සහ රත්නායක මුදියන්සේලාගේ සුදුබණ්ඩා නම් පියාගේ දෙවෙනි දියණිය වශයෙන් වැලිමඩ, කොටවෙල ගම්මානයේ දී උපත ලද “බණ්ඩාර මැණිකා” - විවාහප්‍රාප්තියෙන් පසු පිරිමි දරුවන් 13කගේ සහ ගැහැනු දරුවන් 06 දෙනෙකුගේ දයාබර මාතාවක් වූවාය. මෙම දරුවන් 19දෙනා ගෙන් පිරිමි දරුවන් 12 දෙනෙකු මේ වෙන විට මෙලොව හැරගොස් ඇති අතර, දැනට එක් පිරිමි දරුවෙකු සහ ගැහැනු දරුවන් 06 දෙනාම ජිවත්ව සිටින බව පැවසෙයි.
ඵෙතිහාසික බින්තැන්න පුරවරයට ආලෝකයක් ගෙන දෙමින් පාරම්පරික අක්ෂි රෝග වෛද්‍යවරියක වශයෙන් ප්‍රදේශවාසීන් ගේ ගරු බුහුමන් ලබන දරු මුනුපුරන් තුන්සියයකට ආසන්න පිරිසකගේ ගෞරවාදරයට පාත්‍ර වු - මහියංගණය, සොරබොර ජනපදයේ, කහනියගොඩ ග්‍රාමයේ අංක 53 නිවසේ පදිංචි රත්නායක මුදියන්සේලාගේ බණ්ඩාර මැණිකා මහත්මිය අද ජීවන ගමනේ 104 වෙනි කණුව පසු කරමින් සිටින වාසනාවන්ත මාතාවකි.
සිය මව අක්ෂි රෝග වෛද්‍යවරියක වීම හා පියා ශාන්තිකර්ම හා යාගහෝම කළ අයෙකු වීම හේතුවෙන් - මවගෙන් ප්‍රතිකාර විධි හා ක්‍රම මනාව උගෙන, වයස අවුරුදු 12 සිට අක්ෂි රෝගී වෙදකමෙහි පමණක් නොව හොරි, දද, වණ, කුෂ්ඨ සහ විෂාධි සහ සර්පවිෂ වෙදකමෙහි ද මේ දක්වා අඛණ්ඩව නිරත වෙමින් සිටින බැව් ඕ අභිමානයෙන් යුතුව සඳහන් කරන්නීය. පියාගේ ආභාසය හා අත්දැකීම් ඇසුරෙන් විවිධ ශාන්තිකර්ම කිරීමේ නිපුණියකව සිටි බව ද, බණ්ඩාර මැණිකේ මාතාව පැවසුවාය.
ඇය පවසන පරිදි වයස අවුරුදු 12 දී පමණ හේරත් මුදියන්සේලාගේ සුදුබණ්ඩා සමග අතිනත ගෙන ඇති අතර – 1960 දී පමණ එම ගමේ සිට අදත් ජීවත්වෙන බතලයාය ගමට, සැමියා සහ ඒ වෙන විට සිටි දරුවන් පස්දෙනා ද සමග පදිංචියට පැමිණ තිබේ.
මහියංගන බතලයාය ප්‍රදේශයේ පමණක් නොව ඈත එපිට දුර බැහැර ගම්මානවල සිට පැමිණි රෝගීන් විශාල පිරිසකට පිහිට වූ බවත්, ගෙවී ගිය කාලපරිච්චේදය තුළ තමන්ගේ හිසේ කෙස් ගණනටත් වඩා විශාල රෝගීන් සංඛ්‍යාවකට ප්‍රතිකාර කොට සුවපත් කළ බවත්, ඕ සතුටින් ප්‍රකාශ කරන්නීය.
බණ්ඩාර මැණිකේ වෙද මාතාව
අද වන විට වයස අවුරුදු 104ක් වුවත් - තමන්ගේ සියලු වැඩ කටයුතු තනිවම කරගැනීමට හැකියාව ඇති බවත්, ඇස් පෙනීම හා කන් ඇසීම ද ඉතා හොඳ තත්ත්වයක පවතින බවත්, මෙම නිරෝගී බවට හේතුව තමන් රෝගී ජනතාවට කරනු ලැබූ ප්‍රජා සත්කාරක රෝගී සේවාවේ කුසලය හේතු වන්නට ඇති බවත්, සිනහව පිරුණු මුහුණින් යුතුව පැවසුවාය.
සිය අතීත මතකය සම්බන්ධයෙන් අප හා දොඩමලු වූ බණ්ඩාර මැණිකේ මාතාව මෙසේ පවසන්නීය.
“වැලිමඩ පළාතේ ඉඳලා 1960 අවුරුද්දේ විතර තමයි අපි මේ ගමට ආවේ. ගමට ඇවිල්ලා අපේ අයියා කෙනෙකු ගේ ගෙදරක එදා හිටියේ. මට මතකයි අපි ඒ ගෙදරට ආපු දවසෙම රාත්‍රියේ තවත් කීපදෙනෙක් එක්ක ඉලන්දාරියෙක් ආවා - ඇස් දෙකම කුකුල් කරමලය වාගේ රතු කරගෙන බොහොම වේදනාවෙන් කෑ ගහමින්. අපේ ගෙදර හිටපු අය ඇහැව්වා මොකද වුණේ කියලා. එයත් එක්ක ආපු කෙනෙක් කිව්වා පෙට්‍රල් ලාම්පුවක් පුපුරා ගිහිල්ලා මෙයාගේ ඇස් දෙකට ඒ ගින්දර විසිවෙලා ඇවිල්ලා ඇස් දෙකට වැදුණා කියලා. මම ඒ ඉලන්දාරියා පරීක්ෂා කරලා ඒ වේලාවෙම පොඩි බෙහෙතක් හදලා ඇස්වලට දැම්මා. ඒ දරුවා ගේ ඇස්වල තිබුණු දැවිල්ලයි වේදනාවයි විනාඩි කිපයකින්ම දුරුව ගිහින් සාමාන්‍ය සුවයක් ක්ෂණිකව ලැබුණා. පස්සේ තවත් බෙහෙත් ඹෟෂධ ටිකක් හදලා ඇහැට දැම්මා. මෙහෙම දවස් හතරක් විතර බෙහෙත් දැම්මා. ඇස් දෙක හොඳටම සනීප වුණා. මේ ලෙඩා ඇස් හොඳ වුණාට පස්සේ මට තෑගි ෙභා්ගත් ගෙනත් දුන්නා. ඊට පස්සේ මේ පළාතේ මම ඇස් වෙද අම්මා කෙනෙක් කියලා ගමේ අයගේ කතා බහට ලක්වුණා. එදා ඉඳලා අද වෙනකම් මේ ගමේ අය විතරක් නෙමෙයි ඈත එපිට ගම්වල ඉඳලා පවා ඇස්වලට බෙහෙත් ගන්න මෙහාට එනවා.”
“මම පාසල් ගියේ නැහැ. අකුරු සාස්තරය නොදන්නවාට මගේ මොළේ හොඳට වැඩකරනවා. මේ වෙද සාස්තරය මට පෙර කුසලකින් ආපු එකක් කියලා මට හිතෙනවා. දැනට ජීවතුන් අතර සිටින එකම පුතාගේ නම එච්.එම්. චන්ද්‍රදාස යි. මගේ අවශ්‍යතා සොයා බලා ඔහු කටයුතු කරනවා. හදිසියේ වැළඳුණු රෝගී තත්ත්වයක් හේතුවෙන් මගේ සැමියා 1995 වර්ෂයේදී මිය ගියා. දැනට මගේ දරු මුනුබුරෝ භූක්ති විඳින අක්කර 35ක විතර ඉඩම් කොටස අපි දෙන්නා ගේ දුක් මහන්සියෙන් ගොඩනගා ගත් දේපළක්. මේ ඉඩමේ තිබෙන කුඹුරුවලට ජලය සපයා ගැනීමට අපේ පවුලේ සාමාජිකයින් එකතුවෙලා පුංචි වැවක් බැන්ඳා. දැන් ඒ වැවේ වතුරවලින් තමයි කුඹුරු වැඩ කරන්නේ. මමත් සැමියාත් එක්ක හරි හරියට ඒ කාලේ කුඹුරු වැඩ හේන් වැඩ වත්තේ පිටියේ වැඩ කළා. අපේ මහන්සිය තමයි දැන් ඔය ලස්සන වෙල් යායවල් වගේම ගෙවතු වෙලා තියෙන්නේ.”
තම වෙද කම ගැන බණ්ඩාර මැණිකේ මාතාව පවසන්නේ මෙවැනි කතාවකි.
“මම මුදලට තෑගි ෙභා්ගවලට නෙවෙයි - ලෙඩ්ඩු සුවපත් කරන්නේ. ජිවිතයත් මරණයත් අතර සටනක සිටින රෝගියෙක් සුවපත් කළාම ලැබෙන සතුට සල්ලිවලට මිල කරන්න බැහැ පුතා. ලැබෙන කුසලය මෙතෙකැයි කියා නිම කරන්නත් බැහැ. අද වෙද මහත්තුරු ලඟ නැත්තෙම ඕන්න ඕකයි පුතා. අද මගේ නිරෝගී කමට එකම බෙහෙත තමයි මේ වෙදකම. මට හොඳට ඇස් පෙනෙනවා කන් ඇහෙනවා මම තවම මගේ වැඩ කරගන්නවා කාටවත් කරදරයක් කරන්න මම කැමති නැහැ”.
පරිසරවේදී මහින්ද විජේසිංහ ගෙන් ප්‍රශ්ණයක්.
මේ දරුවෝ 19 දෙනා හදා වඩා ගත්තේ කෙහොමද අත්තම්මේ?
“අනේ පුතේ ඕකත් අහන්න දෙයක් ද? අම්මා අප්පා කෙනෙකුට කොච්චර දරුවෝ හිටියත් ඔවුන් වැඩියි කියනව ද? දරුවෝ කියන්නේ සම්පතක් නේ.” මුවෙහි රැඳුණු මඳ සිනහව සමගින් කී ඕ, යළි දොඩමලු වූවාය.
සහායට සිටින දියණිය නන්දාවති සමග
“මගේ සැමියාගේ ගම වැලිමඩ විදුරුපොල. මම දීග ආවේ අවුරුදු 12දි. එයාටත් එච්චර වයසක් නැහැ. 19ක් 20ක් විතර ඇති. නම්බුකාර අන්දමට කපුවෙකුගේ මාර්ගයෙන් තමයි අපේ මංගල්‍යය සිදුවුණේ. මම අපේ පවුලේ දෙවෙනියා. මල්ලිලා 03යි අක්කලා 01යි. නංගිලා දෙන්නයි.”
අපේ ගමනේ මග පෙන්වන්නා වූ වටවන පාසලේ ආචාර්ය සමන් කුමාරගේ විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වෙද මාතාව මෙසේ ප්‍රකාශ කළාය.
“රෝහල්වලින් ප්‍රතිකාර ගෙන සුවයක් නොවන ඇස් රෝගීනුත් මගෙන් බෙහෙත් ගන්න එනවා. දොස්තර මහත්තුරුන් තමන්ගේ ඥාතීන් පවා අරගෙන එනවා. මගේ අවසාන හුස්ම තියෙන තුරු මගෙන් බෙහෙත් ගන්න එන රෝගියා සුවපත් කරනවා”. ඇගේ ඒ හඬෙහි ගැබ්ව ඇත්තේ දේශීය වෙදකමේ අපූර්ව විස්මිත වටිනාකම යැයි අපට හැඟුණි.
“රෝගියාට බෙහෙත් කරන්න යෑමේදී එදාට වඩා අද ප්‍රශ්න කීපයක් තිබෙනවා. එදා කැළෑ කොළේ තිබුණු ඹෟෂධ වර්ග අද හොයා ගන්න බැහැ. මොකද අද මේවා ජනපද වෙලා ඖෂධ වර්ග විනාශ වෙලා. දැන් බොහොමයක් ඹෟෂධ වර්ග තෙල් වර්ග ගන්නේ බෙහෙත් කඩවලින්. ඒවත් වනයෙන් අපි කඩා ගත්තු ඹෟෂධ වර්ග තරම් ගුණාත්මක නැහැ. හැබැයි පුතේ දැන් මට තනියම මේ වැඩේ කරන්න අපහසුයි. මම ලෙඩා පරීක්ෂා කරලා එයාට ලබාදිය යුතු ඹෟෂධ වර්ග සහ තෙල් වර්ග වගේම රෝගියා ආහාරයට ගත යුතු දේ ගැන උපදෙස් දෙනවා. මේ උපදෙස් රෝගියාට දෙන ගමන් මාත් එක්ක අවුරුදු 40ක පමණ කාලයක ඉඳලා මේ කටයුත්තට උදව් කරන මගේ දියණියක් වන එච්.එම්. නන්දාවතී දුවට අවශ්‍ය කළමනා කටයුතු කරන්නත් කියනවා. මම එයාට උපදෙස් නුදුන්නත් දුවට ඒක දැන් තනියම කරන්න පුළුවන්. මොකද එයාට අවුරුදු 40ක විතර පළපුරුද්දක් තියෙනවානේ. ”
වෙද මාතාවගේ ප්‍රතිකාරවලින් සුවයට පත් අරාවත්ත සෙනෙවිගම පදිංචි හතළිස් නව හැවිරිදි එච්.එම්. කරුණාවතී තමන්ට මුහුණ පෑමට සිදුවූ කතාව අපට පැවසුවේ නෙතට නැඟුණු සතුටු කඳුළු තම දෑතින් පිස දමමිනි.
“මම ගැමුණුපුර ප්‍රදේශයේ පදිංචි කෙනෙක්. මම විවාහකයි. දරුවන් තුන් දෙනෙක්ගේ අම්මා කෙනෙක්. මීට මාස අටකට පමණ ඉස්සර වෙලා මගේ දකුණු ඇසේ පෙනීමේ දුර්වලතාවක් ආවා. මේ ඇහැට රෝහලෙන් ප්‍රතිකාර ගනිමින් සිටින විට මාස දෙකක් විතර යන කොට වම් අැහැටත් ඒ රෝගය ආවා. මම දොස්තර මහත්තුරුන්ගෙන් ඇහැව්වා ඇයිද ඇස් දෙකටම මෙහෙම වුණේ කියලා. දොස්තර මහත්තුරු කිව්වේ ආසාදනයක් කියලා. පස්සේ කිව්වා කාච දාන්න ඕන කියලා. කාච ලිස්ට් එකේ හැටියට කාච දාන්න නම් මට තව අවුරුදු පහක් හයක් විතර කාලයක් බලාගෙන ඉන්න වෙනවා. එහෙම ඉන්න බැරිනම් ප්‍රයිවට් කරගන්න කිව්වා. ප්‍රයිවට් කරගන්නවා නම් ලක්ෂ දෙකක් විතර යයි කියලත් කිව්වා. අපිට ස්ථිර ආදායම් නැති දුප්පත් මිනිස්සු. ලක්ෂ දෙකක මුදලක් දීලා කරගන්න බැරි හින්දා රෝහලේ තියෙන සායනයට මාසිකව ගියා. මේ සායනයට ගියත් මගේ ඇස් පෙනීම සුව වුණේ නැහැ. තව තවත් දුර්වල වුණා. තනියම වැසිකිළියට යන්න බැරි තරමට ඇස් පෙනීම දුර්වල වුණා. උදේ කාලේ සහ සවස් කාලේ විතරයි චුට්ටක් පෙනීම තිබුණේ. ඒ දවස්වල මගේ වැඩ සියලු දේම කළේ මගේ මහත්තයා.”
රෝගීන් පරික්ෂා කරන අයුරු
“මේ වෙද අම්මා ගැන මට මගේ අක්කා තමයි කිව්වේ. ඒ අනුව එදාම අපි මෙහාට ආවා. ආවට පස්සේ මුලින්ම මේ ලොකු වෙද අත්තම්මා මගේ ඇස් දෙක පරීක්ෂා කරලා කිව්වා ස්නායු දුර්වල වෙලා කියලා. අත්තම්මා බැලුවට පස්සේ අත්තම්මාගේ ලෙකු දුව ඇවිල්ලා මගේ ඇස් දෙක බලලා අතගාමින් කතා කර කර ඉඳලා ඇස් දෙකේ මොනවද බෙහෙතක් ගෑවා. ඊට පස්සේ මට බයක් වගේ චුට්ටක් දැනුණා. ඇහැ අරින්න බැරිව ගියා වාගේ දැනුණා. විනාඩි දහයක් විතර යනකොට මට හොඳ එළියක් පෙනෙනවා වාගේ දැනුණා. ඉස්සර වෙලා නම් හිතුණා මගේ ඇස් දෙක ඉවරයි කියලා. එහෙම බෙහෙත් දාලා ඉවර වෙලා කිව්වා දවස් තුනකින් නැවත එන්න කියලා. එදා ඉඳලා දිගටම ප්‍රතිකාර කළා. මෙහෙම මාසයක් විතර යනකොට මට ඇස් පෙනීම තරමක් දුරට පෙනෙන්න පටන් ගත්තා. දැන් මාස හතරයි දැන් මට හොඳට අකුරු පෙනෙනවා. ලියන්න පුළුවන් දැන් ඇස් දෙක සම්පූර්ණයෙන්ම සුවයි. මමත් ඇස් රෝගීන් ගණනාවක්ම මෙහාට එව්වා. ඒ අයත් කියනවා දැන් තිබුණු රෝග සුව වෙලා කියලා. මේ පාරම්පරික වෙදකම රැකගන්න ඕන. මෙහාට එන අය ඇතැම් තැන්වලට ගිහිල්ලා මුළා වෙලා ඉන්නවා. මේ වාගේ තැනකට ඇවිල්ලා ලෝකය දකින්න සලස්වන. මේ මෑණියන් දෙන්නාටම දිර්ඝායුෂ ලැබිලා තව තවත් රෝගීන් සුවපත් කරන්න ශක්තිය ලැබේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා.”
දැනට මැය පදිංචි කහනියගොඩ ගමේ පිහිටි අක්කර 35ක් පමණ වන ඉඩම එකල රුපියල් 600ක් වැනි මුදලකට මිලදී ගෙන ඇති අතර, ඒ වෙන විට අලි කොටි වලසුන් ගැවසෙන ළඳු කැළෑවක් බවට පත්ව තිබූ මෙම ඉඩම ඇයගේ සහ ඇගේ සැමියාගේ දහඩිය කඳුළු මතින් අද වන විට ජාතික ආහාර නිශ්පාදනයට දායකත්වය ලැබෙන වටිනා භූමියක් බවට පත් කර තිබේ. මෙම ඉඩමේ දරු මුනුපුරන් 12 දෙනෙකු පදිංචිව සිටින බව කියයි. මේ කොටස හේරත් පවුලේ පුංචි ගම්මානයක් වශයෙන් හඳුන්වා දිය හැකිය.
කහනියගොඩ ගමේ පදිංචි දෙවෙනි දුව වන එච්.එම්. නන්දාවතී (70) හා ඇයගේ දරුවන් සමග (තමන්ගේ මුල් නිවහනේ) වර්තමානයේ පදිංචිව සිටින බවත්, ඔවුන් ඇතුළු දරු මුුනුපුරන්ගේ ගෞරවාදරය යටතේ සුවසේ කාලය ගත කරන බවත්, බණ්ඩාර මැණිකේ වෙද මාතාව සඳහන් කළාය.
පැමිණෙන රෝගියාට බාහිර වශයෙන් ප්‍රතිකාර කළත් ඇතැම් රෝගීන්ගේ පවතින රෝගී තත්ත්වය අනුව ඔහු හෝ ඇය නේවාසිකව තබාගනිමින් ප්‍රතිකාර කිරීමට සිදුව තිබේ. එහෙත් එයට කුඩා වෙද ගෙදර හෝ අවට ප්‍රදේශයේ රෝගියාට නේවාසිකවීමට තරම් පහසුකම් නොමැතිකම හේතුවෙන්, එම රෝගියාට සහ ඔහුගේ භාරකරුවන්ට වෙද ගෙදර සිට කිලෝ මීටර් 10ක් පමණ දුරින් පිහිටි මහියංගණය නගරයේ කාමර පහසුකම් සපයන නිවසකට හෝ හෝටලයකට ගොස් අධික මුදලක් ගෙවා නැවතී දෛනිකව වෙද ගෙදරට පැමිණ අදාල ප්‍රතිකාරය ලබා ගැනීමට සිදුව තිබේ.
අතමිට සරු අයට මෙසේ නේවාසිකව නැවතී ප්‍රතිකාර ගැනීමට හැකි වුවත් අතමිට හිඟ රෝගියාට සහ ඔහුගේ භාරකරුවන්ට එය කිරීමට අපහසුය. එහිදී ඔවුන්ට දැඩි පීඩාවකට මෙන්ම අසරණ තත්ත්වයට මුහුණ පෑමට සිදුවෙනු ඇති බව මහින්ද විජේසිංහ සඳහන් කරයි.
මෙලෙස අපහසුතාවට පත්වෙන රෝගීන් එම අපහසුතාවයෙන් මුදවාගෙන රෝගියාට ගුණාත්මක සේවාවක් සැපයීමට සහ රෝගියාට නේවාසික පහසුකම් සැපයීමේ අරමුණින් නන්දාවතී වෙද මාතාව (දියණිය) සිය කුඩා නිවහනට යාබදව යම් කොටසක් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු කළත් පවතින අර්ථික අපහසුතාවන් හේතුවෙන් එම ගොඩනැගිල්ල අත්තිවාරමකට පමණක් සිමා වී තිබේ.
දහස් ගණන් රෝගීන්ට පිහිටක් වෙමින් ජීවන ගමනේ 104 වෙනි කණුව පසුකරමින් සිටින වෙද මාතාවට නිදුක් නිරෝගී සුවය ලැබ දිර්ඝායුෂ ලැබේවායි අප ද පතන්නෙමු.
(මෙම මාතාවගේ තොරතුරු ලබා ගැනීමට සහාය වූ වටවන විද්‍යාලයේ ආචාර්ය සමන් කුමාර සහ වනජීවී අඩවි ආරක්ෂක මහින්ද විජේසිංහ සහ රියැදුරු චන්ද්‍රපාල යන අයට අපගේ ස්තුතිය පිරිනමමු.)
හසලක සුනිල් ඒකනායක