අපව සලිත කරමින්, අප සිටිනා මානයෙන් ඉහළට ඔසවා - මඳ වේලාවකට අපව පොළොවත්, අන්තරීක්ෂයත් අතරෙහි අතරමංකර දැමීමට සමත් නිර්මාණයන් විරලය. බොහොමයක් එබඳු නිර්මාණ රසවිඳීමෙන් අනතුරුව ජීවිතය පිළිබඳ ගැඹුරු කල්පනාවකට අපව ඇදවැටීම නිසඟයෙන්ම සිදුවන්නකි. ප්‍රියලාල් කොග්ගලගේ කවියාගේ “ශාපලත් සේපියන්” කාව්‍ය ග්‍රන්ථයේ හමුවන “මිනිහෙක්” නම් කවි පන්තිය පාඨකයා සැබෑ ලෝකයෙන් මොහොතකට මුදවා මනෝලෝකයක අතරමං කරවීමට සමත් කවියකි. මෙම කවි පන්තියෙහි තාක්ෂණික හැඩයන් පිළිබඳ විචාරයකට වඩා, රසවින්දනයක් ලෙසින් කවිය ලිහාදැමීම වඩාත් සුදුසු යැයි හැඟෙන්නේ, මෙම කවි පන්තිය පොදු මිනිස් හැඟුමක් ගැන ගැඹුරින් රචනා වූවක් නිසාවෙනි. මිනිස් මනෝභාවයන් විෂයෙහි පෘථුල වපසරියක පැතිරෙන මෙම කවිය රසවිඳීම - රසිකයා තුළ භාවයන් උද්දීපනය කිරීමට සමත් වේ. සතුට පිළිබඳව වෙනස් නිර්වචන සහ දුක පිළිබඳවද වෙනස් නිර්වචන අන්තර්ගත මෙම කවි පන්තිය සමස්ත ජීවිතය පිළිබඳව වෙනස් කෝණයකින් නිරික්ෂණය කොට රචනා වූවකි. සමස්ත ජීවිතය කෙරෙහි වෙනස් කෝණයකින් බලන ලෙස පාඨකයාට ඇරයුම් කරන්නකි.
මිනිසුන් යනු ජීවිත කාලයම සතුට සොයනා ජීවීහු වෙත්. එක් සතුටක් ළඟාකරගත්තේ යැයි හැඟුණු සැණින්, සතුටේ තවත් ප්‍රභේදයක් සොයා එය සාක්ෂාත් කරගැනීමට වෙහෙස වීම අරඹන්නෝ වෙත්. එහෙත් සතුටෙහි නිශ්චිත ආරම්භයක් නොමැත. නිශ්චිත අවසානයක්ද නොමැත. පැවැත්මක් හෝ නොපැවැත්මක් ද නොමැත. ඉරකින් වෙන්කොට සලකුණු කළ නොහැකිය. එබැවින් අප ජීවිතයේ අපිරිමිත සතුටත්, සතුට යනු කුමක්ද යන්න ගවේෂණයෙහිලාත් ජීවිතකාලය පුරාම නිරතව - අවසානයේ ඒ පිළිබඳ පැහැදිලි නිර්වචනයක් නොමැතිව මියයන්නෝ වම්හ.
සමහර මිනිසුන්ට එක්තරා වකවානුවකින් පසු සතුට තවදුරටත් රැඳෙන දෙයක් නොවන බව අවබෝධ වන්නට පටන් ගනියි. ජීවිතය තවදුරටත් ආශ්චර්යවත් හෝ ආයාසයෙන් පවත්වාගැනීමට තරම් වෙහෙස වියයුතු ආකාරයේ චමත්කාරජනක වටිනා දෙයක් නොවෙන බවක් දැනෙන්නට පටන්ගනියි. “යම් දේවල් අහිමි වන්නේ ඊට වඩා හොඳ දෙයක් ලැබීමටය” යන්න මුසාවක් බව අත්විඳින්නට ලැබීමෙන් පසුව තවදුරටත් හොඳ දේවල් ජීවිතය තුළින් බලාපොරොත්තු නොවෙයි. ජයග්‍රහණයම හඹාගිය ජීවිතය, පරාජයෙන් පවා සෑහීමකට පත්වෙන මට්ටමකට එළැඹෙයි. ඔවුහු සතුට තෙහෙට්ටුවක් බවට පෙරළී ඇති බව වටහාගෙන කුසීත, ගුප්ත ජීවන විලාසයන් ප්‍රිය කරන්නට පටන්ගනියි. එතැනින් පසු ඇතුළාන්තය මියගිය පංචස්කන්ධයක් පමණක් බවට පත්වූ, සතුට එතරම් විසල් අවශ්‍යතාවක් ලෙස නොසලකන ජීවියෙකු බවට අනුවර්තනය වෙයි. එවන් ජීවියෙකුගේ ජීවිතය ප්‍රියලාල් කොග්ගලගේ විසින් ගැඹුරින් ස්පර්ශ කරඇති අයුරු “මිනිහෙක්” කවිපන්තිය තුළින් ප්‍රකට වේ.
මිනිහෙක්
“පුරාතන මතක සිතුවිලි
සුරා විතෙහි දෙවියත්
දරාගත නොහී සසැලී
පරාජිතව නැවතත්
විරාමයකවත් නොපතා
කුරා කුහුඹු සුවයක්
සරා සලෙළු දන අතරේ
ගරා වැටෙන මිනිහෙක්
ඇස් අද්දර පුපුරනකොට සිනහ නමැති විදුලී
බිඳී යන නමුත්, ඒ කිසි සිනහවකට නොඇලී
මුවින් නොබැන ගෙන මිටකට සිතේ බිඳුණු කැබැලී
ඒ මිනිසා යයි සැණෙකින් කළුවරකට ඉගිලී
සතුට පිණිස මඟහරිමින් සියලු සතුටු සාද
වචන පවා වෙහෙස බැවින් අත්හැර සංවාද
වරක් ඇවිද ලෝකය මත රැස්කර සංතාප
ගුහා ගැබට වට මිනිසෙකි සිතකින් අවිවේක
හෙළා බිමට මෘදු හදවත
තළා දමන නුවරක්
පලා ඇවිත් ඒ නුවරින්
බලා හිඳින මොහොතක්
පොළාපනින විට මතකය
විලාපයකි සුසුමත්
සළාවැටුම් දහසක් තුළ
ගිලාබහින මිනිහෙක්”
- ශාපලත් සේපියන් 22
ආකෘතිමය අතින් සහ රිද්මය අතින් අතිශය පොහොසත් නිර්මාණයක් ලෙස මෙම කවි පන්තිය සැලකිය හැක. ‘සතුට පිණිස මඟහරිමින් සියලු සතුටු සාද’ වැනි පද අනුප්‍රාසය සහිතව නිර්මාණය කර තිබීමෙන් කාව්‍යමය ගුණාංග රැක ගැනීමට කවියා සමත්ව ඇත. නිර්මාණයන් තුළ දුර්ලභව දක්නට ලැබෙන ‘සළාවැටුම්’ වැනි වචන භාවිතාකර තිබීම කවියාගේ භාෂාපරිචය සහ නිපුණතාව විදහාපායි. දිගු සහ කෙටි යන දෙයාකරයේම කවි, නිර්මාණය තුළ තිබුණද, සමස්ත කවි පන්තියම එකම ආකාරයකින් ගලායන පරිද්දෙන් පවත්වාගැනීම කවිය කෙරෙහි කවියාගේ බුහුටිබව විශද කෙරෙයි. දිගුකලක් තිස්සේ කවිය ඇසුරු කරන ප්‍රියලාල් කොග්ගලගේ ගේ කවි - සාහිත්‍ය බැරෑරුම්ව සලකන අයවලුන් විසින් ඉතා උවමනාවෙන් පරිශීලනය කළ යුතුම වේ.
මිරාන් දමින්ද