රටින් කෑම ගේන්න මාස පහට කෝටි 23,000 ක්


සුජිත් හේවාජුලිගේ

එළවළු, පලතුරු, රස කැවිලි, කිරි යනාදී ආහාර ද්‍රව්‍ය ඇතුළු පාරිභෝගික භාණ්ඩ ආනයනය සඳහා මේ වසරේ මුල් මාස පහේදී රුපියල් කෝටි හතළිස් එක් දහස් පන්සිය දොළහකට (41,512) වැඩි මුදලක් වැය කර ඇතැයි මහ බැංකු වාර්තාවල දැක්වෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථීක විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.

මින් ආහාරපාන සඳහා වැය කර ඇති මුදල රුපියල් කෝටි විසි තුන් දහස් තුන්සියයක් බවද  ඔහු සඳහන් කළේය.


විදේශයන්ගෙන් එළවළු ආනයනය කිරීමට මේ වසරේ මුල් මාස  පහේදී රුපියල් කෝටි  හාර දහස්  හය සිය තිස් හතක්ද, සීනි සහ රසකැවිලි ආනයනය සඳහා කෝටි හත්දහස් තුන්සිය හතළිස් හතරක්ද ධාන්‍ය සහ ඇඹරුම් කර්මාන්ත නිෂ්පාදන ආනයනය සඳහා  කෝටි එක් දහස් හයසිය  අනූවක්ද  කිරි නිෂ්පාදන ආනයනය සඳහා කෝටි තුන් දහස්  හත් සිය  පහක්ද මුහුදු ආහාර ආනයනය සඳහා කෝටි  හයසිය පනස් තුනක්ද කුළු බඩු ආනයනය සඳහා රුපියල් කෝටි එක් දහස් අට සිය විසි හයක්ද පලතුරු ආනයන සඳහා කෝටි පන් සිය අනූ දෙකක් සහ  පාන වර්ග සඳහා කෝටි  අටසිය හතළිස් අටක්ද මෙලෙස වැය කර ඇතැයි පවසන මහාචාර්යවරයා ඖෂධ සහ වෛද්‍ය උපකරණ ගෙන්වීම සඳහා කෝටි දස දහස් දෙසිය තිහක්ද ගෘහ භාණ්ඩ ආනයනය සඳහා රුපියල් කෝටි එක් දහස් දෙසිය අනූ අටක් සහ  ඇඳුම් පැළඳුම් ආනයනය සඳහා කෝටි දෙදහස් හාර සිය දාහතරක්ද වැය කර ඇති බව ප්‍රකාශ කළේය.


රටේ ආනයන ප්‍රතිපත්තිය ලිහිල් කිරීම හේතුවෙන් ආනයන වියදම ඉදිරියේදී විශාල වශයෙන් වැඩි විය හැකි බවත් දේශීය නිෂ්පාදනය වැඩි කිරීමෙන් ආනයන වියදම සැලකිය යුතු ලෙස  අඩු කරගත හැකි බවත් වසන්ත අතුකෝරළ මහතා පෙන්වා දුන්නේය.


මේ අතර  ආයෝජන භාණ්ඩ ආනයනයට මෙම කාල පරිච්ඡේදයේදී  රුපියල් කෝටි  තිස් දෙදහස් හත් සිය දොළහක් වැය කර ඇතැයි මහ  බංකු වාර්තාවල දැක්වෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.