නුගේගොඩට අද රථවාහන සැලැස්මක්


(ගයාන් සූරියආරච්චි)

නුගේගොඩ ආනන්ද සමරකොන් එළිමහන් රංගපීඨයේදී පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ මහජන රැළියට සමගාමීව විශේෂ රථවාහන හා ආරක්ෂක සැලැස්මක් අද (21) ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

මෙම මහජන රැලිය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ප්‍රභූවරුන්, දේශපාලන පක්ෂ නායකයන්, නියෝජිතයන්, පාක්ෂිකයන් හා ඒ සදහා සහභාගි වන මහජනතාවගේ ආරක්ෂාව සදහා මෙම විශේෂිත රථාවාහන සහ ආරක්ෂක සැලැස්ම ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව අද (21) දහවල් 2 සිට රැළිය අවසන් වන අවස්ථාව දක්වා නුගේගොඩ ගුවන් පාලම අසල හයිලෙවල් හන්දියේ සිට නාවල මාර්ගයේ නාවන වටරවුම දක්වා වූ රථවාහන ගමනාගමනය සීමා කිරීමට නියමිතය.

එම කාලය තුළ රියැදුරන්ට සහ මහජනතාවට සිදුවන අපහසුතා මගහරවා ගැනීම සදහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඒ අනුව කොළඹ දෙස සිට හා කොහුවල දෙස සිට නුගේගොඩ නගරය හරහා නාවල දෙසට හා පිටකෝටටේ දෙසට ගමන් කිරිමට පැමිණෙන වාහන හයිලෙවල් මාර්ගයේ ගම්සභා හන්දියෙන් වමට හරවා කට්ටිය හන්දිය ඔස්සේ මිරිහාන දෙසට හා නාවල දෙසට ගමන් කළ හැකි බවද එම කොට්ඨාශය කියයි.