නිමල කොඩිතුවක්කු
සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතුව ඉදිරියේ දී නව සන්ධානයක් ලෙස කටයුතු කරන බවත් ඉදිරි පළාත් සභා මැතිවරණය මෙම නව සන්ධානය වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණය කරන බවත් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පැවසීය.
වැඩිම ජනතා කැමැත්තක් ඇති සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන පරිණතභාවයට වටිකාමක් දෙමින් මෙම නව සන්ධානය ගොඩනැගෙන බවත් මහලේකම්වරයා සඳහන් කළේ ය.
එක්සත් ජාතික පක්ෂයත් සමගි ජනබලවේගයත් එකතු විය යුතුය යන මතයේ එක්සත් ජාතික පාක්ෂිකයන් සහ සමගි ජනබලවේගයේ පාක්ෂිකයන් සිටින බවත් ඔහු පැවසීය.
එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරන සියලු සාකච්ඡාවල වගකීම පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ වනවිට භාර ගෙන ඇති බවත් මද්දුමබණ්ඩාර මහතා කීවේය. එම සාකච්ඡා සාර්ථක වෙමින් ඉදිරියට ගමන් කරමින් තිබෙන බවත් සුදුසු වේලාවේදී පක්ෂ දෙක එකතුවීම සිදුවන බවත් මහලේකම්වරයා සඳහන් කළේ ය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පක්ෂය අතර තීරණාත්මක සාකච්ඡාවක් පසුගියදා (30) පැවැත්විණ. එම හමුව නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, උපනායක අකිල විරාජ් කාරියවසම් සහ උපසභාපති නවීන් දිසානායක යන මහත්වරු ඒ සඳහා එක්ව සිටියහ.

