පොලිස්පතිගේ නිලනිවාස චක්‍රලේඛයෙන් පොලිස් පොඩ්ඩෝ අමාරුවේ


ගයාන් සූරියආරච්චි

වසර 5 කට වැඩි කාලයක් පොලිස් නිල නිවාසවල රැඳීසිටින පහළ ශ්‍රේණියේ පොලිස් නිලධාරීන්ගේ වැටුපෙන් දණ්ඩන කුලී, රජයේ නිල නිවාස කුලී සහ ජනවාරි මාසයේ සිට හිඟ දණ්ඩන මුදල් කපා හැරීමෙන් තමන් කබලෙන් ළිපට වැටී ඇති බව ඔවුහු පවසති.

 

දුර පළාත්වල සිට කොළඹට මාරුවීම් ලැබ පොලිස් නිල නිවාසවල ජීවත්වීමේදී ඒ වෙනුවෙන් මාසිකව කුලී ගෙවීම සාමාන්‍ය පරිදි සිදුකළ ද වසර 5 කට වැඩි කාලයක් පොලිස් නිල නිවාසවල රැඳීසිටින නිලධාරින් ඉන් ඉවත් විය යුතු බවට ඉකුත් 2025 වසරේ පොලිස්පතිවරයාගේ නියෝග මත නිකුත් කළ චක්‍රලේඛයෙන් අනතුරුව තමන් ඉතා දුෂ්කර තත්ත්වයට පත්ව ඇති බව ඔවුහු කියති.

නිල නිවාසවලින් ඉවත්ව කොළඹ නගරයෙන් කුලී පදනම මත ගෙයක් ලබාගැනීමේදී අත්තිකාරම් වශයෙන් විශාල මුදලක් ලබාදීමට සිදුවන අතර නැවත ගමට ගියහොත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වන බවද ඔවුහු කියති.

සමහර දරුවන් පාසල් ක්‍රිකට් කණ්ඩායම, වෙනත් ක්‍රියාකාරකම් සහ අමතර පන්ති යාම් කරන අතර ගමට ගිය හොත් ඔවුන්ගේ අනාගතය සම්පූර්ණයෙන්ම වෙනස්වීමට ඉඩ ඇති බව බවද ඔවුහු කියති.

වසර 5 ක කාලයක් ඉක්මවා ඇති පොලිස් පොදු සේවා නිල නිවාසවල පදිංචි නිලධාරීන්ට ඉන් ඉවත්වීම සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ අත්සනින් යුත් චක්‍රලේඛයක් නිකුත් කර තිබුණේ ඉකුත් 2025 මුලය.

එම කාලය අතරතුර සේවා අවශ්‍යතාව මත හෝ වෙනත් සුවිශේෂී කරුණක් මත අදාළ නිල නිවෙසේ කිසියම් කාලයක් තවදුරටත් පදිංචිව සිටීමට අදහස් කරන්නේ නම් පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හෝ ක්‍රියාකාරී කොට්ඨාස අධීක්ෂණ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා විසින් නිර්දේශ කරනු ලැබ පොලිස්පතිවරයා වෙත යොමු කළ යුතු බවද එහි සඳහන් විය.

එලෙස ඉදිරිපත් කරනු ලබන කරුණු සම්බන්ධයෙන් සලකා බැලීමට පොලිස්පතිවරයා විසින් කමිටුවක් පත්කරනු ලැබ එම කමිටුව මගින් නිකුත් කරනු ලබන නිර්දේශ සලකා අවස්ථානුකූලව නිල නිවාස ලබාදෙන්නේ ද යන්න පොලිස්පතිවරයා තීරණය කරන බව චක්‍රලේඛයේ සඳහන් වේ.

පොලිස් නිල නිවාසයක් ලබාගැනීම හෝ එහි රැඳීසිටීම නිලධරයන්ගේ අයිතිවාසිකමක් නොව වරප්‍රසාදයක් බවත් නිලධරයන් දීර්ඝකාලීනව එම වරප්‍රසාදය භුක්තිවිඳීමෙන් සෙසු නිලධරයන්ට එම වරප්‍රසාදය අහිමිවන බවද එහි සඳහන් විය.

මේ සම්බන්ධයෙන් අප පොලිසියේ උසස් නිලධාරියකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ නිල නිවාසවල සිටින අදාළ නිලධාරීන්ට කළ දැනුම්දීම්වලින් අනතුරුව ආයතන සංග්‍රහයේ දැක්වෙන පරිදි දණ්ඩන කුලිය, නිවාස කුලිය සහ තක්සේරු වටිනාකම අය කරගැනීමට පසුගිය ජනවාරි මාසයේ සිට කටයුතු කර ඇති බවය.

2025 වසරේදී පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් වසර 5 ට වැඩි නිල නිවාසවල සිටින නිලධාරීන්ට ඉවත්ව යාම සඳහා මාස 6 ක සහන කාලයක් ලබාදුන් අතර පසුව දෙසැම්බර් මස දක්වා එම කාලය දීර්ඝ කර තිබූ බව පැවැසූ එම උසස් නිලධාරියා කියා සිටියේ විශේෂ හේතු සහිත නිලධාරීන්ට ඒවා ඉදිරිපත් කිරීම සඳහා පොලිස්පතිවරයා තවමත් අවස්ථාව ලබාදී ඇති බවය.

සමහර නිලධාරීන් තමන්ගේ අපහසුතාව දක්වා අභියාචනාවක් හෝ යොමු නොකර බලා සිටි අතර ඉකුත් දෙසැම්බර් මස 31 වැනිදායින් පසුව නිල නිවාසවලින් ඉවත් නොවූ නිලධාරීන්ට ලිඛිතව දැනුම්දීමක් ද කර ඇති බවත් ඔහු කීවේ ය.

අදාළ නිවාස පිළිබඳ තොරතුරු තක්සේරු දෙපාර්තමේන්තුවට යවා එමගින් ලැබෙන තක්සේරු වටිනාකම අනුව ඉකුත් ජනවාරි මාසයේ සිට එම මුදල ඔවුන්ගෙන් අය කරගැනීමට පොලිසිය කටයුතු කර ඇති බවත් කොළඹ ප්‍රදේශයේ පවතින පොලිස් නිල නිවාස සඳහා පොරොත්තු ලේඛනයේ 200 කට වැඩි සංඛ්‍යාවක් සිටින බවත් එම නිලධාරියා පැවැසීය.

සමහර නිලධාරින් ඔවුන්ගේ දරුවන් කොළඹ පාසල්වලට ඇතුළත් කර එම දරුවන් උසස් පෙළ සමත්වී විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් වනතුරු එම නිල නිවාසවල රැඳීසිටින බවද එම උසස් නිලධාරියා කීය.