අඟුණුකොළපැලැස්සේදී අවමන් සහගත සැලකීමක්


රන්ජන්ගේ සිරගෙදර අත්දැකීම් 5

 

පැය තුන හමාරක පමණ වෙහෙසකර ගමනකින් අනතුරුව රන්ජන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළුවිය. ඒක විශාල තාප්පයකින් වට කරපු විශාල හිරගෙයක්. පල්ලන්සේන පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදී සීඩීඑම් දුරකථනයෙන් මට කතා කරපු හිටපු බන්ධනාගාර ඇමති ලොහාන් රත්වත්තේ කියපු විදියටම ඒක අලුත් හිරගෙයක්. මට තියෙන ප්‍රශ්නය හිරගේ අලුත්ද නැද්ද කියන එක නොවෙයි. මගේ ජීවිතයට තර්ජනයක් වෙයිද නැද්ද කියන එකයි රන්ජන් කියයි.

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරගතව අදාළ අතුරු කතා රාශියක් ද පසු කාලයේදී රන්ජන්ට දැනගැනීමට ලැබිණි. රන්ජන්ගේ එම බන්ධනාගාර ජීවිත අත්දැකීම් සම්බන්ධයෙන් අදහසක් ඇති කර ගැනීමට එම අතුරු කතාද වැදගත් වෙයි. අපි එය රන්ජන්ගේ වචන වලින්ම අසා දැනගනිමු.  


ඇත්තටම අඟුණකොළපැලැස්ස මුල් ප්ලෑන් එක බන්ධනාගාරයක් නොවෙයි. ඒක හදලා තියෙන්නේ සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයටම අයත් ගොඩනැගිලි පරිශ්‍රයක් හැටියටයි. ඒ නිසාම මෙම ගොඩනැගිලි පරිශ්‍රය ආශ්‍රයේ එළියෙන් හෝටල් ගණනාවක් ඉදිවුණා. ක්‍රිකට් මැච් බලන්න එන අයට ක්‍රිකට් බෝඩ් එකේ නිලධාරීන්ට නවාතැන් කෑම බීම දෙන්න තමයි ඒ හෝටල් හැදුවේ. මහින්ද අමරවීර ඇමතිවරයාගේ ගේ තියෙන්නේ ඔය බන්ධනාගාරය කිට්ටුවමයි. කොහොම හරි මොකක්දෝ ප්‍රශ්නයකට මුල් ප්ලෑන් එක වෙනස් කරලා ඒක බන්ධනාගාරයක් බවට පත් කළා. ඒකෙන් වුණේ අර හෝටල් අයිතිකාරයන් හද්ද අනාථ වුණ එකයි.  
රන්ජන් ඊළඟට අනාවරණය කළේ මනුෂ්‍යත්වයේ අසරණකම කියාපාන තොරතුරකි.  


දැන් ඒ හෝටල් බොහොමයක් පාවිච්චි වෙන්නේ මොකටද දන්නවද? හිරකාරයන්ව බලන්න එන බිරිඳ සහෝදරිය, ඥාතිවරිය රැගෙන ගොස් බන්ධනාගාර නිලධාරීන්ගේ ආශාවන් සංසිඳුවා ගන්න තැන් බවට ඒ තැන් පත්වෙලා රන්ජන් කීවේය.  


‘එහෙම යන කාන්තාවනුත් වැරැදියිනේ’ මම කීවෙමි.  


මෙහෙමනේ එතැනට එන මිනිස්සු බොහොම අසරණ අයනේ. සමහරවිට මරණීය දණ්ඩනය නියම වෙච්ච ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වෙච්ච එහෙමත් නැත්නම් දිගු කාලයක් හිර දඬුවම් විඳින මිනිසුන්ගේ බිරින්දෑවරුන්නේ එන්නේ. විසිට් එක වැඩි කරන්නම්, දත් බෙහෙත්, සබන් වැඩියෙන් දෙන්නම්, කතා කරන වෙලාව වැඩි කරන්නම් ඔය වගේ සිල්ලර දේවල් ඒ මිනිසුන්ට බොහොම තදින් දැනෙනවා. ඉතින් හිරේ ඉන්න තමන්ගේ මිනිස්සු වෙනුවෙන් ගෑනි ඒ පරිත්‍යාගය කරනවා. එසේ හැඟුම්බර වූ රන්ජන් අඟුණකොළපැලැස්ස හිරගෙදරට ගිය මුල් කාලයේදීම අනෙකුත් රැඳවියන් දුන් උපදෙසක්ද සිහිපත් කළේය.  


මට අනික් රැඳවියන් කිව්වා රන්ජන් අයියා කීයටවත් කාන්තාවන් නම් නිලධාරීන්ට හඳුන්වලා දෙන්න එපා ඇත්තම කියනවා නම් මම අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයෙ හිටපු මුළු කාලයටම ඒ උපදේශය අකුරටම රැක්කා. රන්ජන් කියයි.  


ඒ කිසිවක් නොදැන රන්ජන් ඇතුළුවී තිබුණෙ එබඳු බන්ධනාගාරයකටය.  


මට වාහනයෙන් බහින්න කිව්වා. මම බැස්ස. විශාල දොරෙන් මම ඇතුළට ගියා. එතැන ඒඑස්පී අජිත් සහ එස්.පී. පල්ලෙතැන්න කියන නිලධාරීන් හිටියා. ඔවුන්ගේ ශරීර ස්වභාවට අනුව නම් මට හොඳ පිළිගැනීමක් නෑ කියලා තේරුණා. ඇත්තටම මට ලැබුණේ අවමන්සහගත සැලකීමක් රන්ජන්ගේ මතකය එපරිදිය.  
ලියාපදිංචි කිරීමේ කටයුතු වලින් අනතුරුව බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව සහිතව තමන් රඳවා තබන ස්ථානයට රන්ජන් ගමන් කරමින් සිටියේය. ඒ ජම්පරය හා දෑතට දැමූ විලංගු සහිතවය. ඇඳුම් කිහිපයක් සහිත බෑගය ද ඇඟිල්ලක එල්ලී තිබිණි. රන්ජන් වටපිට බලමින් නුහුරු නුපුරුදු යෝධ ගොඩනැගිල්ලේ තමන්ට නතරවීමට නියමිත ස්ථානය කුමන ස්වරූපයක් ගනීදැයි සිතමින් ගමන් කරමින් සිටියේය.  


ඔය අතරෙදි මාව එක්කරගෙන ගිය බන්ධනාගාර නිලධාරීන්ගෙන් ප්‍රධානියා කියා සිතිය හැකි නිලධාරියාගේ අතේ තිබුණ සීඩීඑම් ෆෝන් එකට කෝල් එකක් ආවා. දුරකථනයේ එහා කෙළවරේ ඉන්නේ කවුද එයා මොනවද කියන්නේ කියලා මම දන්නේ නෑ. මට ඇහුණේ නෑ. ඒත් මා ළඟ සිටිය නිලධාරියා කියන ඒවා මට හොඳට ඇහෙනවා. ආ ඔව් සර් දැන් තමයි ආවේ. මේ එක්කරගෙන යන ගමන් නිලධාරියා එහෙම කියනවා මට ඇහුණා. සර් මෙයාව තනියම තමයි දාන්න හිතන් ඉන්නේ. එහෙම කිව්වම එහා පැත්තෙන් මොනවා කිව්වද දන්නේ නෑ. හැබැයි ඒ නිලධාරියාගේ මූණ අඳුරු වුණා. සර් ආරක්ෂාව සහිතව ඇති සෙල් එකක දැම්මොත් නේද හොඳ? ඒ නිලධාරියා  ඇහුවා. මං හිතන්නේ එහා පැත්තෙ හිටපු කෙනා ඒකට විරුද්ධ වුණා. නිලධාරියාගේ මූණ හොඳටම කළුවෙලා. හරි සර් මම එහෙම කරන්නම් කියලා ඒ නිලධාරියා අන්තිමට කිව්වා. රන්ජන් කියයි.  
රන්ජන්ගේ අනුමානයට අනුව බන්ධනාගාර නිලධාරියාගේ සීඩීඑම් දුරකථනයට කතා කළේ ඉහළ දේශපාලන බලවතෙකි. එමෙන්ම තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සිතා බන්ධනාගාර පාලනාධිකාරිය තමන්ව වෙනම රඳවා තැබීමට සැලසුම් කළද දේශපාලන බලපෑම් මත එය වෙනස් වූ බව රන්ජන්ට සිතිණි. මෙතැන් පටන් තමන්ට ගත කිරීමට සිදුවන කටුක ජීවිතයේ තරම එම සිදුවීමෙන්ම රන්ජන්ට අවබෝධ කරගත හැකි විය.  


අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ C බ්ලොක් එකට මාව අරන් ගියා. ඒ වාට්ටුවේ හැටදෙනෙක් විතර හිටියා. මම මුලින්ම කළේ උදේ ඉඳලා තිබුණ මුත්‍ර බර නිදහස් කරගැනීමයි. ඊට පස්සේ මගේ බෑග් එකත් ළඟින් තියාගෙන වාට්ටුවේ අයිනේ මුල්ලක බිත්තියට හේත්තුවෙලා බිම වාඩිවුණා. පැදුරක්වත් තිබුණේ නෑ. ඇත්තම කියනවනම් පල්ලන්සේන පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඉන්නකොටත් මාව රඳවලා තිබ්බේ වෙනමම. මේ විදියට විශාල පිරිසක් සමග ශාලාවක ඉන්නේ පළමු වරටයි. ඒක අලුත්ම අමුතුම අත්දැකීමක් වුණා. රන්ජන් එසේ කීවේය.  


තමන් සිරගත කළහොත් ඒ දේශපාලන සිරකරුවකු ලෙස යැයි රන්ජන් මුලදී සිතුවේය. ඔහුට නීතිඥයන් කියා සිටියේද එවැන්නකි.  


ඇත්තටම මම හිතුවේ මාව දේශපාලන සිරකරුවකු ලෙස නම් කරයි කියලා. මොකද එහෙම වුණා නම් මට අයිතිවාසිකම් ප්‍රමාණයක් හිමිවෙනවා. විශේෂයෙන්ම වෙනම රඳවා තබනවා. බලන්න පත්තර ලැබෙනවා. ටීවි එකක් ලැබෙනවා. පොතක් පතක් ලියන්න පහසුකම් ලැබෙනවා. ඒ නිසා තමයි මම හිතුවේ මාව දේශපාලන සිරකරුවෙක් හැටියට නම් කරයි කියලා. රන්ජන් කියයි.  


ඇත්තටම දේශපාලන සිරකරුවෙක් කියලා ඔබව නම් කරයි කියලා ඔබ හිතුවේ ඇයි මම විමසුවෙමි.  


මම හිරේ ගියේ මිනීමරලා, මංකොල්ලකාලා, ජාතික ධනය හොරකම් කරලා, අපරාධ කරලා, ස්ත්‍රී දූෂණ ළමා අපචාර කරලා නෙවෙයි. මම හිරේ ගියේ දේශපාලන ප්‍රකාශයක් නිසා. ඉතින් ඒ නිසා මම ඒ තත්ත්වය බලාපොරොත්තු වුණා. නමුත් මාව දැම්මේ දරුණු අපරාධකාරයන් ඉන්න සෙල් එකට. ඒකෙන් කියන්නේ මමත් දරුණු අපරාධකාරයෙක් කියන එකනේ. මම මේ රටේ ජනතාවගේ ඡන්දයෙන් තුන් පාරක් පාර්ලිමේන්තු ගිය කෙනෙක්. ජනප්‍රියම නළුවා සම්මානය පිට පිටම දිනාගන්න පුළුවන් වුණා. නමුත් ඒ කිසිවක් ඇගයීමට ලක් කළේ නෑ. දරුණු අපරාධකාරයෙක් හැටියට තමයි මාව හැඳින්වූවේ. රන්ජන් වේදනාබර හඬින් කියයි.  


අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ බී වාට්ටුවේ දරුණු අපරාධකරුවන් හැටදෙනෙකුට මැදිව බිම වාඩිවී සිටින රන්ජන් තමන්ගේ ජීවිතයේ ඊළඟ මොහොත ලියැවෙන ආකාරය ගැන සිතාගත නොහැකිව දෙගිඩියාවෙන් සිටියේය. විශේෂයෙන්ම අප රටේ වැඩි වශයෙන් ලියැවෙන පුවත් සිරස්තල එකිනෙක ඔහුගේ මතකයට එයි. බන්ධනාගාරයේ සිරකරුවන් අතර ගැටුමෙන් රැඳවියෙක් මියයයි. ඒ ඒක සිරස්තලයකි, පැනයාමට උත්සාහ කළ රැඳවියා වෙඩි තබා මරා දමයි. ඒ තවත් සිරස්තලයකි. කොයි මොහොතක හෝ එබඳු සිරස්තලයක් තමන් නමින් ලියැවෙනු ඇතැයි රන්ජන්ට සිතෙයි. දේශපාලනයේ දුෂ්ටභාවය මෙන්ම එහි කඩප්පුලිකම් සම්බන්ධ ප්‍රමාණය ඉක්මවා ගිය අත්දැකීම් රන්ජන් සතුය.  
සුසන්ත හෙවත් කොටා රන්ජන් ළඟට ආවේය. කොටා යනු කාමර පාටියේ රැඳවියන් බලාගැනීමේ වගකීම පැවරෙන්නේ ඔහුටය.  


රන්ජන් මහත්තයා බයවෙන්න එපා අපි ඉන්නවා ඔහු කීවේය. මරණයේ විපරීත හැඩතල පිරීගත් සාමාන්‍ය මිනිස් ඇසට වසන් වූ අඳුරු සිරගෙදරදී අසන්න ලැබුණ එම ප්‍රියමනාප ප්‍රකාශයෙන් රන්ජන්ගේ පෙනහළු වලට අලුත් හුස්මක් පිරුණි. හිරගෙදර බිම ටයිල් අතුරා තිබේ. පැදුරක් නොමැතිව එහි වැතිරීම අසීරුය.  


රන්ජන් මහත්තයා මෙන්න පැදුරක් සුසන්ත හෙවත් කොටා එසේ කීවේ රන්ජන්ට පැදුරක් දෙමිනි. රන්ජන් පැදුර බිම එලුවේය. ඔහු වාඩිවී සිටි තැනම ඉහළින් යකඩ වැටක් තිබිණි. රන්ජන් බෑගයේ තිබූ ඇඳුම් පැලඳුම් එම යකඩ බටේ එල්ලුවේය. මේ අතරවාරයේදී රන්ජන් බලපොරොත්තු නොවූ දෙයක් සිදුවිය. අපි එය රන්ජන්ගේ වචන වලින්ම කියවමු.  
එක පාරටම ආපු බන්ධනාගාර නිලධාරීන් පිරිසක් එම ශාලාවේ හිටපු රැඳවියන් තිස්දෙනෙක් පමණ වෙනත් වාට්ටුවකට අරන් ගියා. එහෙම කළේ ඇයි කියලා මට හිතාගන්න බෑ. කාගෙන්වත් අහන්නත් බෑනේ. මම ඔහේ බලාගෙන හිටියා.  


දහවල් කෑම වේලාව එළැඹුණි. බෙලෙක් පිඟාන සහ බෙලෙක් කෝප්පය රැගෙන රන්ජන් ද කෑම පෝලිමට එක් විය.  


ඒ කෑමවල කිසිම ප්‍රමිතියක් නෑ. කිසිම රහක් නෑ. සමහර රැඳවියන් කෑම ගැන ඇහුවම නිලධාරීන් කියන්නේ මේක හිරගෙයක් ෆයිව්ස්ටාර් හොටෙල් එකක් නොවෙයි කියලයි. මොනවා කරන්නද මාත් ලැබුණු බත් ටික අරගෙන ශාලාවට ඇවිත් වාඩිවෙලා කෑවා රන්ජන් කියයි.  


සෙමින් සන්ධ්‍යාව උදාවෙමින් තිබිණි. රන්ජන් බලාපොරොත්තු රහිතව හිස් හැඟීමෙන් බලාසිටී. අන්න අයියා එනවා කවුදෝ රැඳවියෙක් කියනු රන්ජන්ට ඇසුණි.  
ඒ කවුද? රන්ජන් කල්පනා කරන්නට පටන්ගත්තේය.  


ඒ ආවේ කවුද?  


ඒ කතාව ලබන සතියට.

 

 

 සටහන :
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්