අපේ පෘතුවියේ නොදන්නා අබිරහස්


තරු පිරි අහස 

 

  • වසර බිලියන 15 කට පෙර අප සිටින මුළු විශ්වයම කුඩා අංශු සමූහයක්. ග්‍රහලෝක සැදුනේ ඉන් පසුවයි.

හිරුගේ සිට තෙවැනියට ඇත්තේ පෘථිවියයි. පෘථිවිය අපේ නිවහනයි. මනුෂ්‍ය අපට පමණක් නොවේ, තවත් ජීව විශේෂ ගණනාවකගේත් නිවහන වන්නේ පෘථිවියයි. අප දන්නා තරමින්, විශ්වයේ ජීවය ඇත්තේ මේ නිල්වන් මිණිකැටයක් බඳු ග්‍රහලොවේ පමණි. සෞරග්‍රහ මණ්ඩලයේ පාෂාණීය ග්‍රහයන් හතරකි. පෘථිවිය එයින් එකකි. අනෙක් පාෂාණීය ග්‍රහයන් තිදෙනා බුද, සිකුරු සහ අඟහරුය. 

පෘථිවිය ඇත්තේ සිකුරු සහ අඟහරු මැදය. සෞරග්‍රහ මණ්ඩලයේ විශාලත්වය අතින් පස් වැනි ස්ථානයට වැටෙන්නේ පෘථිවියයි. පාෂාණවලින් සුසැදි පෘථිවියේ හරය යකඩ සහ නිකල්වලින් නිර්මාණය වී ඇත. සෞරග්‍රහ මණ්ඩලයේ වෙනත් කිසිදු ග්‍රහලොවක නැති දෙයක් පෘථිවියේ ඇත. ඒ, ජලයයි. ජීවය බිහිවූයේ ඒ නිසාය. පෘථිවියේ මතුපිටින් සියයට 70 කට වඩා ඇත්තේ ජලයයි. වායුගෝලයේ ජීවයේ පැවැත්මට අවශ්‍ය ඔක්සිජන් අඩංගු වෙයි. වායු ගෝලයේ ඔක්සිජන් නිර්මාණය වීම වසර බිලියන ගණනක් තිස්සේ ප්‍රභාසංස්ලේෂණය හරහා සිදුවන ක්‍රියාවලියකි. හිරුගේ විකිරණවලින් පෘථිවිය ආරක්ෂා වන්නේ කිලෝ මීටර් 60,000 ක් ඉහළට විහිදී පවතින චුම්බක ක්ෂේත්‍රයකිනි. 
පෘථිවිය ඇතුළු සෞරග‍්‍රහ මණ්ඩලයේ උපත පිළිබඳ විවිධ මතවාද කිහිපයක් ඇත. ඒ අතුරින් වඩාත් පිළිගැනීමට ලක් වූ මතයිනීහාරිකා න්‍යායයි’. ඒ අනුව, වායු හා දූවිලිවලින් පිරුණු විශාල නීහාරිකාවක් ඝනීභවනයට පත්වීමෙන් සූර්යයා, ග‍්‍රහලෝක සහ ඒවායේ උප ග‍්‍රහයන් නිර්මාණය වූ බවය. පෘථිවියේ ජීවය පහළ වූ අයුරු නිශ්චිතව ප‍්‍රකාශ කිරීමට ජීව විද්‍යාඥයන්ට නොහැකි වුවත් ජීව විශේෂ හොඳින් අධ්‍යයනය කිරීමෙන් පසු ඔවුන් විසින් න්‍යායයන් කිහිපයක් ඉදිරිපත් කර තිබේ. ඒ අතරින් වඩාත් පිළිගැනීමට ලක්වන්නේ මහා පිපිරුමත් පරිණාමයත් ගැන ඇති න්‍යායයන්ය. ජීව විද්‍යාඥයන් විසින් ජීවයේ ආරම්භය හා විකසනය වූ අයුරු ගැනත් ඉදිරියට ජීවයේ සිදුවිය හැකි යම් යම් වෙනස්කම් පිළිබඳවත් කරුණු කාරණා හා අදහස් උදහස් පළ කර තිබේ. 


න්‍යායයන්ට අනුව අවුරුදු බිලියන 15 කට පෙර විශ්වය කුඩා අංශු සමූහයක් පමණක් විය. මෙය පුංචි ඇණයක හිසක් තරම් කුඩාය. විශ්වයේ ඇති සියලුම දේ එනම් සියලුම මන්දාකිණි, තරු, ග‍්‍රහලෝක පමණක් නොවේ අපේ සිරුරු තැනී ඇති පදාර්ථ පවා මේ පුංචි අංශු සමූහයේ සිරවී තිබිණි. කාලාන්තරයක් ගතවෙද්දී මේ අංශු සමූහය පුපුරා ගියේය. මෙය මහා පිපිරුම’ ලෙස හැඳින්වෙයි. මෙහිදී නිකුත් වූ සිතාගන්න බැරි තරමේ අධික තාපයත් බලයත් හේතුවෙන් විශ්වය නිර්මාණය විය. තවත් වසර බිලියන ගණනකට පසු අද අපට දකින්න ලැබෙන විශ්වය නිර්මාණය විය. සෙමින් සෙමින් තරු සහ ග‍්‍රහලෝක නිර්මාණය විය. විශ්වය ඇති වූයේ දැවැන්ත ඝන වස්තුවක් මහා පිපිරුමකට ලක්වීමෙනැයි මතය ලොවට හෙළි කරනු ලැබුවේ, 1931 දී බෙල්ජියන් තාරකා විද්‍යාඥයකු වූ ජෝර්ජ් ලෙමේට්‍ට්‍රි (1894-1966) විසිනි. එය 1950 දී තහවුරු කළ බ්‍රිතාන්‍ය තාරකා විද්‍යාඥයකු වූ ෆ්‍රෙඩ් හොයිල් විසින් “බිග් බෑන්” ලෙස නම් කළේය. 


මේ අතර ක්ෂීරපථය නමින් හැඳින්වෙන මන්දාකිණිය මැද මධ්‍යම ප‍්‍රමාණයේ කහපැහැති තරුවක් නිර්මාණය විණි. මේ අපේ සූර්යයායි. ඒ වටා ග‍්‍රහලෝක නිර්මාණය විය. පෘථිවිය එයින් එකකි. දැනට සොයා ගෙන ඇති අන්දමට පෘථිවියේ වයස වසර මිලියන 4,700 ක් (බිලියන 4.7 ක්) පමණ වේ. එදා අපේ පෘථිවිය අදට වඩා බෙහෙවින් වෙනස්ය. ලස්සන නිල් අහසක්, සාගරවත් හා හරිත වර්ණයෙන් සමන්විත ගහකොළ එදා නොතිබිණි. එදා දකින්න තිබුණේ රතු සහ තැඹිලි වර්ණයන් පමණක් විය හැක. ඊට හේතුව පෘථිවි පෘෂ්ඨය වැසී තිබුණේ උණු ලාවා සාගරවලින් වීමයි. ආදි යුගයේ පෘථිවි වායුගෝලය අද පවතින වායුගෝලයට වඩා බෙහෙවින් සරල වූවක් විය. එහි ඔක්සිජන් රහිත විය. වායුගෝලය විෂ වායුවල මිශ‍්‍රණයක් විය. 


පළමු වසර මිලියන 500 පුරාම පෘථිවිය ජීවයෙන් තොර ලාවා බෝලයක් පමණක් විය. තවත් වසර මිලියන 300 ක් ගත වෙද්දී තාපය කොතරම් ප‍්‍රබල වී ද කීවොත් දියර දියරමය තත්වයෙන් පැවතිය නොහැකි තත්වයක් උදාවිණි. සිතාගන්නවත් බැරි තරමේ මිලියන 800 ක් තරම් දීර්ඝ කාලයකට පසු වසර බිලියන ගණනක් උණු වූ ලෝහ සහ පාෂාණ ආදී ද්‍රව්‍ය සහිත ගිනි බෝලයක් මෙන් සූර්යයා වටා භ‍්‍රමණය වෙමින් තිබූ පෘථිවියේ පෘෂ්ඨය ක්‍රමයෙන් නිවී සිසිල් විය. ඉන්පසු දියර දියර තත්වයෙන් පැවතිය හැකි විණි. හැම තැනකටම වැසි ඇදහැළෙන්න පටන් ගැනින. වසර මිලියන ගණනාවක් පුරා නොකඩවා ඇදහැළුණු අනෝරා වැසිවලින් පෘථිවියේ පහළ ප‍්‍රදේශ ජලයෙන් පිරී මුහුදු හා විල් පොකුණු නිර්මාණය විය. 


ඒ වනවිටත්, පෘථිවිය නිසරු බවෙන් පිරි, ජීවයෙන් තොර ජලයෙන් හා පාෂාණවලින් පිරුණු පෘෂ්ඨයක් සහිත සූර්යයා වටා ගමන් කරන ග‍්‍රහලොවකි. වායුගෝලය කාබන් මොනොක්සයිඩ්, කාබන් ඩයොක්සයිඩ්, නයිට‍්‍රජන්, හයිඩ‍්‍රජන් සල්ෆයිඩ්, මීතේන් සහ සයනයිඩ් වැනි විෂ වායුවලින් පිරී තිබුණු මෙය අතර ජීවීන්ට හිතකර වායුගෝලයක් නොවීය. මේ නිසරු ග‍්‍රහලොව අද අපට දකින්න ලැබෙන ජීවයෙන් පිරි සාරවත් ලෝකය බවට පරිවර්තනය වූයේ කෙසේද? ජීව විද්‍යාඥයන්ට පවසන්නේ මෙය පරිණාමයේ ප‍්‍රතිඵලයක් හේතුවෙන් සිදුවූවක් බවය. 


ආරම්භයේ දී පෘථිවියේ ඉපැරණි සාගරවල ජීවීන් නොසිටියත් ජීවය පැවැතීමට අවශ්‍ය රසායන ද්‍රව්‍ය තිබිණි. මේ රසායන ද්‍රව්‍ය සජීවී දේවල් නොවේ. ඒවා පෘථිවි සාගරවල විසිරී පැවැතිණි. මෙය පෝෂ්‍ය පදාර්ථවලින් සරුවූ ප‍්‍රාථමික සූපය’ යන නමින් විද්‍යාඥයෝ හඳුන්වති. ඇමයිනෝ අම්ල, ප්‍රෝටීන, ලිපිඩ සහ ජීවය බිහිවීමට අවශ්‍ය මූලික සාධක මේ සූපයේ අඩංගු විණි. මේ නිසා ජීවය පහළ වීමට සුදුසු තත්වයක් නිර්මාණය වූයේ ඉපැරණි මහා සාගරවල ඒවායේ වෙරළවල සහ නොගැඹුරු මහා ජලාශවලයි. මෙම ජලාශ ජීවය නිර්මාණයට දායක වූ ප‍්‍රාථමික සූපයෙන් පිරී තිබිණි. ප‍්‍රාථමික සූපය’ පිළිබඳ අදහස ඉදිරිපත් කළේ තෝමස් හක්ස්ලි, රුවල් කාසන්, ජේ.බී.එස්. හෝල්ඩින් සහ ඒ.අයි. ඔපරින් යන විද්වතුන්ගේ එකමුතුවෙනි. 


ජීවය නිර්මාණයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වසර මිලියන ගණනාවක් පුරා මෙසේ ජලයේ විසිරී පැවතිණි. ඒවායින් පළමු සෛල නිර්මාණය වූයේ අකුණු සැර වැදීම් හේතුවෙන් යැයි විද්‍යාඥයෝ අනුමාන කරති. මෙම සෛල පසුව සත්ව හා ශාක සෛල බවට පත්විණ. මුලින්ම ජීවය පහළ වූයේ මුහුදෙනි. ඒ වසර බිලියන ගණනකට පෙරයි. මනුෂ්‍යයා පහළ වීමට පෙර මුලින් ම බිහිවූයේ ක්ෂුද්‍රජීවී ශාකයි. මේවා දැකගත හැක්කේ අන්වීක්ෂයක් හරහා පමණි. මේ ක්ෂුද්‍ර ශාක එකිනෙකා ආහාරයට ගත්හ. මුලින්ම බිහිවූ සත්වයන් ලෙස සැලකෙන්නේ මේ ජීවීනුයි. මේ සත්වයින් හා ශාක ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වීමට පටන් ගැනිණ. 


ලෝකයේ ආදීතම ජීවියා වසර බිලියන 3,100 ක් තරම් පැරණි පොසිල බැක්ටීරියාවක් බව හඳුනාගෙන ඇත. ජීව විද්‍යාඥයින්ට උනන්දුවක් හා කුතුහලයක් ගෙනදුන් ගැටලුවක් වූ පෘථිවි ජීවයේ රහස සනාථ කිරීමට මෑත යුගයේ එක් විද්‍යාඥයෙක් සමත්විය. වර්ෂ 1985 දී දණ්ඩක් ආකාරයේ බැක්ටීරියාවක් සේ සිතිය හැකි පොසිලයක් දකුණු අප්‍රිකාවේ සොයාගත් මොහු හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ එල්සෝ බර්ග්හුන් ය.

මොහු මේ පොසිල බැක්ටීරියාව පරීක්ෂණයට ලක් කරන ලදී. එමගින් ලද ප‍්‍රතිඵලවලින් පෙනී ගියේ මෙම බැක්ටීරියාව වසර මිලියන 3,100 ක් පමණ වන බවය. එල්සෝ මෙන්ම අනෙක් විද්‍යාඥයන්ගේත් අදහස වන්නේත් මෙම බැක්ටීරියාව පොසිලයක් බවට පත්වුවත් එකල ඔක්සිජන් රහිත ජලයේ හෝ මඩ වගුරක් වැනි පරිසරයක උපත ලබන්නට ඇති බවයි. මීට අවුරුදු දශලක්ෂ පන්සිය හතළිස් දෙකකට පෙර ජීවත් වූ සතෙකුගේ සලකුණක් කැනඩාවෙන් සොයා ගෙන ඇත. සෙන්ටිමීටර 4ත් 7ත් අතර දිගකින් යුත් මෙම සතා ජීවත් වී ඇත්තේ මුහුදු පතුලේ ය. මේ සතාට ආහාර ගැනීමට මුඛයක් සහ ඇස් පහක් පිහිටා තිබිණි. සතා හැඳින්වෙන්නේ ‘ඔපබීනියා’ යනුවෙනි. 


ස්තුතිය - නාසා ආයතනයට

සටහන : 
ලු‍සිත ජයමාන්න