කර්මාන්තශාලාවල භාවිත වන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ශක්තිය ලබාගැනීමට, ඩීසල්, දැවි තෙල් හෝ විදුලිය සඳහා අති විශාල මුදලක් වාර්ෂිකව වැය කිරීමට කර්මාන්තකරුවන්ට සිදු වන අතරම, පොසිල ඉන්ධන භාවිතය නිසා සිදු වන පරිසර දූෂණය ද ඉහළ මට්ටමකට පවතී. එසේම, මේ සඳහා භාවිත වන ඉන්ධන සඳහා රටක් ලෙස විදෙස් රටවලට ගෙවන ඩොලර් ප්‍රමාණය ද අතිවිශාලය.
නමුත්, මෙම ගැටලුවට විසඳුමක් සපයමින් කර්මාන්තවල ශක්ති ජනනය සඳහා වැය වන පිරිවැය අවම කරමින්, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සාර්ථක නවෝත්පාදන ව්‍යාපෘති රටට හඳුන්වා දෙමින් සුවිශේෂී සේවයක් සිදු කරන ඉංජිනේරු වෘත්තිකයන් දෙදෙනෙක් අපට මුණගැසුණහ.
ගයා සිරිවර්ධන හා අජන්ත මුහන්දිරම් නම් මෙම පුද්ගලික ඉංජිනේරුවන් දෙදෙනා විසින් මීට වසර 14කට පෙර අරඹන ලද මැක්ස්තර්ම් ලංකා සමාගම මගින්, කර්මාන්තකරුවන් සඳහා පරිසර හිතකාමි හා ඉන්ධන කාර්යක්ෂමතාවෙන් ඉහළ ව්‍යාපෘති රැසක් හඳුන්වා දීමෙන් ඩොලර් සංචිත විදෙස් රටවලට ගලා යාම වැළැක්වීමට ද සමත්ව තිබේ.
මේ එම පරසර හිතකාමි ව්‍යාපෘති පිළිබඳව ඔවුන් සමග කළ සංවාද සටහනකි.
“අපි අපේ ආයතනය මීට වසර 14කට පෙර ආරම්භ කළේ ප්‍රධාන වශයෙන් තාපන යෙදුම් සඳහා කාර්යක්ෂම හා තිරසාර තාප බලශක්ති විසඳුම් ලබා දීම මගින්, කර්මාන්ත ක්ෂේත්‍රයට මෙහෙවරක් සිදු කිරීම අරමුණු කරගනිමිනුයි. සංකල්පයේ සිට ක්‍රියාත්මක කිරීම දක්වා සෑම අදියරක්ම කළමනාකරණය කරමින්, වාෂ්ප බොයිලේරු සහ උණු වතුර උත්පාදක ස්ථාපනයන් ඇතුළු තාප බලශක්ති ව්‍යාපෘතිවල අවසානය දක්වා බෙදාහැරීම අපි සිදු කරනවා.”
“ගෙවුණු කාලය තුළ අපි තේ, රබර්, ඇඟලුම්, ආහාර සහ පාන වර්ග, සීනි සහ ස්කාගාර ඇතුළු පුළුල් පරාසයක කර්මාන්ත වෙනුවෙන් අපගේ සේවය ලබා දී තිබෙනවා. අපගේ අවධානය සැම විටම යොමු වී ඇත්තේ පොසිල ඉන්ධන මත යැපීම අඩු කිරීම සඳහා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ඒකාබද්ධ කිරීමෙන් තිරසාර බලශක්ති පද්ධති ලබා දීමත් එමගින් ඩොලර් පිටතට ගලා යාම සීමා කිරීම සහ ජාතික බලශක්ති ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීමත් සඳහායි.”
තිරසාරභාවය සඳහා කැපවීම
“අපි අඩු කාබන් තාක්ෂණයන් ප්‍රවර්ධනය, පුනර්ජනනීය බලශක්ති භාවිතය ප්‍රවර්ධනය, බලශක්ති කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සහ බලශක්ති ඉල්ලුම අඩු කිරීම සඳහා හැසිරීම් වෙනස්කම් දිරිමත් කිරීම සිදු කරනවා. අප නිපදවා ඇති පද්ධති බලශක්ති සංරක්ෂණය සඳහා පමණක් නොව, අඩු විමෝචනය, ජල දූෂණය සහ ඝන අපද්‍රව්‍ය හරහා සිදු වන පාරිසරික බලපෑම අවම කිරීමට ද කටයුතු කරමින් තිබෙනවා.”
රටට ඩොලර් මිලියන 600ක ඉතිරියක්
“බොයිලේරු ක්ෂේත්‍රයේ වසර 30ක අත්දැකීම් හා බලශක්ති ක්ෂේත්‍රයේ අත්දැකීම් සමග බොයිලේරු අපේ රටට ගැළපෙන ලෙස නව්‍යකරණය කරමින් උපරිම කාර්යක්ෂමතාවෙන් ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව නිසි දැනුමක් අපට තිබෙනවා. බොයිලේරු කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අප විසින් නිරන්තරයෙන් අත්හදා බැලීම් හා පර්‌යේෂණ සිදුකරනු ලබනවා. විශේෂයෙන් ජෛව ස්කන්ධ කිලෝවකින් වාෂ්ප කිලෝ 4කට අධික ප්‍රමාණයක් ලබා දීමට හැකිව තිබෙන්නේ අපගේ අත්හදා බැලීම්වල ප්‍රතිඵල ලෙසයි. අප බොයිලේරුවක් නිපදවන විට, ලංකාවේ පරිසර පද්ධතිය, ක්‍රියාකරුවන්ගේ ආකල්ප, දැනුම, පහසුවෙන් ලබාගත හැකි ඉන්ධන ගැන අවධානය යොමු කර තමයි නිෂ්පාදනය කරන්නේ. කිසිදු රාජ්‍ය අනුග්‍රහයක් නැතත් අපි මේ වන විට ඉන්ධන සඳහා විදෙස් රටවලට ඇදී යාමට තිබූ ඩොලර් මිලියන 600කට අධික මුදලක් රට තුළ ඉතිරි කිරීමට අප මේ වන විට සමත්ව තිබෙනවා. මේ සඳහා අප නිරන්තර අත්හදා බැලීම් හා පරිසර හිතකාමි ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීම සිදු කරනු ලබනවා වගේම තවත් ව්‍යාපෘති කිහිපයක් මේ වන විට පර්‌යේෂණ මට්ටමේ පවතිනවා.”
2016 හොඳම තාක්ෂණික සම්මානය දිනාගත් අවස්ථාව
හිරු එළියෙන් වාෂ්ප
“අපගේ නවතම ව්‍යාපෘතිය වන්නේ සංකේන්ද්‍රගත හිරු එළියෙන් වාෂ්ප නිපදවීමේ ව්‍යාපෘතියයි. මේ සඳහා අප භාවිත කළේ අත් කාචයක් යොදා හිරු එළියෙන් ගින්දර ලබාගැනීමේ ක්‍රමවේදයයි. මෙහිදී විශාල තල දර්පන යොදා ගනිමින් සංකේන්ද්‍රගත හිරු එළිය පරාවර්තනය කර එමගින් වාෂ්ප නිපදවීම සිදු කරනවා. මේ වන විට මෙහි අත්හදා බැලීම් සාර්ථක වී තිබෙනවා. ලබන වසරේදී කර්මාන්තශාලා සඳහා මෙම ක්‍රමවේදය හඳුන්වා දීමට අපේක්ෂා කරනවා. විශේෂයෙන් හොඳින් හිරු එළිය පවතින ප්‍රදේශවල ඇඟලුම් කර්මාන්ත සඳහා මෙම ක්‍රමවේදය බෙහෙවින් යොදාගත හැකි වනවා. එමගින් කර්මාන්තශාලාවේ යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට වැය වන මුදල විශාල ලෙස ඉතිරි කරගත හැකි වනවා වගේම රටින් පිටට යන ඩොලර් විශාල ප්‍රමාණයක් නවතාගත හැකි වනවා.”
ජෛව ඉන්ධන භාවියෙන් තේ වියළීම
“තේ කර්මාන්තශාලාවල දර කිලෝ 1ක් දවා තේ කිලෝ 2කට අධිකව ලබාගත හැකි බොයිලේරු මේ වන විට අපි නිපදවා තිබෙනවා. මෙහි සම්මත තත්ත්වය ලෙස සැලකෙන්නේ ජෛව ස්කන්ධ (දර, දහයියා, ලී කුඩු, රබර් ඇට, කජු පොතු, කුරුම්බා කෝම්බ, වැල් වැනි) කිලෝවකට තේ කිලෝ 1ක් ලෙසයි. නමුත් අප එය අතික්‍රමණය කර ඉතා උසස් තත්ත්වයේ තේ කිලෝ 2කට අධිකව නිපදවන මට්ටමට පැමිණ තිබෙනවා. මෙමගින් ඉන්ධන හෝ විදුලිය සඳහා යන වැය බරින් සැලකිය යුතු ප්‍රමාණයකින් කර්මාන්තකරුවා නිදහස් කර තිබෙනවා.
ජෛව ඉන්ධන භාවිතයෙන් සම්ප්‍රදායික තේ කර්මාන්තශාලාවක තේ කිලෝවක් වියළීමට රුපියල් 41ක් පමණ වැය වුණත් ජෛව ඉන්ධන භාවිත කරන පරිසර හිතකාමි අපගේ බොයිලේරුවකින් තේ කිලෝවක් නිපදවීමට වැය වන්නේ රුපියල් 10කට අඩු මුදලක්. අපගේ තාක්ෂණයෙන් තේ කර්මාන්තශාලාවකට ඉන්ධන වියදම අවම වීම මත ලැබිය හැකි ලාභය මෙමගින් ගණනය කරගත හැකියි. උදාහරණයක් ලෙස, රාගල ලිලෙස්දේල් තේ කර්මාන්තශාලාව, ඇල්පිටිය රෂෝටා තේ කර්මාන්තශාලාව, මල්වත්ත වැවිලි සමාගමේ කර්මාන්තශාලා සමූහය තුළ මෙම ක්‍රමවේද ප්‍රායෝගිකව භාවිත කරනු ලබනවා.”
චක්‍රීය ආර්ථිකයට ශක්තියක් වීම
“කර්මාන්තශාලාවල එකතු වන අපජලය පිරිපහදු කිරීමට ලක් කිරීමේදී ලැබෙන අතුරු ප්‍රතිඵලයක් වන රොන්මඩ වැනි අවශේෂ කොටස් (Sludge) වැනි දෑ ඉන්ධන ලෙස භාවිත කිරීම අපගේ තවත් ව්‍යාපෘතියක්. මෙම රොන් මඩ තුළ පවතින කාබනික කොටස බලශක්තිය නිපදවීම සඳහා භාවිත කිරීමේ ව්‍යාපෘතියක් අප විසින් අරඹා තිබෙනවා. මේ වන විට මහා පරිමාණ කර්මාන්තශාලා විසින් සිමෙන්ති කර්මාන්තශාලාවලට මෙම රොන්මඩ යවා බැහැර කිරීම සිදු කළත් ඒ සඳහා ප්‍රවාහන වියදම හා බැහැර කිරීමේ ගාස්තු ගෙවීමට සිදු වනවා. ඒත් එක්කම ප්‍රවාහනයට යොදා ගන්නා වාහනවලින් පිට වන දුම්වලින් පරිසර දූෂණයකුත් සිදු වනවා.
නමුත් අප විසින් කර්මාන්තශාලාව තුළම මෙම රොන්මඩ බලශක්තියක් ලෙස යොදා ගැනීම සිදු කළොත් විශාල මුදල් ඉතිරියක් සේම පරිසරයට සිදු වන අහිතකර බලපෑමත් අවම කරගත හැකි වනවා.
මේ ක්‍රමවේදය කර්මාන්තශාලාවෙන් කර්මාන්තශාලාවට යොදා ගත්තොත් එමගින් සිදු වන මුදල් ඉතිරිය අති විශාලයි. පරිසර දූෂණත් විශාල ප්‍රමාණයකින් පාලනය කරගත හැකි වනවා.
ජලය භාවිත වන ඕනෑම කර්මාන්තශාලාවකට මෙම ක්‍රමවේදය යොදා ගෙන රොන්මඩ පිලිස්සීම හරහා ලබාගන්නා බලශක්තියෙන් බොයිලේරු ක්‍රියාත්මක කළ හැකියි. එසේම ආයෝජන කලාපවල පවතින මධ්‍යගත අපජල පිරිපහදු තුළ මෙම ක්‍රමවේදය ඉතා හොඳින් ක්‍රියාත්මක කළ හැකියි.
මෙම රොන්මඩ දහනය සඳහා Incinerator නම් උපාංගය යොදා ගෙන මධ්‍යම පරිසර අධිකාරියේ සම්මත නියමයන් අනුව භාවිත කළ යුතු උෂ්ණත්වය යටතේ දහනය කර ලබාගන්නා වාෂ්ප කර්මාන්තශාලාවේ බොයිලේරු සඳහා භාවිත කරනු ලබනවා.”
ප්ලාස්ටික් අපද්‍රව්‍ය මගින් තාප විච්ඡේදක ඉන්ධන නිපදවීම (Bio Oil /Pyrolysis Oil)
“ඉවතලන ප්ලාස්ටික් බෝතල්, ෂොපින් උර, කැඩී බිඳී ගිය ප්ලාස්ටික් උපාංග මේ වන විට අපේ පරිසරයට මුදාහැරීම තුළ විශාල පරිසර හානියක් සිදුව තිබෙනවා. මීට විසඳුමක් ලෙස හා මේවා ඵලදායි කටයුත්තකට යොදා ගැනීමේ අරමුණින් අප විසින් ඇරැඹූ තවත් ව්‍යාපෘතියක් වන්නේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය මගින් දැවි තෙල් නිපදවීමේ ක්‍රමවේදයයි. මෙහිදී ප්ලාස්ටික් දහනය කර එමගින් ලබාගන්නා ගෑස් මගින් දැවි තෙල් නිපදවීම සිදු කරනු ලබනවා. එම දැවි තෙල් බොයිලේරු ක්‍රියා කරවීම සඳහා යොදාගත හැකියි. එසේම, මෙහි අතුරු ඵලයක් ලෙස ලැබෙන කාබන් බ්ලැක්, ටයර් නිෂ්පාදනය කිරීමේදී වර්ණකයක් හා ශක්තිමත් කිරීම සඳහා යොදාගන්නා අමුද්‍රව්‍යයක් ලෙස යොදාගත හැකියි.”
දහයියා, ලී කුඩු සහ කඩදාසිවලින් වාෂ්ප සැකසීම
“මීට අමතරව සහල් කර්මාන්තශාලාවල එකතු වන දහයියා, දැව භාණ්ඩ නිෂ්පාදනයේදී ඉතිරි වන ලී කුඩු හා කඩදාසි කර්මාන්තශාලාවල ඉවතලන කඩදාසි කොටස් ඉන්ධන ලෙස උපරිම කාර්යක්ෂමතාවකින් යුතුව බොයිලේරු ඉන්ධන වශයෙන් යොදා ගැනීමට අදාළ නව අත්හදා බැලීම් අප මේ වන විට සිදු කර ඉන් ඉහළ ප්‍රතිලාභ කර්මාන්තකරුවන්ට ලබා දීමට කටයුතු කර තිබෙනවා.”
කාර්යක්ෂමතාව ඉහළ නැංවූ ජෛව ස්කන්ධ බොයිලේරුවක්
ජෛව ස්කන්ධ මගින් වාෂ්ප නිපදවා අලෙවි කිරීම
“මෙරට කර්මාන්තශාලාවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, වියදම් පාලනය සහ පරිසරය සුරැකීම හා රටට ඩොලර් ඉතිරි කර දීම වෙනුවෙන් සුවිශේෂී ව්‍යාපෘතියක් අපි අරඹා තිබෙනවා. මෙහිදී අපි Build, Own, and Operate (BOO) ආකෘතිය යටතේ සේවාවක් ලෙස ජෛව ස්කන්ධ වාෂ්ප (Biomass Steam) හඳුන්වා දීම සිදු කළා. මෙමගින් කර්මාන්තවලට පූර්ව ප්‍රාග්ධන ආයෝජන බරකින් තොරව විශ්වාසදායක, පරිසර හිතකාමි වාෂ්ප උත්පාදනයෙන් ප්‍රතිලාභ ලබාගැනීමට හැකියාව ලැබෙනවා. කර්මාන්ශාලාවට අවශ්‍ය වාෂ්ප සැපැයුම පිළිබඳව සම්පූර්ණ වගකීම අපි භාර ගන්නවා. මෙහිදී අපි අපගේ විශේෂඥ ඥානය, වෘත්තීයමයභාවය සහ නිසි අවධානයෙන් උපයෝගිතා සේවා කළමනාකරණය සිදු කරන නිසා කර්මාන්තකරුවන්ට ඔවුන්ගේ මූලික ව්‍යාපාරය කෙරෙහි අවධානය යොමු කිරීමට ඉඩ ලැබෙනවා. වර්තමානයේ, Maxtherm ආයතනයේ බොයිලේරු සමූහය හරහා මාසිකව වාෂ්ප කිලෝග්‍රෑම් මිලියන 3.5කට අධිකව නිපදවා කර්මාන්තකරුවන් වෙත අලෙවි කරනු ලබනවා.”
සම්මානයට පාත්‍ර වීම
“සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් පිරිනමන හොඳම තාක්ෂණික සපයන්නා ලෙස 2016දී රන් සම්මානය දිනාගැනීමට හැකි වුණා. ඒ වගේම 2014 දී එහි ලෝකඩ පදක්කමත්, 2017 දී එහි රිදී පදක්කමත් දිනාගැනීමට සමත් වුණා. අපි සම්මාන ගැන හිතලා වැඩ කරන්නේ නෑ. මේ වනතෙක් අප රටට සිදු කළ සේවයෙන් ඩොලර් මිලියන 600කට අධිකව රටට ඉතිරි කර දීමට සමත්ව තිබීම තුළ රටට ලැබුණු ප්‍රතිලාභය, කර්මාන්තකරුවන්ට වැඩි ලාභයක් ගැනීමට හැකි වීම හා ගුණත්වයෙන් ඉහළ නිෂ්පාදනයක් බිහි කිරීමට හැකි වුණා. අපගේ සේවාව සිදු කිරීමට කිසිදු රාජ්‍ය අනුග්‍රහයක් හිමි නොවුණත් අපගේ ආත්ම තෘප්තිය හා අපේ යුතුකමක් ලෙස හා රටට යමක් කළ යුතුය යන හැඟීමෙන් තමයි අප සිදු කරන්නේ.”
නිරෝෂාන් ප්‍රේමරත්න