අඬන්න එපා නංගී ඔය ඇස් වල කඳුළු දකින්න මම ආස නෑ


දිනේෂි කවදාවත් කාගේවත් දෙයකට ඇලු‍ම් කළේ නැත. තමන්ට ලැබී ඇත්තේ හොඳම දේවල් බැව් විශ්වාස කරන්නට අම්මාත්, තාත්තාත් විසින් ඇය පුරුදුපුහුණු කරනු ලැබ තිබිණි. එහෙත් සකුණ පිළිබඳව ඇය තුළ ඇති වූයේ මින් පෙර කවදාවත් ඇති නොවුණ ආකාරයේ තෘෂ්ණාවකි. නිත්‍යා ඔහුට අයිතිවාසිකම් කියමින් නපුරු ආකාරයට නොහැසිරුණේ නම් සමහර විට දිනේෂිට එසේ නොසිතෙන්නට ඉඩ තිබිණි. රූමත් වුවත්, ජනප්‍රිය වුවත්, ධනවත් වුවත් නිත්‍යාගෙන් පළ වුණේ ඉතාමත් පහත් ග්‍රාම්‍ය හැසිරීමකි. දයාබර සිතැත්තෙකු වන සකුණට එබඳු තැනැත්තියක නොගැළපෙන බැව් දිනේෂි කල්පනා කළාය.

“කේළම් කියලා කඩන්න තරම් ලොකු යාළුකමක් ඔයයි මායි අතරේ නෑනෙ..” 
සකුණගේ එම ප්‍රකාශයත් දිනේෂිගේ සිතට ලොකු සහනයක් විණි. 
ඔහු කිව්වත් නැතත් මේ සම්බන්ධයෙන් සේනානි සමඟවත් කතා නොකරන්නට ඇය ඉටාගෙන සිටියාය. අම්මා සම්බන්ධ රහස ලෙසින්ම මෙයත් සකුණටත් තමාටත් පමණක් සීමා විය යුතුය. 
අම්මා සමඟ කතා කළ යුතු බොහෝ දේවල් දිනේෂිට තිබිණි. එහෙත් එය කළ යුතු වූයේ ලොකු මල්ලීට රහසින් නිසා අවස්ථාවක් බලමින් දින ගණනාවක් කල්ගත කරන්නට ඇයට සිදු වූයේය. 


“මට අම්මත් එක්ක කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා සකුණ අයියෙ.. ඒත් ලොකු මල්ලී වැරදි විදියට හිතාගෙන ඉන්න හින්දා මට පහන ළඟට යන්න බයක් වගේ දැනෙනවා.. අනිත් එක මං යන වෙලාවට අම්මා ඉඳියි කියලා මට සහතික කරලම කියන්න පුළුවන්කමක් නෑනෙ..” 
ඇය දුක්ගැනවිල්ල කීවේ සකුණටය. පාසල් ඇරුණාට පසුව සසංක පන්සලටත්, නිසංක හා අනුෂි ආච්චිලාගේ ගෙදරටත් ගිය බැවින් ඇයට වැට මායිමේ ගස්වලට මුවා වී සකුණ සමඟ කතා කරන්නට බාධාවක් නොවිණි. ගස් ගොම්මන නිසා ඉදිරිපස පාරේ ගමන් කරන අයට හෝ වටපිට ගෙවල්වලට ඔවුන් පෙනුණේ නැත. 
“ඇයි ලොකු මල්ලී එහෙම හිතලා තියෙන්නෙ..?” 


සකුණ විමසුවේ බැරෑරුම් ස්වරයෙනි. 
“පිච්ච පඳුර ළඟ ඉඳලා අම්මා යනවා එයා දකින්න ඇති.. එයා හිතලා තියෙන්නෙ කවුරු හරි පිරිමියෙක් එතන ඉඳලා දුවගෙන ගියා කියලා..” 
ඇය සිනාසෙන්නට තැත් දරමින් කියද්දී සකුණගේ නළල රැළි වී මුවින් අව්‍යක්ත රාවයක් නිකුත් විණි. 
“ඕහ්.. එයා එහෙම හිතල ද..? එහෙනම් ඔයා පරිස්සම් වෙන එක හොඳයි..” ඔහු කීවේය. 
ලොකු මල්ලී කෙළින්ම චෝදනා කළේ සකුණට වුවත් ඒ බව කියන්නට දිනේෂි මැළි වූවාය. එය දැනගෙන සකුණ මඟ හැර ගියහොත් ඇය බොහෝ අසරණ වෙනවා නියතය. 
“දැන් මොනවද ඔයාට අම්මත් එක්ක කතා කරන්න තියෙන්නෙ..? නිත්‍යා ගැන කියන්න ද..?” 


සකුණ විමසද්දී දිනේෂිගේ මුහුණ වෙනස් වී ගියේය. ඇය තොල සපාගෙන මඳ වේලාවක් නිහඬව සිටියාය. මේ වේලාවේ ඔහු පාසලේදී දකින අභිමානවත් ශිෂ්‍ය නායකයා නොව ඇගේ හොඳම මිතුරා වූයේ වී නමුත් ඔහු දෙස සෘජුව බලන්නට තරම් දිරියක් ඇයට නොවිණි. ඒ ඇගේ සිතේ වූ අර තෘෂ්ණාබර හැඟීම පෙරට පැමිණි නිසාය. 
“එ.. එයා ගැන මට කතා කරන්න දෙයක් නෑ..” 


ඇය ගොත ගැසුවාය. ඔහුගේ දෙතොලේ උපහාසාත්මක සිනාවක් ඇඳිණි. 
“ඔයා ඉතින් මටත් බොරු කියනවනෙ දිනූ නංගි.. ඔයා හිතේ තියෙන හැමදේම අම්මත් එක්ක කතා කරනවා කියලා මම දන්නවනෙ..” 
“ඔව්.. මම එයා ගැන අම්මට කිව්වා.. එයා එයාගෙ තාත්තට කියලා අපේ තාත්තගෙ ජොබ් එක නැති කරයි කියලා මට බය හිතුණා.. අම්මා ඒකට මොනවා හරිම කරයි කියලා මට හිතුණා..” 
ඇය අවංකවම පැවසුවාය. 
“එහෙනං අම්ම ද දන්නෙ නෑ මිතුනි ලවා මට කියෙව්වේ නිත්‍යා ඔයත් එක්ක රණ්ඩු වෙනවා කියලා..” 
ඔහු කී කල ඇගේ මුව බොහෝ සතුටු සිනාවකට විවර වූයේය. 


“ඇත්තටම අයියෙ මමත් එහෙමම තමයි හිතුවේ.. මිතුනි අක්කගෙයි නිත්‍යා අක්කගෙයි යාළුකමේ හැටියට එයා කීයටවත් මගේ පැත්තට කතා කරන්නෙ නෑනෙ නැත්නම්..” 
“ඔයත් හෙණ චණ්ඩියෙක් නේද..? නිත්‍යාට ලොකු පාර්ට් එකක් දාලා තියෙන්නෙ..?” සකුණ විමසුවේ සිනාසෙමිනි. 
“අනේ නෑ අයියෙ.. මම එයත් එක්ක රණ්ඩු වෙන්න හිතුවෙවත් නෑ.. ඒත් මට තරහ ආවා.. දුකත් හිතුණා.. මම එයාට කිව්වා ඔයත් එක්ක තියෙන ප්‍රශ්න ඔයත් එක්ක බලා ගන්න.. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න කියලා.. ඇත්තටම මට මෙච්චර ප්‍රශ්න තියෙද්දී තවත් ඒවා පටලවා ගන්න ඕනැ කමක් නෑ අයියෙ.. අනිත් එක ඔයාගෙ නමට මොකක් හරි හානියක් වෙන දේකට මැදිහත් වෙන්න මට කොහෙත්ම ඕනැ කමක් නෑ..” 


ඇය හැඟු‍ම්බර ලෙස කියාගෙන ගියාය. ඇගේ ඇස්වලට කඳුළු පිරිණි. මොහොතක් ඇය දෙස බලා සිටි ඔහු පියවරක් ඉදිරියට තබා ගස් අතරින් අත දිගු කර හෙමිහිට ඇගේ හිස පිරිමැද්දේය. දිනේෂි තිගැස්සී ගියාය. එහෙත් ඔහුගේ ස්පර්ශය ඇය තුළ ඇති කළේ රැකවරණයක හා අයිතිවාසිකමක හැඟීමකි. තව දුරටත් ඔහු තමා බියපත් කරන ශිෂ්‍ය නායකයා ලෙස සලකන්නට ඇයට වුවමනාවක් නොවිණි. 
“අඬන්න එපා නංගී.. ඔය ඇස්වල කඳුළු දකින්න මම ආසා නෑ..” 
ඔහු මිමිණිල්ලක් බඳු හඬකින් කීවේය. 
“අයියෙ..?” 


බොහෝ සෙයින් මවිතයට පත් ඇය දෙනෙත් විදහා ඔහු දෙස බැලු‍වාය. ඔහු මෙවන් ස්වරයකින් කතා කරනවා කිසිදු දිනයෙක ඇයට ඇසී නොතිබිණි. ඇයගේ මවිතය දුරු කරන්නට මෙන් මඳ සිනාවක් පෑ ඔහු නැවතත් ගස් අතර මුවා වූයේය. 


“ඔව් ඇත්තටම.. කිසිම දවසක කිසිම දෙයක් වෙනුවෙන් අඬන්න එපා නංගී.. කඳුළකින් තවත් කඳුළක්ම මිසක් ලැබෙන වෙන කිසිම දෙයක් නෑ..” ඔහු පැවසුවේ දාර්ශනික හඬකිනි. 
දිනේෂිට අම්මා මෙනෙහි වූයේය. ඇය පිච්ච පඳුරට පැමිණි මුල්ම දිනයේ පැවසුවේ ඇය වෙනුවෙන් හඬා නොවැටී එදිනෙදා ජීවිතයට ශක්තිමත්ව මුහුණ දෙන ලෙසය. එහෙත් එවන් උපදෙසක් පිළිපැදීමේ අසීරුව දිනේෂි දැන සිටියාය. කුමන මොහොතේත් කඳුළු කැට තිබෙන්නේ දෙනෙත් අග එක්රොක් වූ ගමන්මය. ඇඟිලි තුඩක් ස්පර්ශ වූ සැණින් පවා ඒවා දිය ඇල්ලක් මෙන් කඩා වැටෙන්නට ඉඩ තිබිණි. ඇය දිගු සුසුමක් හෙළුවාය. 
“මීට පස්සෙ නිත්‍යා කතාවට ආවත් නොදැක්කා වගේ මඟෑරලා යන්න.. ඔයාලගෙ තාත්තගෙ වරදක් නැතුව එයාව ජොාබ් එකෙන් අස් කරන්න නිත්‍යට තියා නිත්‍යාගෙ තාත්තටත් බෑ.. ඒ හින්දා ඒක ගැන කරදර වෙන්න එපා..” ඔහු උපදෙස් දුන්නේය. 


ඇය හෙමිහිට හිස සැලු‍වාය. සකුණ කියන ඕනෑම වචනයක් සැක කිරීමකින් තොරව පිළි ගන්නට ඇය සැදීපැහැදී සිටියාය. 
“ඒ වගේම මතක තියා ගන්න, එදා මම නිත්‍යාට කිව්වෙ බොරුවක් නෙමෙයි.. උදේට හම්බ වුණාම ගුඩ් මෝර්නින් කියනවා ඇරෙන්න වෙන යාළුකමක් අපි අතරේ නෑ..” 
ඔහු කට කොනකින් සිනාවක් පාමින් පැවසුවේ ඇය වඩාත් නොසන්සුන් කරවමිනි. 
“ඒත්.. ඒත්.. නිත්‍යා අක්කා කිව්වෙ.. නිත්‍යා අක්කා කිව්වෙ..” 
ඉතිරිය කියා ගන්නට වචන සොයා ගත නොහී දිනේෂි ගොත ගසන්නට වූවාය. 
“ඕනැ කෙනෙකුට ඕනැ දෙයක් කියන්න පුළුවන්නෙ නංගී.. කියන හැම දෙයක්ම, ඇස්වලට පේන හැම දෙයක්ම ඇත්තම නෙමෙයි.. ඒවට යටින් තව ලොකු කතන්දර තියෙන්න පුළුවන්.. ඒ හින්දා ඇහූදුටු ගමන් කිසිම දේකට කලබල වෙන්න එපා..” 


ලබන සතියට...