තරුණ පරපුරට එච්.අයි.වී අවදානම


  • ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන වැඩසටහනේ පුත්තලම සායනයේ වැඩ බලන ලිංගාශ්‍රිත රෝග විශේෂඥ වෛද්‍ය ඉරේෂ් ජයවීර

 

සියලු දෙනා ආරක්‍ෂා වන තුරු එක් පුද්ගලයෙකුගේ ආරක්‍ෂාව තහවුරු නොවන බව කොවිඩ් වසංගතය අපට යළි යළිත් තහවුරු කර ඇත.   


එවන් වටපිටාවකදී මෙන්ම සැමදාම ලෝකයේම අවධානය නිරතුරුවම අවදියෙන් තිබිය යුතු රෝගයකි ඒඩ්ස් රෝගය. මෙවර ඒඩ්ස් දින ලෝකේ තේමාව ලෙසට ගෝලීය සහයෝගීතාව සහ සාමූහික වගකීම "(Global Solidarity Shared responsibility)" ලෙස නම්කර ඇති අතර ශ්‍රී ලංකාවේ මෙම වසරේ ඒඩ්ස් දින සැමරුම් තේමාව ලෙසට නම් කර ඇත්තේ  ‘‘තාරුණයේ වගකීම ඉටුකරමු - HIV වලකමු’’ යන්නය.   


කෙසේ නමුත් මෙලෙස තාරුණ්‍යයට වෙන් වූ මාතෘකාවක් ඔස්සේ ඒඩ්ස් ගැන කතා කිරීමට හුදෙක් සිදුව ඇත්තේ වර්තමානය වන විට එච්.අයි.වී. වයිරසයට ගොදුරුවන රෝගීන් බහුතරයක් වයස අවුරුදු 15-49 වයස් කාණ්ඩයෙන් වාර්තා වීමය.   


තවද වයස අවුරුදු 15-24 වයසේ පසුවන නව යෞවනයන් අතරද එච්.අයි.වී. ආසාදනය වීමට පටන් ගෙන තිබීම අවදානය යොමුකළ යුතු කරුණක් බවට පත්ව තිබේ.   


එච්.අයි.වී. ආසාදනය වීමෙන් රෝගීන් බවට පත්වන්නන්ගෙන් බහුතරය වාර්තා වන්නේ පිරිමින් අතරය.   
සංඛ්‍යා දත්තයන් පෙන්වා දෙන ආකාරයට එය 2011 ට සාපේක්‍ෂව 2019 වසර වන විට සියයට 4.60 වැඩි වීමකි.   
1987 වසරේ සිට මේ දක්වා එච්.අයි.වී. ආසාදිතයන් 3816 දෙනෙකු මෙරටින් වාර්තා වී ඇත්තේ කල්ගත වීමෙන් පසුවය.   


ඒඩ්ස් යනු එච්.අයි.වී. රෝගයේ රෝග ලක්‍ෂණයක් පමණි. ඒඩ්ස් තත්ත්වයට හුදෙක් රෝගියෙකු පත්වන්නේ එච්.අයි.වී. රෝගයට ප්‍රතිකාර නොගන්නා සුළුතර පිරිසකි.   


ඒඩ්ස් රෝගය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට බෝ නොවන අතර බෝ වන්නේ එච්.අයි.වී. රෝගය පමණි. එහෙයින් සැබෑවටම ඒඩ්ස් රෝගින්ගේ වැඩි වීමක් නොව එච්.අයි.වී. ආසාදිතයන්ගේ වැඩි වීමක් දක්නට ලැබෙන බවට නිවැරදි විය යුතුය.   


ලොව අනෙක් රටවල් හා සැසඳීමේදී තවමත් ශ්‍රී ලංකාව එච්.අයි.වී. හෙවත් මානව ප්‍රතිශක්තිකරණ ඌනතා වයිරසය පැතිරීම සම්බන්ධයෙන් සිටින්නේ අඩු අවදානම් සහිත රටක් ලෙසය.   


එච්.අයි.වී. රෝගය ආසාදනය විය හැකි අවස්ථා   


එච්.අයි.වී. ආසාදිත පුද්ගලයෙකුගෙන් නිරෝගී අයෙකුට එච්.අයි.වී ආසාදනය වියහැකි ප්‍රධානම ආකාර තුනකි.   


(1) අනාරක්‍ෂිත ලිංගික සම්බන්ධතා මගින්,   
(2) ආසාදිත පුද්ගලයෙකුගේ රුධිරය සහ රුධිරය ආශ්‍රිත තරල මගින්.   
(3) ආසාදිත මවකගෙන් සිය දරුවාට මෙලෙසින් රෝගය පැතිරීම සීඝ්‍ර ලෙස සිදු වුවද ලංකාවේ වැඩිම එච්.අයි.වී. ආසාදිතයන් පිරිසක් වාර්තා වන්නේ අනාරක්‍ෂිත ලිංගික සම්බන්ධතා මගිනි. එය ප්‍රතිශතයක් ලෙස ගත් කළ සියයට 86 කි. ඒ අතරින් පිරිමි - පිරිමි අතර පවත්නා සමලිංගික අනාරක්‍ෂිත ලිංගික හැසිරීම් වැඩිපුර වාර්තාවේ.   


මානව ප්‍රතිශක්ති ඌනතා වයිරසය හෙවත් එච්.අයි.වී රෝගය ශරීරයට ඇතුළු වීමක් සමඟ සිදුකරන ලබන්නේ රුධිරයේ ඇති සුදු රුධිරාණු විනාශ කිරීමට පටන් ගැනීමය. සුදු රුධිරාණු වල ඇති CD4 සෛල වසරකට 100ක් බැගින් දළ වශයෙන් විනාශ වීමේ හැකියාව මෙම එච්.අයි.වී. වයිරසය සතුවන බව හඳුනාගෙන ඇති අතර, මෙලෙස වසරින් වසර රුධිරයේ සුදු රුධිරානු විනාශ වී ගොස් CD4 අගය 200 කට පත් වීම යනු රෝගියා ඒඩ්ස් රෝගී තත්ත්වයට ගොදුරු වීමය.   


ලංකාවේ වාර්තා වෙන නව එච්.අයි.වී ආසාදිතයන්ගෙන් සියයට 30කට වැඩි පිරිසක් රෝගය හඳුනාගනු ලබන්නේ දරුණු තත්වයට පත්වීමත් සමඟය.   


එච්.අයි.වී වෛරසය ශරීරගත වීමෙන් ඇති විය හැකි රෝග ලක්ෂණ   


සාමාන්‍යයෙන් මෙම වෛරසය ශරීරගත වී ​රෝග ලක්‍ෂණ මතු වීමට වසර 7-8 ක කාලයක් හෝ ඊට වඩා වැඩි කාලයක් ගත විය හැක. නමුත් කලාතුරකින් කෙනෙකුව තීවු මට්ටමෙන් වෛරසය ශරීරගත වුවහොත් ක්‍ෂණිකවද රෝග ලක්‍ෂණ මතු විය හැක.   


වෛරසය හේතුවෙන් ශරීරයට ඇති කළ හැකි බලපෑම -   

 

  • ශරීරයේ වසා ගැටිති ඉදිමීම්   
  • ශරීරයේ බර අඩු වීම.   
  • ඉතාම සුළු රෝග තත්ත්වයන් පවා බරපතළ තත්ත්වයට පත්වීම
  •  සාමාන්‍ය අයෙකුට සුළුවෙන් ඇතිවන කැස්ස වැනි රෝගී තත්ත්වයක් පවා මෙවැනි රෝගීන්ට ඉතාම ඉකමනින් අවදානමක් ඇති වන නියුමෝනියා තත්ත්වයකට පත්විය හැක.   
  • රක්තහීනතා තත්වයට පත්වීම   
  • කටේ, උගුරේ සහ ගලනාල​යේ දිලීර ආසාදන තත්ත්වයන් බහුල වශයෙන් දක්නට ලැබීම.   
  • ප්‍රතිජීවක ඖෂධ නිතර ගැනීමට සිදුවන බැක්ටීරියා ආසාදනයන්ට ලක්වීම.


 මෙම රෝග ලක්‍ෂණ මතු වීමට පටන් ගනු ලබන්නේ ඉතාම සංකීර්ණ තත්ත්වයකදීය.   


එම නිසා ඔබ ජීවිතයේ කෙදිනක හෝ අවදානම් සහිත ලිංගික හැසිරීමක යෙදී ඇතිනම් හෝ මත්ද්‍රව්‍ය විදගන්නෙකු ලෙස ක්‍රියාකර ඇත්නම්, තමාට එච්.අයි.වී වෛරසය ශරීරගත වී ඇත්ද නැත්ද යන්න සැක හැර දැනගන්ම ඉතාම වැදගත්ය. 

 
තරුණයන් අතර HIV ආසාදනය වීමට බලපා ඇති හේතු. 

 
රටක අනාගතය භාර ගැනීමට සිටින තරුණ ප්‍රජාව අතර ජීවිත කාලයක් පුරාවට ප්‍රතිකාර ගැනීමට සිදුවන රෝගයකට ගොදුරු වීම ඛේදනීය තත්ත්වයකි. එම තත්ත්වයට බලපා ඇති හේතූන් ගණනාවකි.

   
සමාජ මාධ්‍ය අනිසි ලෙස භාවිතය   

සමාජ මාධ්‍ය හරහා හඳුනා ගන්නා පුද්ගලයන් සමඟ ක්ක්‍ෂණිකව ලිංගික සබදතා ඇතිකර ගැනීමට යෑම.   
ළමා ලිංගික අපයෝජනය   
සම වයසේ මිතුරන්ගෙන් එල්ල වන ලිංගික පීඩනය.   
පාසල් අධ්‍යාපනය තුළ වයසට සරිලන ලිංගික අධ්‍යාපනයක් නොමැති වීම වැනි කරුණු බලපා ඇත.   
එච්.අයි.වී ආසාදනය වළක්වා ගත හැකි ක්‍රම   
විවාහය තෙක් ලිංගික සම්බන්ධතා ප්‍රමාද කිරීම   
එක් විශ්වාසවන්ත සහකරුවෙකුට හෝ සහකාරියකට ලිංගික සබඳතා සීමා කිරීම


 මෙම කරුණු දෙක ප්‍රයෝගිකව ඉටු කළ නොහැකිය.   


ලිංගික එක්වීමකදී සෑම විටම නිවැරදි ලෙස කොන්ඩමයක් භාවිතා කිරීම සුදුසුය.   
තරුණයන් අතර එච්.අයි.වී ආසාදනය වළක්වාලීම වෙනුවෙනි.   


පාසල් අධ්‍යාපනය තුළදී වයසට සරිලන ලිංගික අධ්‍යාපනයක් ලබා දීම අනිවාර්‌යයෙන්ම කළ යුතුය. එසේ නොමැති වීම නිසා එච්.අයි.වී ලිංගික ප්‍රජනන සොෟඛ්‍ය සේවාවන් වෙත ප්‍රවේශ වීමට මැලිකමක් දක්වයි. නමුත් එවැනි තත්ත්වයන්ගෙන් මිදී ලිංගික අධ්‍යාපනය සහ ජීවන කුසලතා සංවර්ධනය වැනි HIV වැළැක්වීමේ උපාය මාර්ග වල එච්.අයි.වී සහ ලිංගාශ්‍රිත රෝග, අනපේක්ෂිත ගැබ් ගැනීම්, ස්ත්‍රී තරුණ සමාජ භාවය මත පදනම් වූ හිංසන සහ ස්ත්‍රී පුරුෂ භාවයේ + අසාමාන්‍යතා අමව කළ යුතුයි.   


ලිංගික ශ්‍රමිකයන් (ගැහැනු/පිරිමි)   
සමලිංගික පිරිමින්   
මත්ද්‍රව්‍ය එන්නත් කරගන්නන්   
කාන්තා සංක්‍රාන්ති සමාජ භාවිත පුද්ගලයන්   
වෙරළේ සැරිසරන්නන්.   


ප්‍රතිකාර   


 තමාගේ සහකරු පිළිබඳ තමා සුළු හෝ සැකයක් ඇත්නම් එච්.අයි.වී රෝගය හඳුනා ගැනීමේ රුධිර පරීක්‍ෂාවකට ලක්වී රෝගය නිවැරදිව මුලින් හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු විය හැක. එච්.අයි.වී ආසාදිතයෙකුට මුලින්ම නිවැරදි ලෙස ප්‍රතිකාර ගැනීමෙන් සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකි අතර, වෛරසය ඒඩ්ස් තත්ත්වයට පත් වීමේ අවදානම ඉතා පහසුවෙන් වළක්වා ගත හැකිය.   


දිවයින පුරා ව්‍යාප්තව පවතින ලිංගාශ්‍රිත රෝග සායනවල වයස් භේදයකින් තොරව නොමිලේ රහස්‍ය බව ආරක්‍ෂා කරමින් HIV රෝගය නිවැරදිව හඳුනා ගැනීමේ රුධිර පරීක්‍ෂාවන් මෙන්ම රෝගය නිවාරණය වෙනුවෙන් HIV සඳහා වන ප්‍රති වෛරස් ඖෂධය සති 6ක් පමණ ගැනීමෙන් රෝගීන්ගේ ප්‍රතිශක්තිය සාමාන්‍ය බවට පත් වෙන අතර වයිරසය හඳුනාගත නොහැකි මට්ටමට පාලනය කළ හැකිය.   


මෙවැනි පුද්ගලයන්ට වෛද්‍ය උපදෙස් මත විවාහ වී නිරෝගී දරුවන් සෑදීමට පවා අවස්ථාව උදාවේ.   
තවද HIV සඳහා වන ප්‍රති වෛරස් ඖෂධ   
(ART) HIV සඳහා හදිසි නිවාරණයකට පසු   
(PET) අවදානම් හැසිරීමකට පෙර   
(PRER) ලබා ගැනීමෙන් එච්.අයි.වී පහසුවෙන් වළක්වා ගත හැකිය.   
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඒඩ්ස් මර්දන වැඩසටහන මගින් ක්‍රියාත්මක www.know45sure.lk වෙබ් අඩවියට පිවිස ඔබට රෝගය සම්බන්ධ තොරතුරු මෙන්ම, සැකයක් ඇත්නම් රුධිර පරීක්ෂාවක් කිරීමට වෙලාවක් පහසුවෙන් වෙන්කර ගත හැක.   


ක්ෂණික ඇමතුම් 0112667163, 0703533633 හරහාද ඔබේ රහස්‍ය භාවය ආරක්‍ෂා කරමින් අදාල මඟ පෙන්වීම සහ නිවැරදි ලෙස ප්‍රතිකාර ලබාගැනීමට යොමු කිරීම මෙන්ම සායන සඳහා යොමු කිරීමද කළ හැක.   
එහෙයින් පෙර මෙන් එච්.අයි.වී ආසාදිතයන් කොන් කිරීමක් සිදුනොවන අතර, රෝගය හඳුනාගෙන නිසි ප්‍රතිකාර ගැනීමෙන්, ජීවිත අවදානමෙන් මිදී රෝගය මුළුමනින්ම පාලනය කර එච්.අයි.වී සමඟ ජීවත් වන්නෙක් බවට පත්විය හැක.   


කෙටි වෙලාවකදී ලබනා අශ්වාදයක් වෙනුවෙන් ජීවිත කාලයෙහිම වන්දි ගෙවනා තත්ත්වයට පත් නොවී ඔබ වගකිව යුතු ලෙස තමාට රෝගයක් බෝකර ගැනීම හෝ තමාගෙන් වෙනත් අයෙකුට රෝගයක් බෝ නොවිය යුතුය. ලිංගික හැසිරීමක යෙදෙන්න පෙර වග බලා ගන්න.

 

 

සටහන
අසුන්තා එදිරිසූරිය