අඩු මිලට පොත් ගන්න ලැබෙන අවස්ථාව


 

  • ගිය වසරේ ප්‍රදර්ශනය පැවැත්තුවෙ නැහැ. ඒ නිසා ගිය වසරේ නිකුත් වූ පොත් රාශියක්ම අඩු මිල ගණන් යටතේ ලබාගන්න පාඨකයාට අවස්ථාව තියෙනවා.

 

 

සැප්තැම්බරය, පොත් සැප්තැම්බරයක් වූයේ චිරාත් කාලයක පටන්ය. එහෙත් ඊට ප්‍රධානතම උත්තේජනය වූයේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයයි. එය මෙවරත් සැප්තැම්බර් 16 වැනිදා සිට 25 වැනිදා දක්වා දින දහයක් පුරාවට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.


ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කරන මෙම පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ රට බරපතළ ආර්ථික අභියෝගයක ගිලී සිටින මොහොතකය. එසේම කොරෝනා අවදානම මුළුමනින්ම පහව නොගිය වාතාවරණයකය.


එනිසාම මේ ගැන කතාබහ කරන්නට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර සමරසිංහ මහතා සම්බන්ධ කරගත්තෙමු.


පොත් ප්‍රදර්ශනය මේ වසරේ පවත්වන බව ප්‍රකාශයට පත් වුණාම පාඨකයන්ගේ ප්‍රතිචාර ඔබට දැනුණෙ මොන විදිහටද?


ඇත්තෙන්ම ලැබුණු පාඨක ප්‍රතිචාර අප මවිත කළා කිව්වොත් හරි. මොකද ගිය අවුරුද්දෙත් අපිට ​පොත් ප්‍රදර්ශනය පවත්වන්න පුළුවන් වුණේ නෑ රට ගිලගත්තු වසංගතය හේතුවෙන්. ඒ නිසා හැම අවුරුද්දකම පාහේ නොවරදවා පොත් ප්‍රදර්ශනයට එන පාඨකයන් හිටියේ අපේක්ෂා භංගත්වයෙන්. මේ අවුරුද්දෙත් රටේ තිබු​ණේ අහිතකර වාතාවරණයත්, ඉන්ධන නැතුව තිබුණා, වෙනත් ප්‍රශ්න, ජනතා උද්ඝෝෂණ තිබුණා. ඇත්තටම එවැනි වාතාවරණයක් යටතේ මේ වසරෙත් පොත් ප්‍රදර්ශනය පැවැත්වීම ගැන දෙගිඩියාවක් තිබ්බේ. නමුත් රටේ වාතාවරණය යම් තරමකට සාමාන්‍යකරණය වීමත් එක්ක අපේ සංගමය තීරණය කළා පොත් ප්‍රදර්ශනය පවත්වන්න. ඒ පුවතින් පාඨක පිරිස අමන්දානන්දයට පත්වුණා කිව්වොත් නිවැරැදියි.


නමුත් මෙවර ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කුටි සංඛ්‍යාව වෙනදාට වඩා අඩුයි?


ඔව්. ප්‍රදර්ශන කුටි 110ක් පමණ අඩු වුණා. බටහිර රථ ගාල ප්‍රදේශයේ අපි විශාල ප්‍රදර්ශන කුටියක් ඉදිකරනවා. මේක ස්ථිර ගොඩනැගිල්ලක් නොවෙයි. ​පොත් ප්‍රදර්ශනය වෙනුවෙන්ම ඉදිකරන තාවකාලික ගොඩනැගිල්ලක්. මේ ගොඩනැගිල්ල ඉදිකරන්න නම් මේ වසරේ ගිය වසරවල ගිය වියදම වගේ තුන් ගුණයක් වැය කළ යුතු වෙනවා. එහෙම වුණා නම් අපට කුටිවල මිල ගණන් විශාල ලෙස ඉහළ දමන්න සිදුවෙනවා. නමුත් අපේ සාමාජිකයන් අද ඉන්නෙ දුෂ්කර ජීවන වටපිටාවක නිසා එවැනි බරක් ඔවුන්ට දෙන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා අපි තීරණය කළා ඒ ගොඩනැගිල්ල ඉදිනොකිරීමට.


හැබැයි වෙනදා ප්‍රදර්ශනයට සහභාගි වූ සියලුම පොත් ප්‍රකාශකයන් මෙවර ප්‍රදර්ශනයට සහභාගි වෙනවා. ඒ සඳහා වෙනදාට කුටි හතර පහ ගන්නා සාමාජිකයන් කැමැත්තෙන්ම ඔවුන් ලබාගන්නා කුටි සංඛ්‍යාව අඩු කළා. ඔවුන්ගේ ඒ කැපවීම, කැපකිරීම නිසා අපේ සියලු සාමාජිකයන්ට ප්‍රදර්ශනය තුළ ඉඩ ලබා දෙන්න සංගමයට හැකි වුණා.


මේ වෙද්දි කඩදාසි මිල ඉහළ ගිහින්. වෙනදා රුපියල් හයසීයක් වුණු පොතක අද මිල එමෙන් දෙතුන් ගුණයක් වෙලා. මේ මිල ගණන් පාඨකයා දරාගන්නේ කොහොමද?


ඒ උද්ධමනයේ ප්‍රතිඵල. අපිට ඒකට කරන්න දෙයක් නැති වෙනවා. ඒ මිල ගණන් පාඨකයා කොහොමහරි දරාගත යුතු වෙනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ගිය වසරේ ප්‍රදර්ශනය පැවැත්තුවෙ නැහැ. ඒ නිසා ගිය වසරේ නිකුත් වූ පොත් රාශියක්ම අඩු මිල ගණන් යටතේ ලබාගන්න පාඨකයාට අවස්ථාව සැලසෙනවා.


මේ වසර තුළ නිකුත් වන අලුත් පොත් සංඛ්‍යාත්මකව අඩුයි නේද?


ඔව්. නමුත් කලින් කිව්වා වගේ ගිය වසරේ පළවූ පොත් රාශියක් මෙවර ප්‍රදර්ශනයට එකතු වෙනවා. ඒ නිසා අලුත් පොත්වල අඩුවක් වේ යැයි මා හිතන්නේ නැහැ.


මෙවර ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ රාත්‍රී 7 දක්වා පමණයි.


සංගමය ඒ තීරණය ගත්තේ පසුගිය අගෝස්තු මාසයේදී. ඒ වනවිට රටේ තිබුණු වාතාවරණය පරිදි. කොහොම වුණත් මෙවර ප්‍රදර්ශනයට වැඩි පිරිසක් එන්නෙ පොදු ප්‍රවාහන සේවා ඔස්සේ. ඒ නිසා ඔවුන්ට වේලාසනින් ගම් රටවල් බලා යන්නයි අපි ප්‍රදර්ශන කාලය අඩු කළේ. නමුත් රාත්‍රී 7න් පසුවත් පාඨකයන් විශාල පිරිසක් ප්‍රදර්ශනයට සහභාගි වෙනවා නම් සංගමයට පුළුවන් අවශ්‍ය පරිදි කාලය දිගු කිරීමට.


වෙනදා වගේම ප්‍රදර්ශන භූමිය තෙක් නොමිලේ ගමන් පහසුව සලසනවාද?


එහි වෙනසක් නැහැ. ඒ වගේම අපි ප්‍රවාහන ඇමැතිතුමා සමග සාකච්ඡා කළා යම් යම් ඩිපෝ මගින් සීමිත බස් රථ සංඛ්‍යාවක් බී.එම්.අයි.සී.එච්. හරහා ධාවනය කරවීමට. එවිට එය පාඨකයාට පහසුවක් වෙනවා. ඒ වගේම බම්බලපිටිය, කොටුව සහ මරදාන දුම්රිය නැවතුම්පොළවල සිට විශේෂ බස් රථ සංඛ්‍යාවක් බී.එම්.අයි.සී.එච්. වෙත ධාවනය කරවීමට. මේ ගැන ප්‍රවාහන ඇමැතිතුමා උද්​යෝගයෙන් කටයුතු කරන බව අපිට විශ්වාසයි.


පොත් ප්‍රදර්ශන භූමිය පොත් අලෙවියට පමණක් සීමා වී නැහැ. විවිධ සංස්කෘතිකාංග මහ රාශියකින් එය අලංකාරවත් වෙනවා. මෙවරත් එහි වෙනසක් නැද්ද?


සංස්කෘතික දෙපාර්තමේන්තුව ඒ සියලු ප්‍රසංග වෙනදා විදිහටම පවත්වනවා. ඒ නිසා පාඨකයකුට එම සංස්කෘතිකාංග පෙර පරිදිම විඳීමට පුළුවන්. ඒ වගේම පොත් දොරට වැඩීම් වගේම රජත පුස්තක සම්මාන උළෙලත් පොත් ප්‍රදර්ශනය අතරතුර පැවැත්වෙනවා. රජත පුස්තක සම්මාන උළෙල පවත්වන්නේ 18 ඉරිදා සවස් වරුවෙයි.


​මේ අයුරින් මෙවර පොත් ප්‍රදර්ශනයද පෙර පරිදිම සැණකෙළි ස්වරූපයක් ගනිමින් පැවැත්වෙයි. එබැවින් අතීතයේ පරිද්දෙන්ම පාඨකයෝ සතුටු සිතින් පැමිණ හිතේ හැටියට පොත් මිලදී ගෙන පොත් කවර එල්ලාගෙන නික්ම යනු ඇත. හැබැයි කොවිඩ් වසංගතයේ අවදානම තවමත් රටින් පහව ගොස් නැති බැවින් හැම පාඨකයන් මුඛ ආවරණ පැලඳ සිටීම ද අනිවාර්ය කාරණයකි.

 

 

 

ශාන්ත කුමාර විතාන