2011 ගංවතුර සමයේ සේරුවාවිල රැකගත් හැටි


 

ඒ 2010 පෙබරවාරි 4 වැනිදාය. අගනුවර මෙන්ම බොහෝ නගරවල ජාතික නිදහසේ උදාන ගී ගැයෙමින් තිබිණි. නමුත් සේරුවාවිල ඇතුළු නැගෙනහිර පෙදෙසට ධාරානිපාතයට වැහි ඇද හැළෙමින් තිබිණි. එබැවින් ඒ පෙදෙස්වලට නිදහසේ උදාන ගී වෙනුවට ඇසුණේ ගංවතුර හා සම්බන්ධ වූ විවිධ කතාන්දරය.


සේරුවාවිල යනු මුතූර්, කන්තලේ, වෙරුගල්, වාකරේ වැනි පෙදෙස්වලින් මැදි වූ ප්‍රදේශයකි. දවස් හතරක් පහක් තිස්සේ ඇදහැලු‍ණු මහා වර්ෂාව නිසා මහවැලි ගඟ උතුරා දෙගොඩතළා ගලා යමින් තිබිණි. සේරුවිල හතර පැත්තෙන්ම වටවී තිබූ බැවින් ජනතාව පත්ව සිටියේ බලවත් අසීරුතාවකටය. බොහෝ දෙනෙක් අවතැන්ව සිටි අතර ඔවුන්ට පාසල්වල රැකවරණ සලසා තිබිණි.


සේරුවාවිල ප්‍රාදේශීය ලේකම් ලෙස කටයුතු කරමින් සිටි චන්දන උඩවත්ත ගංවතුරෙන් අවතැන්ව සිටි ජනතාවට සහන සැලසීමේ භාරධූර කටයුත්තේ නිරතව සිටියේය. 


“මේ වෙද්දී සියලු සම්බන්ධතා බිඳවැටිලා තිබ්බෙ. සේරුවිල වැඩට එන පිරිස් ගේන්නයි ගෙනියන්නයි කන්තලේ ඉඳන් බෝට්ටුවක් දාලා තිබ්බා. මේ වෙද්දි කන්තලේ පාර හදමින් තිබුණෙ. සමහර තැන්වල කොන්ක්‍රීට් දාලා තිබ්බා. ඒත් ගංවතුර නිසා ඒ කොන්ක්‍රීට් බැමි පාලම් මොනවත්ම පෙනුණෙ නැහැ. ඉතින් සේරුවාවිල ඉඳලා කන්තලෙට යන බෝට්ටුව හැන්දෑවෙ හයට විතර අර කොන්ක්‍රීට් බැම්මක වැදිලා අනතුරට පත්වෙලා. අපේ කන්තෝරුවෙ වැඩ කළ සුනිල් කියල කෙනෙක් බෝට්ටුවෙන් විසිවෙලා කොන්ක්‍රීට් එක උඩට වැටිලා. එයා මට කතාකරලා කිව්වා බෝට්ටුව අනතුරට ලක්වුණා කියලා. ඒ වෙලාවෙම ග්‍රාම සේවා නිලධාරීන් දෙතුන් දෙනෙකුත් එකතු කරගෙන මම කැබ් එකෙන් බෝට්ටු අනතුර වුණ තැනට යන්න පිටත් වුණා. 


හැම තැනම වතුර. කැබ් එකෙන් වුණත් යන්න පුළුවන් වුණේ ටික දුරයි. දොර ළඟටම වතුර පිරිලා. අන්තිමේ අපිට වාහනේ හරවාගෙන ආපහු එන්න සිදුවුණා. ඒත් මම දිසාපතිතුමාට කතාකරලා බෝට්ටු අනතුර ගැන කිව්වා. හමුදාවෙ සහාය ලබාගෙන ජීවිත බේරාගන්න අවශ්‍ය කටයුතු කළත් ඒ වෙද්දි පස් දෙනෙක් මිය ගිහින්  තිබුණා. ”
මෙකල ත්‍රිකුණාමලයේ දිසාපති ලෙස කටයුතු කළේ මේජර් ජනරාල් ටී. ටී. ආර් ද සිල්වාය. ගංවතුරෙන් අවතැන් වූ ජනතාවට සහන දීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ඒ වන විටත් සකස්කර තිබුණි. ගුවන් හමුදා හෙලිකොප්ටර් යොදාගෙන අවශ්‍ය ආධාර බෙදාහැරීමට පියවර ගෙන තිබිණි.


“සේරුනුවර ඉස්කෝලෙට හෙලිකොප්ටර් බාලා බෙඩ්ෂීට්, බනිස් සහ වෙනත් ආහාර වර්ග ලබා දුන්නා. මම ඒ ආධාර බාර අරගෙන බෙදාදෙන්න අනාථ කඳවුරු ගානෙ ගියා. ඒ වෙද්දිත් වැස්සෙ කිසිම අඩුවක් නැහැ. සමහර මිනිස්සු කඳවුරු ඇතුළේ ගුළිවෙලා නිදි. ඒ අයට හීතල දරාගන්න බැරිතරම්. පොරොවගන්න කිසිම දෙයක් නැහැ. මම කළේ ඒ වගේ ගුළිවෙලා නිදාගෙන හිටපු අයට බෙඩ්ෂීට් එක ගානෙ බෙදලා දීමයි.


අවතැන් වුණු හුඟක් අය ඉස්කෝලවලට රැස්වෙලා හිටියත් සමහරු ගෙවල් දාලා එන්න බැහැ කියලා ගෙවල් වලටම වෙලා හිටියා. නමුත් ඒ අයට ආහාර වත් වෙනත් ගංවතුර ආධාරවත් බෙදා දෙන්න පුළුවන් කමක් තිබ්බෙ නැහැ. නමුත් මේ මිනිස්සු ඒ වනවිටත් අසරණ වෙලා හිටියෙ. ගෙවල් වටේටම ගංවතුර. යන්න එන්න බැහැ.  එයාලටත් කන්න බොන්න නැහැ කියලා ග්‍රාම නිලධාරිවරු කිව්වා.


පස්සෙ මම දිසාපතිතුමාට කතාකරලා අවසර අරගෙන ගෙවල්වල කොටුවෙලා හිටපු උදවියටත් ආහාර සහ වෙනත් ආධාර ලබාදුන්නා.” 


මේ වනවිට මාවිල් ආරු අවට ප්‍රදේශය මුළුමනින්ම ජලයෙන් යටව තිබිණි. වැස්සේ අඩුවක්ද නොවූයෙන් ගංවතුර තර්ජනය තව තවත් දරුණු වූවා මිස අඩුවන බවක්ද නොපෙනිණි. මේ නිසා මාවිල්ආරු වැව් බැම්ම කැඩී යාමේ තර්ජනයක් ද මතුව තිබිණි. යම් හෙයකින් වැව් බැම්ම කැඩී ගියහොත් පහළ ඇති ගම්මාන ගණනාවකට දැවැන්ත විනාශයක් සිදුවිය හැකිය. ඒවැන්නක් වුවහොත් තවත් විනාශයකි. මිනිස් ජීවිත කීයක් නම් විනාශ විය හැකිදැයි කිව නොහැකි විය.  ඒ නිසා කළ යුතු වූ එකම දෙය ජලය ඉක්මනින් බැස යාමට සැලැස්වීමයි.


“වතුර පිරිලා තිබුණෙ පාර හදන්න පටන් අරගෙන තිබුණු නිසයි. දිසාපතිතුමා ප්‍රමුඛ රජයේ නිලධාරීන් සමග මේ ගැන සාකච්ඡා කළා. තීරණය වුණේ පාරෙ කොතැනකින් හරි කපලා වතුර බහින්න සැලැස්වීමයි. කල්ලාර් හමුදා කඳවුර තිබුණෙ ඒ කිට්ටුව. අපි  හමුදා සෙබලු‍න්ගෙ උදව් ඇතිව කල්ලාර් හමුදා කඳවුර ආසන්නයෙන් කන්තලේ සේරුවාවිල පාරෙ කොටසක්  කැප්පෙව්වා. එතැනින් ඉක්මනට වතුර බැහැලා ගියා. ඒකෙන් වැව් බැම්ම බේරුණා. එහෙම නොකළානම් සමහරවිට වැව් බැම්ම කැඩිලා මහා විනාශයක් සිදුවෙන්න තිබුණා.’‘ 


2010 සිට වසර හතරක් සේරුවාවිල ප්‍රාදේශීය ලේකම් ලෙස සේවය කරමින් විවිධ සිදුවීම්වලට මුහුණ දුන් චන්දන උඩවත්ත 2014 වසරේ දී කැබිතිගොල්ලෑවේ ප්‍රාදේශීය ලේකම් ලෙස පත්ව යන්නේය. ඒ වනවිට යුද්ධය අවසන්ව තිබිණි. එහෙත් ඇතැම් මිනිස්සු දේපොල වලට රණ්ඩු සරුවල් වෙමින් සිටියහ. චන්දනට මුහුණ දෙන්නට සිදු වූයේ ඉඩම් ආරවුල් සාමකාමීව විසඳා දීමේ බාරධූර කාර්යයටයි.  “එක් ඉඩම් අරාවුලක් තිබුණේ අයියා සහ මල්ලී අතර.  ඉඩම් සාධාරණව බෙදාගන්න බැරිව මේ අයියයි මල්ලියි දෙන්නා එකිනෙකා සමග රණ්ඩු සරුවල් ඇතිකරගෙන තිබුණෙ. මේ ඉඩම් ප්‍රශ්නෙට මැදිහත් වෙන්න සිදුවුණ මම ඒ ක්ෂේත්‍ර පරීක්ෂාවට ගියා. ඒත් කිසිම විසඳුමක් දෙන්න බැරි විදිහට අයියයි මල්ලියි විතරක් නෙවෙයි ඒ දෙන්නගෙ බිරින්දෑවරුත් බැන අඬගහගන්නවා. කියන කිසිම දෙයක් අහන්නෙ නැහැ. එයාලගෙ අම්මා කර කියාගන්න කිසිම දෙයක් නැතිව කම්මුලක අත තියාගෙන කම්පාවෙන් බලාගෙන හිටියා. බැරිම තැන මම අයියටයි මල්ලිටයි එයාලගෙ අම්මටයි විතරක් මගේ කාර්යාලයට එන්න කියලා ආපහු ගියා. පහුවදා කියපු වෙලාවටම වගේ ඒ තුන් දෙනා මගේ කාර්යාලයට ආවා. වාඩිවෙන්න කිව්වාම අයියයි මල්ලියි දෙන්නා වාඩි වුණෙත් අම්මාගෙ දෙපැත්තෙන්. මූන වත් බලන්නෙ නැහැ. අයියයි මල්ලියි දෙන්නා සුපුරුදු විදිහට වාදෙ පටන් ගන්න හදද්දී මම දෙන්නටම කතා කරන්න එපා කිව්වා. මම අම්මාගෙන් ඇහුවා කොහොමද පොඩි කාලෙ මේ අයියයි මල්ලියි දෙන්න හිටියේ කියලා. අම්මා ඇස්වල මතුවුණු කඳුළු පිහිදගෙන පුංචිකාලෙ මේ අයියයි මල්ලියි කරපු දඟ වැඩ ගැන දෙන්නා එකට එකතුවෙලා කරපු සෙල්ලම් ගැන හරි ලස්සනට කතා කරන්න පටන් ගත්තා. 

 


මහත්තයාට කියන්න ඒ කාලෙ අපිට හේනක් තිබුණා. ඒකෙ අබ වපුරලා තිබුණෙ. මේ දරුවො දෙන්නා ඔය අබ පාත්ති අස්සෙ දුවලා කරලා එනකොට දෙන්නගෙම ඔළු තනිකරම කහ පාටයි. අබ මල් රැඳිලා. ඉතින් පැය කාලක් විතරම මට දරුවො දෙන්නා තුරුලු‍ කරගෙන දෙන්නගේ ඔළු වලින් අබ මල් අයින් කරන්න වුණා. 
අම්මා එහෙම කියලා මේ අයියයි, මල්ලියි දෙන්නා දිහා ආදරෙන් බැලු‍වා. 


මම තවත් ඒ වගේ සංවේදී සිද්ධි ඇහුවා. 
දෙන්නා එකතුවෙලා කරපු දඟ වැඩ එහෙම අනන්තයි . අම්මා ඒවාත් විස්තර කළා. දවසක් හොරෙන් කැවුම් කාපු හැටි. කාලා දන්නෙ නැහැ වගේ හිටපු හැටි එහෙම කිව්වා. ඒ කාලෙ මේ අයියයි මල්ලියි දෙන්නා හැම දේම කරලා තියෙන්නෙ එකටමයි. ඉස්කෝලෙ ගියේ එකට. නාන්න ගියේ එකට. නිදාගත්තෙත් එකම ඇඳේ එකට තුරුලුවෙලා. කන්න දෙයක් ලැබුණාමත් ඒකෙන් බාගයක් සහෝදරයට තියාගෙන තමයි කාලා තියෙන්නෙ. ඒ තරම් ආදරෙන් හිටපු සහෝදරයො දෙන්නෙක් තමා මේ ඉඩම බෙදාගන්න බැරිව  විරසක වෙලා ඉන්නෙ. 


අම්මාගෙ කතාව ඉවර වෙනකොට අයියයි මල්ලියි දෙන්නා බිම බලාගෙන හිටියෙ. දෙන්නගෙම ඇස්වල කඳුළු තිබුණා. පස්සෙ මම කතා කරන්න පටන් ගත්තා. 
“ඉස්සර පොඩි කාලෙ හිටිය විදිහට ඇයි දැන් දෙන්නට ආදරෙන් ඉන්න බැරි කියලා මම ඇහුවා. ඇයි මේ ඉඩමකට ඔය වගේ රණ්ඩු වෙන්නෙ. දෙකට බෙදාගන්නෙ නැතිව කියලා මම ඇහුවා. 


‘‘ඒක තමා සර් මාත් කල්පනා කරන්නෙ’’ කියලා අම්මා කිව්වෙ කඳුළු කඩා හැලෙද්දී. 
අපි ආයෙ රණ්ඩු වෙන්නෙ නැහැ සර් කියලා අයියයි, මල්ලියි දෙන්නම එකම සැරේ කිව්වා. අයියට ඕනෙ විදිහට ඉඩම අරගෙන මට ඉතිරි ටික දෙන්න කියලා මල්ලි කිව්වා. 
‘‘නෑ නෑ මල්ලිට ඕනැ විදිහට අරගන්න මට ඉතිරිවෙන ටික දෙන්න’’ කියලා අයියා කිව්වා. 


පිස්සුද අයියා ගන්නකො ඉස්සෙල්ලා මල්ලි ආයෙමත් කියනවා. දැන් අයියයි මල්ලියි දෙන්නම රණ්ඩු වෙන්නෙ ඉඩමෙ හොඳ කොටස තමන්ට ගන්න නෙවෙයි හොඳම ටික අනිත් සහෝදරයට දෙන්න.


පස්සෙ මම අම්මට කිව්වා සාධාරණ විදිහට ඉඩම දෙන්නට බෙදා දෙන්න කියලා. අයියයි මල්ලියි විතරක් නෙවෙයි අර වයසක අම්මත් මට වැඳලා පින් දීලායි පිටවෙලා ගියේ.’‘
මෙවැනි සිදුවීම් රාශියකට මුහුණ දුන් චන්දන 2018 වසරේදී දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් ලෙස පත්වීමක් ලැබුවේය. එහිදී ඔහු අතින් සිදු කෙරුණු සුවිශේෂී කටයුත්ත බිම්මල් ගම්මානයක් බිහි කිරීමයි.


“මේ බිම්මල් ගම්මානය බිහි කෙරුණෙ සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩපිළිවෙළ යටතේ. ආර්ථික සංවර්ධන නිලධාරිනියගෙ මහන්සියෙන් තමා මේ ගම්මානය බිහි වෙන්නෙ. විදාතා කණ්ඩායම, කෘෂි උපදේශකවරු ආදීන්ගෙ සහායත් ඇතිව මේ ගම්මානය පටන් ගැනුණෙ. අපි අවශ්‍ය ප්‍රතිපාදන සපයනවා. ප්‍රදේශවාසීන්ගෙ කැපවීමත් අවශ්‍යයි. කොහොමහරි මේ වනවිට බිම් මල් ගම්මානය ඉතාම සාර්ථක ලෙස පවත්වාගෙන යනවා. සමහරු දවසකට රුපියල් දාහක දෙදාහක බිම් මල් නෙළා ගන්නවා’‘
චන්දන උඩවත්ත සිය රාජකාරී අත්දැකීම් සිහිපත් කරන්නේ ප්‍රීතියෙනි. අම්පාර රජගලතැන්නේ ඉපිද රජගලතැන්න මහ විදුහල, අම්පාර සේනානායක විදුහල සහ ගම්පහ බණ්ඩාරනායක විදුහල යන පාසල් වලින් උගෙන කැලණි විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබාගත් චන්දන මුලින් දුම්රිය ස්ථානාධිපති සේවයට එක් වූයේය. 2007 වසරේ දී පරිපාලන සේවයට එක් වූ ඔහු මුල්ම පත්වීම ලබන්නේ මහඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටය. එහි සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙසිනි. ඔහුගේ තාත්තා වූ පියදාස උඩවත්ත ද උප දිසාපති ලෙස සිය පළමු පත්වීම ලබා ඇත්තේ මහඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වීම දෛවෝපගත සිදුවීමකි.

 

 

 

 

■ ශාන්ත කුමාර විතාන