ශිරන්තිට ඇප


නිරෝෂාන් ප්‍රේමරත්න

ජාතික ඉතිරි කිරීමේ බැංකුවට අයත් රුපියල් මිලියන 10 ක මුදලක් අනීතික ලෙස ‘සිරිලිය සවිය අරමුදල’ ගිණුමට ලබාගැනීම සහ එම ගිණුමේ මුදල්  සාපරාධි සාවද්‍ය පරිහරණය සහ මූල්‍ය අක්‍රමිකතා සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම පසුගිය 16දා නියම කළේය.

බන්ධනාගාර ගත කිරීමෙන් පසුව ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සැකකාරිය සම්බන්ධයෙන් වෛද්‍ය මණ්ඩලයක් විසින් ඉදිරිපත් කර තිබූ වෛද්‍ය වාර්තාවේ සඳහන් සුවිශේෂී කරුණු සලකා බලා අධිකරණය මෙලෙස ඇප නියම කර තිබුණි. 

ඒ අනුව සැකකාරිය රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකාරියගේ විදේශ ගමන් තහනම් කරන ලෙසද නියෝග කරනු ලැබීය. 

එසේම විමර්ශනවල ප්‍රගතිය දෙසැම්බර් මස 11 වනදා අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලෙසත් නියෝග  කරනු ලැබීය.