සුජිත් හේවාජුලිගේ
අමාත්‍ය මණ්ඩල අනුමැතියට අනුකූල නොවන ආකාරයට විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විදේශ දූත මණ්ඩල සේවයට පත් කරනු ලැබ සිටි නිලධාරීන් 25 දෙනකු මෙරටට ආපසු කැඳවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
පැරණි බඳවා ගැනීමේ පටිපාටියේ සඳහන් සුදුසුකම් සපුරා නොමැති 8 දෙනකු ඇතුළු බාහිර අයැදුම්කරුවන් දාහතර දෙනකු ද පැරණි බඳවා ගැනීමේ පටිපාටිය අනුව තෝරාගන්නා ලද 19 දෙනකු ඇතුළු බාහිර අයැදුම්කරුවන් තිස්තුන් දෙනකු අමාත්‍ය මණ්ඩල අනුමැතියට අනුකූල නොවන ලෙස කාර්යාංශය විසින් බඳවාගනු ලැබ තිබූ බව වාර්තාව සඳහන් කරයි.
අමාත්‍ය මණ්ඩල අනුමැතිය පරිදි 2023 අප්‍රේල් මස 06 වැනිදා විදේශ දූත මණ්ඩල සඳහා පැරණි බඳවා ගැනීමේ පටිපාටිය අනුව අයැදුම්පත් කැඳවා තිබූ බවත් එම අවස්ථාවේ අයැදුම් කළ බාහිර අයැදුම්කරුවන්ගෙන් පිරිසක් නියමිත සුදුසුකම් සපුරා නොතිබූ බවත් විගණන වාර්තාවේ දැක්වේ.
එසේ වුවත් විෂය භාර අමාත්‍යවරයා නව බඳවා ගැනීම් පටිපාටිය අනුව එම පුරප්පාඩු සඳහාම නැවත වරක් බාහිර අයැදුම්කරුවන්ගෙන් පමණක් අයැදුම්පත් කැඳවන ලෙස 2023 සැප්තැම්බර් 7 වැනිදා කාර්යාංශයේ වැඩ බලන සභාපතිවරයාට අමාත්‍ය මණ්ඩල අනුමැතියට පටහැණිව ලිඛිතව නියෝග ලබාදී තිබූ බව විගණන නිලධාරීන් නිරීක්‍ෂණය කර ඇත.
මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලයේ 2024 වාර්ෂික වාර්තාවේ ය.

