අම්මා මරා ගත්තා මදිවට මැරෙන්න හදනවා


“ඔයා නැතුව ජීවත් වෙන්න මට තේරන්නෙ නෑ ජිනා.. ඔව් මට තේරෙන්නෙ නෑ.. ඔයා නිකම්ම නිකම් ගෑනියක් නෙමෙයි.. මගෙ අනිත් බාගෙ.. නෑ.. නෑ.. මගෙ ජීවිතේ තුන් කාලක්ම ඔයා.. ඉතින් ජීවිතේ තුන් කාලක්ම නැති වුණාම ඉතුරු කාලට පැවැත්මක් තියෙන්නෙ කොහොමද..? එහෙම දැනදැනම මම ඔයාව මරා ගත්තා නෝනේ.. ඔව් ඔයාව මරා ගත්තෙ මම.. ලොකු දුවගෙ මල්වර නැකතේ වැරැද්දෙන් නෙමෙයි ඔයා මැරුණෙ.. මගෙ වැරැද්දෙන්.. මම ඔයාගෙ බඩට දරුවෙක් නොදු

න්නනම් අද මට ගෑනියෙකුත් ඉන්නවා.. මගෙ දරුවන්ට අම්මා කෙනෙකුත් ඉන්නවා..” 

අතපය හතර විහිදාගෙන ඉස්තෝප්පුවේ බිම පතබෑවුණ කිත්සිරි වචන පටලවමින් එකම දේවල් නැවත නැවත දෙඩෙව්වේය. විටෙක ඉකි ගසා හැඬුවේය. ජිනාදරීගේත් ඔහුගේත් අතීතයේ රසබර සිදුවීම් කියමින් හඬ නඟා හිනැහුණ ඔහු දිගින් දිගටම ඇගේ ගුණ වර්ණනා කළේය. වහලයේ කෙළවර දැල්වුණ විදුලි පහනේ එළියෙන් ඔහුගේ මුහුණ තෙල් පාටට දිළිසුණේය. කලිසමත් කමිසයත් මඩ පාට වී, පොඩි වී තිබිණි. කලිසම් සාක්කුවෙන් පිටතට පැමිණි කඩදාසි උරයකින් වීසි වූ මුරුක්කු කැබලි ඔහු අවට විසිරී ගියේය. 
“මට සමාවෙයල්ලා දරුවනේ.. මම උඹලට අම්මා නැති කෙරුවට මට සමාවෙයල්ලා..” 


ඔහු දෑත ඔසවා වඳින්නට තැත් කළ ද බීමත් සිතට අවසඟ ඒවා නැවතත් දෙපසට කඩා වැටිණි. 
“මගෙ නෝනෙ.. මම බිව්වා.. ඔව්.. මම බිව්වා.. ඔයා හින්දා බීම නතර කරපු මම ඔයා හින්දම ආයෙත් බිව්වා.. ඇත්තටම මට බීම අමතක වෙලා තිබ්බෙ.. අමරෙයා මට කිව්වා ටිකක් බිව්වහම හැමදේම අමතක කරලා දාලා හොඳට නිදාගන්න පුළුවන් කියලා.. ඉතින් මම ටිකයි බිව්වෙ.. කාලෙකින් හින්දා ඒ ටික මට හොඳට වැදුණා.. හැබැයි ඌ බොරු කියලා තියෙන්නෙ මැණිකෙ.. මට නින්ද යන්නෙ නෑ.. මට නින්ද යන්නෙ නෑ.. මට ඔයාව අමතක කරන්නත් බෑ.. ඔව් ඔයා මෙතනම ඉඳිද්දී මම අමතක කරන්නෙ කොහොමද..?” 
ඔහු අප්‍රාණික ලෙස පපුවට තට්ටු කර ගත්තේය. ඉනික්බිතිව නැවතත් හඬන්නට වූයේය. 


“දරුවො වෙනුවෙන් මම ජීවත් වෙන්න ඕන කියලා ඔයා හීනෙනුත් ඇවිත් මට කිව්වනෙ නෝනෙ.. හැබැයි මම මේ දුකත් එක්ක ජීවත් වෙන්නෙ කොහොමද කියලා ඔයා මට කියලා දුන්නෙ නෑ.. ඔව් ඔයා තියා මගෙ අම්මවත් මට කියලා දුන්නෙ නෑ.. මේ පපුව ගිනි මැලයක් වාගෙ ඇවිලෙනවා කියලා ඔයාලට පේන්නෙ නෑ දරුවනේ.. එහෙම පේනවානම් ඔයාල වෙනුවෙන් ජීවත් වෙනවා වෙනුවට අම්මා ළඟට යන්න කියලා ඔයාලා කියනවාමයි..” 


හැඬුම අතරින් එවදන් කැඩි කැඩී පිට වූයේය. 


සසංකගේ අත තදින් අල්ලා ගත් දිනේෂි තාත්තාගේ විප්‍රකාර බලාසිටියේ බියෙන් හා ශෝකයෙනි. උගුරේ ගුලියක් වැනි යමක් හිර වී ඇති බවක් ද, පපුව පිළිස්සෙන බවක් ද ඇයට දැනෙමින් පැවතිණි. තාත්තා හඬන විට ඇගේ ඇස්වලින් ද කඳුළු බේරුණේය. සැහැල්ලු‍ විනෝදකාමී හැසිරීම්වලින් යුතු ආදරණීය තාත්තා කෙනෙකු මිස බීමතින් නන්දොඩවන තාත්තා කෙනෙකු ඔවුන්ගේ ජීවිතවල කවදාවත් සිටියේ නැත. පෑලිස් සීයා බීමතින් යන හා නන්දොඩවන ආකාරය අනුකරණය කර තාත්තා ඔවුන් සිනාගැන්වූ දවස් අතීතයේ තිබිණි. එහෙත් මේ එවන් රඟපෑමක් නොවේ. ඔවුන්ගේ ආදරණීය තාත්තා බේබදු පෑලිස් සීයාගේ මට්ටමටම වැටී සිටියේය. 


පසුගිය දිනවල උදේ වැඩට ගිය තාත්තා යාන්තම් බිම් කළුවර වැටෙද්දී ගෙදරට ආවේය. 
“මහන්සියි පුතේ..” 


කියමින් හාන්සි පුටුවට වැටී ඇගෙන් තේ එකක් ඉල්ලාගෙන බිව්වේය. වෙනදා මෙන් නංගීත්, මල්ලිලාත් සුරතල් කළේ නැතත් ඔවුන් සමඟ කතාබහ කළේය. එහෙත් අද සියල්ල නොපිට හැරී තිබිණි. 
තාත්තා පසුගිය දිනවල ගෙදර පැමිණි වේලාව හෝරාවකින් පමණ ඉක්ම යද්දී දිනේෂි මඟ බලන්නට වූයේ නොසන්සුන් ලෙසය. 


“මොකද දන්නෙ නෑ තාත්තා මෙච්චර පරක්කු..?” 
ඇය ලොකු මල්ලීට කීවේ සංකාකූල හඬිනි. 
“කොහෙ හරි දුර වැඩකට යන්න ඇති ඉස්සර වගේ..” 
සසංක වැඩි ගණනකට නැතිව කීවේය. 


එය එසේ විය හැකි යයි දිනේෂිටත් සිතුණේ තාත්තා සතිය දෙක ගෙදර නෑවිත් සිටි අතීතයේ මතකය සිත මතුපිටට ආ නිසාය. එහෙත් වචනයෙන් විස්තර කළ නොහැකි සංකීර්ණ හැඟීමකින් ඇය පීඩා විඳිමින් සිටියාය. තාත්තා අතේ දුරකථනයක් තිබුණත් එයට ඇමතුමක් දෙන්නට පහසුකමක් ඔවුන්ට නොවිණි. ඇය පහන පත්තු කරන්නට ගියේ තාත්තාට කරදරයක් නොවේවා යයි ප්‍රාර්ථනා කරන්නට පමණක් නොව අම්මා පැමිණ සිටීනම් ඇගෙන් යම් සහනශීලී උපදෙසක් ලැබෙනවා ඇතැයි බලාපොරොත්තුවෙනි. 
මීට පෙර අම්මා පැමිණි දිනයේ නැවත පැමිණෙන විට පිච්ච වැල සොලවා සලකුණක් කරන ලෙස දිනේෂි ඇගෙන් ඉල්ලා සිටියේ සකුණ ගේ උපදෙස් පරිදිය. එසේ කරන්නට අම්මා පොරොන්දු වී තිබිණි. වඳින අතරේම දිනේෂි වරින්වර පිච්ච වැල දෙස නොඉවසිල්ලෙන් බැලු‍වේ එම නිසාය. එහෙත් එබඳු සලකුණක් තබා සුළඟකටවත් පඳුර සෙලවුණේ නැත. පහන අසළ බොහෝ වේලාවක් රැඳී සිටියත් වෙනදා මෙන් භක්තියෙන් වන්දනා නොකළ ඇය ආපසු ආවේ දොම්නසින් සිත පුරවාගෙනය. 


ඇය නංගීටත් පොඩි මල්ලීටත් කෑම කවා ඔවුන් නින්දට යැව්වාය. ලොකු මල්ලී සිටියේ නොරිස්සුමින් මැසිවිලි නඟමිනි. එහෙත් ඔහු තාත්තා එන තුරු ඉස්තෝප්පුවට වී බලා සිටි දිනේෂි සමඟ නිදි මැරුවේය. 
අන්තිමට තාත්තා ආවේ තවත් දෙහෝරාවකට පමණ පසුවය. යමක් මුමුණමින් දෙපසට වැනෙමින් පැමිණි ඔහු මිදුල කෙළවර ජම්බු ගස අල්ලාගෙන ඕක් ගා වමනය කළේය. අප්‍රියජනක ගන්ධයක් පරිසරය පුරා පැතිර ගියේ නිමේෂයකිනි. පෑලිස් සීයා ළඟින් හමන්නේත් මේ ගන්ධයම නොවන්නේදැයි සිතෙද්දී දිනේෂි වෙව්ලන්නට වූවාය. 


“දෙයියනේ ලොකු මල්ලී.. තාත්තා අරක්කු බීලාවද්ද..?” 


තාත්තා වෙත දුවන්නට සැරසෙන දෙපා අසීරුවෙන් මෙල්ල කර ගත් ඇය ලොකු මල්ලීගේ අත තදින් අල්ලා ගනිමින් විචාළාය. 


“බීලාවද්ද නෙමෙයි.. බීලා..” ඔහු කීවේ තරහිනි. 


ඔහු ඇයට තාත්තා වෙත යන්නට ඉඩ දුන්නේත් නැත. ඇගේ සිත කළකිරීමකින් මෙන්ම මහා දොම්නසකින් පිරෙන්නට පටන් ගත්තේය. තාත්තා ඉලන්දාරි කාලයේ මත් දියරට හුරු වී සිටියත් අම්මා හමු වූවාට පසුව සියලු‍ දුසිරිත්වලින් මිදුන බැව් දිනේෂි අසා තිබිණි. සාදයකදීවත් මත් දියර නොගැනීම ගැන මිතුරන් ඔහුට සරදම් කළත් අම්මා හා ආච්චි ඒ ගැන කතා කළේ ආඩම්බරයෙනි. මේ එළඹෙමින් පවතින්නේ තාත්තා බේබද්දෙකු වීමේ පෙරනිමිති දැයි දිනේෂි කල්පනා කළේ කඳුළු වගුරමිනි. සසංක දිගටම තරහින් බලා සිටියේය. 


තාත්තා බොහෝ අසීරුවෙන් පියමාරු කරමින් පැමිණ ඉස්තෝප්පුවේ ඇද වැටෙන තුරුම ඔවුහු සිටිවනම සිටගෙන බලා සිටියහ. ඔහු දිනේෂිලා දෙස බැලු‍වේවත් නැත. 


“අනේ ලොකු මල්ලී.. දැන් අපි මොකද කරන්නෙ..?” 


තාත්තා දිගින් දිගටම කරන විප්‍රකාර දරා ගත නොහැකි වූ ඇය අසරණ හඬින් පිළිවිසියාය. 
බීමත් අයෙකුට කරන සාත්තු සප්පායම් මොනවාදැයි ඇය දැන සිටියේ නැත. මේ මැදියම් රැයේ අසල්වැසියෙකුගේ පිහිටක් හෝ පැතිය නොහැකිය. තාත්තාගේ සාක්කුවේ ඇති දුරකථනය රැගෙන පොඩි නැන්දාට ඇමතුමක් දෙන්නට ඇයට සිතුණත් බීමතින් නන්දොඩවන තාත්තාට ළං වෙන්නට ඇය බිය වූවාය. අනෙක් අතට ආච්චිටත් නැන්දාටත් මේ රෑ එන්නට පුළුවන්කමක් ද නැත. 


“අපි මොනවා කරන්න ද..? මළ විකාර.. අම්මා මරා ගත්තා මදිවට එයත් මැරෙන්න හදනවා..” 
නොකන්කළු හඬින් කී සසංක දිනේෂි සිර කොට අල්ලාගෙන සිටි සිය අත මුදා ගත්තේය. ඇය තිගැස්සී ගියාය. රැකවරණයක් අහිමි වූ කල දැනෙන තනිකම, බිය ඇය පෙළන්නට පටන් ගත්තේය. 
“ලොකු මල්ලී..” ඇය වේදනාවෙන් කෑ ගැසුවාය. 


෴ ලබන සතියට ෴