සීනුවලට කෝටි 145 ක් වැය කළත් 298 ක් රේල්ලුවට දිවි පුදලා


අනතුරු ගණන 740ක්

සුජිත් හේවාජුලිගේ

දුම්රිය හරස් මාර්ග ගේට්ටුවල පවත්නා අනාරක්ෂිත බව හේතුවෙන් 2000 - 2022 කාල පරිච්ඡේදයේ දී පුද්ගලයන් දෙසිය අනූඅට දෙනකු මිය ගොස් 1054
දෙනකු තුවාල ලබා ඇතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

හරස් මාර්ග අනතුරු වැඩි සංඛ්‍යාවක් සිදුව ඇත්තේ 2000-2020 අතර කාලයේදීය. සිදුවූ අනතුරු සංඛ්‍යාව 740කි.


ජනතාවගේ හා වාහනකරුවන්ගේ ආරක්ෂාව සඳහා දුම්රිය මාර්ගය හරහා ගේට්ටුව යොදා ආරක්ෂා කිරීම දුම්රිය සාමාන්‍යාධිකාරිගේ වගකීමක් බව 1902 අංක 9 දරන ලංකා දුම්රිය ආඥා පනතේ 32 වගන්තියේ දැක්වේ. දුම්රිය හරස් මාර්ග 1962ක් ඇතත් ඉන් ආරක්ෂණ පද්ධති සවිකර ඇති ගණන 855කි.
මේ අතර ස්ථාපනය කරන ලද සීනු හා විදුලි පද්ධති දෙසීයෙන් 2023 ජුනි 20 වැනිදා වනවිට ඉන් පද්ධති පනහක් අක්‍රීයව පැවති බව විගණන නිලධාරීන්ට නිරීක්ෂණය වී ඇත. ඒ අනුව නාස්ති වී ඇති මුදල කෝටි 24කට වැඩිය. මේ හේතුවෙන් අපේක්ෂිත කාර්ය ඉටු කර ගැනීමට නොහැකි වී ඇති බව විගණන අංශ පවසයි.


දුම්රිය දෙපාර්තමේන්තුව 2000 වර්ෂයේ සිට 2021 දක්වා දුම්රිය හරස් මාර්ග ආරක්‍ෂණ සීනු හා ආලෝක පද්ධති ඉදිකිරීම සඳහා වැය කර ඇති මුදල  රුපියල් කෝටි 145කි.
දුම්රිය හරස් මාර්ගවල සිදුවූ අනතුරු හේතුවෙන් 2010 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා දුම්රිය එන්ජින් හා මැදිරිවලට සිදුවී ඇති හානිය රුපියල් තුන් කෝටි පනස් ලක්ෂයකට වැඩිය.


පුත්තලම මාර්ගයේ 16ක්  හා පහළ මාර්ගයේ තිහක් වශයෙන් සීනු හා විදුලි පද්ධති 50 ක් තවදුරටත් ක්‍රියා විරහිතව පවතින අතර මේ වෙනුවෙන් දරන ලද රුපියල් කෝටි 24කට වැඩි මුදල නාස්තිවී ගොස් ඇති බව පැවසේ. එමගින් අපේක්ෂිත කාර්ය ද ඉටු කර ගැනීමට නොහැකි වී ඇති බව නිරීක්ෂණය වී ඇත.
මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා දුම්රිය හරස් මාර්ග සඳහා ආරක්ෂණ පද්ධති ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් වූ විශේෂ විගණන වාර්තාවේය.