අනේ .. සකුණ අයියේ ..ඔයත් නැති උනොත් මට කවුද ඉන්නේ?


නිත්යාගේ අතේ ග්‍රහණයට හසු වූ අත රිදුම් දුන්නත් දිනේෂිගේ සිතට දැනුණ බිය හා පුදුමය විසින් ඒ රිදුම යටපත් කරනු ලැබිණි. ඇය කෝපයෙන් පිපිරෙන මේ උසස් පෙළ සිසුවිය දෙසත්, ඇගේ යෙහෙළිය දෙසත් මාරුවෙන් මාරුවට බැලු‍වාය. සකුණ තමාගේ ළඟම අසල්වැසියාය. හොඳම හිතවතාය. ඔහු සමඟ කතා කිරීම වෙනුවෙන් නිත්යාට ඇය සමඟ කෝප වෙන්නට කිසිදු සාධාරණ හේතුවක් නොවිණි. ලොකු මල්ලී නම් කෝප වූයේ දිනේෂිට ගමේ යම් පදයක් හැදෙනු ඇතැයි බිය නිසාය.

“කතා කරනවා ඉතින්.. මොනවද සකුණ එක්ක ඔච්චර වෙලා කියෙව්වෙ.?” 


නිත්යා නැවතත් අතේ ග්‍රහණය දැඩි කරමින් අසද්දී දිනේෂි තුළත් කෝපයක් උපන්නේ අනෙක් හැම හැඟීමක්ම යටපත් කරවමිනි. ඇය උසස් පෙළ පන්තියක, ධනවත්කමින් ඉහළ මෙන්ම ජනප්‍රිය සිසුවියක වීමවත්, තමාගේ තාත්තා ඇගේ තාත්තාගේ ලොරියක රියැදුරා ලෙස සේවය කිරීමවත් තවදුරටත් ඇයට වැදගත් වූයේ නැත. කොහොමත් තාත්තා කියා තිබෙන්නේ තමා වරදක් නොකරන තාක්කල් අනෙක් අයගේ බලපෑම්වලට යටත් නොවන ලෙසය. 
“අක්කා.. මගෙ අත අතාරින්න.. මට රිදෙනවා..” 


දිනේෂි මොන තරම් දැඩි හඬින් එලෙස කීවේ ද යත්, නිත්යා පමණක් නොව මිතුනිත් තිගැස්සුණාය. ඉන් අතේ ග්‍රහණය ද ලිහිල් විණි. ඉතා පහසුවෙන් සිය අත මුදා ගත් ඇය ඔවුන්ගෙන් අඩි දෙකක් පමණ ඈත් වී දෑත පපුවේ බැඳගෙන සිට ගත්තේ ඔවුන්ට අභියෝග කරන්නාක් මෙනි. තවදුරටත් ළමයෙකු නොවූවත් යොවුන් වියට උරුම පිරිපුන් බව දිනේෂිට ලැබී තිබුණේ නැත. එම නිසාම ඇය පෙර සිටි කැහැටු කෙල්ලම වූවාය. එහෙත් වයසට ඔරොත්තු නොදෙන තරම් දුක් ඉහිලීම නිසාදෝ ඇගේ සිත යෝධයෙකු තරමට ශක්ති සම්පන්න වී තිබිණි. උසස් පෙළ පන්තියේ සුන්දර, පුෂ්ටිමත් කෙල්ලන් දෙදෙනාටත් එය ඉව වැටිණි. මෙවන් පොඩි කෙල්ලක සමඟ ගැටී පරාජය වෙනවාට වඩා මෙතැනින් පලා යාම යෙහෙකැයි මිතුනි සිතුවත් ක්‍රෝධයෙන් ගිනි ගනිමින් තිබූ නිත්යාගේ සිතේ කිසිදු යහපත් සිතුවිල්ලකට ඉඩ වෙන් වී තිබුණේ නැත. සිතෙන් පිට වී එන්නට ඒ ගින්නට හැකියාවක් ලැබුණේ නම් එක තත්පරයකදී දිනේෂි එහෙම පිටින්ම අළු වී යනවා නොඅනුමානය. 


“සකුණ අයියා එක්ක විතරක් නෙමෙයි මේ ඉස්කෝලේ ඕනම පිරිමි ළමයෙක් එක්ක කතා කරන්න මට කාගෙන්වත් අවසර ඕනැ නෑනෙ අක්කෙ.. ඒ වගේම තමයි එයාලා එක්ක කතා කළේ මොනවද කියලා අනිත් අයට කියන්න මම බැඳිලත් නෑ..” 
දිනේෂි සන්සුන් වුවත් අමිහිරි හඬකින් පැවසුවේ ඔවුන් තිගස්වමිනි. ඔවුන් කිසිම දිනෙක මෙවන් අලකලංචියකට මුහුණ පා නොතිබිණි. මිතුනි නොසන්සුන්ව වටපිට බැලු‍වත් නිත්යාට නම් පරාජය බාර ගෙන ඉවත්ව යන්නට සිතුණේ නැත. 


“පේනවද මේ කෙල්ලගෙ තියෙන අහංකාරකම..? තමුසෙ ඔය සකුණගෙ පවර් එක අරන් ද කතා කරන්නෙ..?” 
නිත්යා දත්මිටි කමින් දිනේෂි වෙතට යන්නට පයක් ඉදිරියට තැබුවත් මිතුනි වහා යෙහෙළියගේ බාහුවෙන් අල්ලා ගත්තාය. මේ අවස්ථාවේදී අර කැහැටු කෙල්ල සුළු කොට තැකිය නොහැකි බැව් ඇයට අවබෝධ විණි. මොන තරම් දුබලයෙකු වුව ද කෝපය හෝ ශෝකය වැනි චිත්තාවේගයන් හමුවේ හැසිරෙන්නේ කිහිප දෙනෙකුගේ ශක්තිය ලැබුණ කලෙක මෙනි. සිටින ඉරියව්ව අනුව ඇය නිත්යාට පහර දෙන්නට වුවත් නොපැකිළෙනවා ඇත. එවන් සිදුවීමක් කෙළවර වන්නේ බොහෝ දෙනෙක් අවමානයට හා වේදනාවට ලක්වීමෙන් අනතුරුවය. 


“මට කතා කරන්න කාගෙවත් පවර් ඕනැ නෑ අක්කෙ.. හැබැයි මට පේන විදියට ඔයා සකුණ අයියගෙ පවර් එකට කෙළ ගිලිනවා.. ඒක තමයි ඔහොම කතා කරන්නෙ..” 
දිනේෂි කටේ තොලේ නොගෑවී උපහාසාත්මකව පැවසුවාය. සැබැවින්ම ඒ අදහස ඇගේ සිතට නැගුණේ ඉබේටමය. නිත්යාගේ මුහුණ එහෙම පිටින්ම අඳුරු වූයේය. 
“මොනවද තමුසෙ කිව්වෙ..?” 


ඇය නැවතත් දිනේෂි වෙත පනින්නට උත්සාහ කළත් මිතුනි වෑයමින් ඇය රඳවා ගත්තේ “විකාර නොකර යමන් පන්තියට.. දැන් ඉන්ටර්වල් ඉවර වෙන්නත් ළඟයි..” යනුවෙන් තරහින් කියමිනි. 
“අක්කෙ.. මගේ තාත්තා ඔයාගෙ තාත්තා ළඟ වැඩ කළාට මම ඔයාගෙ වැඩකාරයෙක් නෙමෙයි.. ඒ හින්දා මම කැමති නෑ මට ඔය විදියට කතා කරනවට..” දිනේෂි නැවතත් නොබියව කීවාය. 
“ඔහොම අහංකාර වෙන්න ගියොත් තමුන්ගෙ තාත්තටත් වැඩි කාලයක් අපේ තාත්තා ළඟ වැඩ කරන්න වෙන්නෙ නෑ..” 
මිතුනිගේ අවවාදාත්මක බැල්ම මඟ හරිමින් නිත්යා සැර කළාය. 


“තාත්තගෙ රස්සාවයි, ඔයාගෙ ප්‍රශ්නෙයි අතරේ කිසිම සම්බන්ධයක් නෑනෙ නිත්යා අක්කෙ.. ඔයා ඇහැව්වා මම මොනවද සකුණ අයියත් එක්ක කතා කෙරුවෙ කියලා.. ඒක මම ඔයාට කියන්න කැමති නෑ. හැබැයි සකුණ අයියා කියන්න කැමතිනම් මම ඒකට අකමැතිත් නෑ.. ඔයා ගිහින් එයාගෙන්ම අහන්නකො..” 
උසස් පෙළ සිසුවියකට නොව ඇගේම යෙහෙළියකට කියන්නාක් මෙන් කියාගෙන ගිය දිනේෂි වේගයෙන් ඔවුන් දෙදෙනා පසු කරමින් එතැනින් යද්දී නිත්යා ඇගේ පිටට පහරක් ගැසුවාය. 
“ආයෙ සකුණ එක්ක කතා කරන්න අපේ බිල්ඩින් එක පැත්තට ආවොත් මම බලා ගන්නම්..” 
ඇගේ තරවටු ස්වරයට බිය වෙනවා වෙනුවට දිනේෂිගේ දෙතොල සාවඥ සිනාවකින් විවර වූයේය. 
“මට සකුණ අයියා එක්ක කතා කරන්න ආයෙ ඒ පැත්තට එන්න ඕනැ වෙන්නෙ නෑ අක්කෙ.. අපේ වත්තෙ වැට ළඟට ගියාම කතා කරන්න පුළුවන්.. මොකද එයා ඉන්නෙ අපේ අල්ලපු ගෙදර.. හදිස්සි පණිවිඩයක් කියන්න තිබ්බ හින්දා මම අද ඒ පැත්තට ගියෙ.. යන්නම්..” 


කියාගෙන දිනේෂි එතැනින් යන්නට ගියාය. එවර නිත්යාගේ මුහුණ රතු වූයේ ලජ්ජාවෙනි. තමා ඉක්මන් වූවා වැඩි නොවේදැයි ඇයට සිතිණි. ඇය යෙහෙළිය දෙස හොරැහින් බැලු‍වාය. 
“දැන් හරිනෙ.. අඬුව තියෙද්දී අත පුච්චා ගන්නවා කියන්නෙ ඔය වගේ එව්වට තමයි.. දැන් ඔය කෙල්ල ඕක සකුණට කිව්වට පස්සෙ ඌ ආයෙ උදේට ගුඩ්මෝර්නින් කියන්නවත් මූණ බලන එකක් නෑ..” 
මිතුනි කෝපයෙන් කියද්දී නිත්යාගේ පපුවේ දැවිල්ලක් හට ගත්තේය. ඇය කලබල වූයේ නැවත කවදාවත් සකුණ තමන්ගේ මුහුණ නොබලනු ඇතැයි සිතුවිල්ලටය. මොන දේ කෙලෙස සිදු වුවත් සකුණ ගේ සිත දිනා ගැනීමේ අදහස ඇය කවදාවත් අත් හරින්නේ නැත. 
“ඒ කෙල්ල සකුණට කියයි ද බං..?” 


මෙතෙක් ඉහවහා ගොස් තිබූ කෝපාවේගය පහව ගොස් තිබූ බැවින් ඇය විමසුවේ බයාදු ස්වරයෙනි. මිතුනි රවා බැලු‍වාය. 
“සකුණට විතරක් නෙමෙයි ඒකි මුළු ඉස්කෝලෙටම කිව්වත් මම පුදුම වෙන්නෙ නෑ.. උඹ ඒ තරම් මැටි වැඩක් කළේ..” 


කියූ ඇය යන්නට ගියේ යෙහෙළියට ගල් ගැසී බලා සිටින්නට ඉඩ හරිමිනි. 
නිත්යාත්, මිතුනිත් ඉදිරියේ වහසි බස් දෙඩුවේ වී නමුත් සිය පන්තිය ආසන්නයට එද්දී දිනේෂිගේ සිතේ වූ දිරිය දිය වී ගියේ ගින්නට ළං කළ ඉටි පන්දමක් පරිද්දෙනි. තමා සකුණ සමඟ කතාබහ කිරීම සියලු‍ දෙනාටම ගැටළුවක් වූයේ මන්දැයි ඇයට සිතා ගන්නට නොහැකි වූයේය. ලොකු මල්ලී ඇයට බැණ වැදුණේය. පාර අද්දර සිට ඇය සකුණ සමඟ කතාබහ කරද්දී උඩහ ගෙදර ආච්චි විමසිලිමත් දෑසින් බලා සිටියාය. දැන් නිත්යා තරවටු කරන්නීය. 


“අනේ.. සකුණ අයියෙ.. ඔයත් නැති වුණොත් මට කවුද ඉන්නෙ..?” 
එසේ මුමුණා ගනිද්දී ඇගේ ඇස් කඳුළින් පිරුණේය. 
“මොකද දිනූ මේ ඇස්වල කඳුළු පුරවගෙන..? කවුරු හරි මොනවා හරි කිව්ව ද..?” 
කෑම කන්නට ඇය එන තුරු බලා සිටි සේනානි විමසුවේ මවිතයෙනි. නැතැයි අඟවන්නට දිනේෂි හිස සැලු‍වේ මේ සිද්ධිය කිසිවෙකුට නොකියන්නට සනිටුහන් කරගෙන සිටි බැවිනි.


ලබන සතියට....