බස් ආපණශාලාවලට අධිකාරිය කඩාපනී


නිලු‍කා කුමාරතුංග

දිවයින පුරා පිහිටි ප්‍රධාන බස් නැවතුම්පොළ හා දුරගමන් බස් නැවතුම්පොළ ආශ්‍රිතව පවත්වාගෙන යන වෙළෙඳසල් සහ ආපණශාලා ඉලක්ක කරගනිමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරයි.

මේ යටතේ වැටලීම් 211 ක් සිදුකර ඇති අතර, එහිදී පාලන මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන ආයතන කිහිපපයක්ම නීතියේ රැහැනට හසුකරගත් බැව්, එම අධිකාරියේ ප්‍රකාශකයෙක් “ඉරිදා ලංකාදීප”යට ප්‍රකාශ කළේය. 

මහජනතාව සහ මගීන් නිරන්තරයෙන් ගැවසෙන ප්‍රවාහන මධ්‍යස්ථාන ආශ්‍රිතව සිදුවන අසාධාරණ වෙළෙඳ අක්‍රමිකතාවලින් පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම මෙම වැඩපිළිවෙළෙහි අරමුණ වූ බැව් ද එම ප්‍රකාශකයා පැවසීය. නිෂ්පාදකයා විසින් සඳහන් කර ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා බීම වර්ග, කෙටි ආහාර සහ ඇසුරුම් කළ ආහාර අලෙවිය සහ මිල ගණන් ප්‍රදර්ශනය නොකිරීම ඇතුළු වැරදි රැසක් මෙහිදී අනාවරණය විය.

මෙම වෙළෙඳසල් සහ ආපණශාලාවලට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරි පනත යටතේ මහේස්ත්‍රාත් අධිකරණවල නඩු පැවරීමට කටයුතු යොදා තිබේ.

මගී ජනතාවට නියමිත මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන සහ ප්‍රමිතියෙන් තොර ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බැව් ද, එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.