රෝගීන් බලාගන්න දවසට 4,500ක් ගත්තත් සේවය ප්‍රමිතියෙන් තොර බවට චෝදනා


ඉන්දික හේවාවිතාරණ

රෝහල්ගත රෝගීන්ට උපස්ථාන සේවා සපයන ඇතැම් ආයතන විසින් දිනක සේවා සැපයීම වෙනුවෙන් අධික ලෙස මුදල් අයකරමින් තිබෙන බවත් පුහුණු සේවකයන් යොදවන බවට සඳහන් කළත් ඇතැම් සේවකයන්ට රෝගී සත්කාර සේවා පිළිබඳව නිසි දැනුමක් නොමැති  බවත් රෝගී ජනතාවගේ ඥාතීහු සඳහන් කරති.

බෝහෝ රෝහල් අවට පවත්වාගෙන යන මෙවැනි බොහොමයක් ආයතන රජයේ ලියාපදිංචි ආයතන ලෙස හඳුන්වා දෙනු ලැබුවත් ඇතැම් ආයතන විසින් පැය 24 කාලයකට සේවකයෙකු යෙදවීමේදී රුපියල් 4500ක් වැනි මුදලක් අයකරන බවද සමහර ආයතන සේවකයන් යෙදවීමේ දී සේවකයන්ට ආහාර සැපයීමට පවා සිදුව තිබෙන බවද ඔවුහු පෙන්වා දෙති.

මේ ආකාරයට සේවයට යොදවන ඇතැම් සේවකයන් එකවර රෝගීන් දෙදෙනෙකු හෝ තුන් දෙනෙකුට සේවා සපයන අවස්ථා තිබෙන බවත් සේවාවට අදාළ පුහුණුව ලත් සේවකයන් යොදවන බවට සඳහන් කළත් බොහෝ සේවකයන්ට රෝගියෙකුට සාත්තු කිරීමට අදාළ නිසි දැනුමක් නොමැති බවත් ඔවුහු සඳහන් කරති.

‍මෙම  ආයතන නියාමනයකට ලක්කර රෝගී සත්කාර සේවා  සඳහා පුහුණුව ලත් සේවකයන් පමණක් යෙදවීමේ වැඩපිළිවෙළක් අවශ්‍ය බවද රෝහල්ගත රෝගියෙකුට උපස්ථාන කටයුතු සිදුකිරීමට යම් පුද්ගලයෙකු යෙදවීමට අවශ්‍ය බවට රෝහල මගින් දැන්වීමෙන් පසු පවුලේ ඥාතියෙකු යෙදවීමට නොහැකි වන අවස්ථාවෙහිදී  උපස්ථායක සේවාවල සහාය ලබා ගැනීමට සිදුව තිබෙන බවද පවසති.

හෘදය ආශ්‍රිතව සිදුකරන සැත්කම්වලින් පසුව හෝ බරපතළ සැත්කම් සිදුකළ පසු රෝගියාගේ සත්කාර කටයුතු සඳහා පුහුණු සේවකයන් යෙදවීමට සිදුවෙන අවස්ථාවලදී උපස්ථායක සේවා ආයතනවල සේවකයන්ගේ සහාය ලබාගැනීම සිදුවෙන අතර මේ ආකාරයට උපස්ථායක සේවකයෙකුගේ සේවය ලබාගැනීමේදී ඇතැම් රෝහල් සේවකයන් විසින් ආයතන තෝරා දෙන බව රෝගීන්ගේ ඥාතීහු සඳහන් කරති.

ඇතැම් රෝගීන් වෙනුවෙන් අඛණ්ඩව දින 25 ක් 30 ක් වැනි කාලයකට  සේවකයෙකුගේ සේවා ලබාගැනීමට සිදුව තිබේ. ඇතැම් රෝගීන් වෙනුවෙන් මාසයකට දින කිහිපයක් වශයෙන් මාස ගණනාවකට සේවකයන්ගේ සහාය ලබාගැනීමට සිදුව ඇත.