ප්‍රමිතියෙන් තොර බඩ ඉරිඟු තොගයකින් ආහාර නිෂ්පාදනය කිරීම ගැන පරීක්ෂණ


යොහාන් භාසුර

සත්ව ආහාර සඳහා ආනයනය කළ ප්‍රමිතියෙන් අඩු බඩ ඉරිඟු‍ මෙට්‍රික් ටොන් 200 ක් හෙවත් කිලෝග්‍රෑම් ලක්‍ෂ 2 කට ආසන්න දැවැන්ත තොගයක් ශ්‍රී ලංකාවේ ජනතාව ආහාරයට ගන්නා සුවිශේෂ පෝෂ්‍යදායක ආහාරයක් නිෂ්පාදනය කිරීමට යොදාගෙන ඇතැයි කියන සිද්ධියක් පිළිබඳව රේගු දෙපාර්තමේන්තුව පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.  

නෞභාරපත් 4 කින් ආනයනය කර ඇතැයි කියන මෙම බඩඉරිඟු‍ තොගය රුපියල් කෝටි 18 කට ආසන්න වටිනාකමින් යුත් බවත් අදාළ බඩ ඉරිඟු‍ තොගයෙන් සංවේදී පෝෂ්‍යදායක ආහාර මේ වන විටත් නිෂ්පාදනය කර ඇති බවත් රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

මෙම ප්‍රමිතියෙන් තොර බඩඉරිඟු‍ තොගය ආනයනකරුවන් කීප දෙනෙකු විසින් ආනයනය කර එක සැපයුම්කරුවෙකු අදාළ ආහාර නිෂ්පාදන සමාගමට සපයා ඇති බවත් එම සුවිශේෂ පෝෂ්‍යදායක ආහාර නිෂ්පාදනයට ගන්නා මිනිස් පරිභෝජනයට සුදුසු බඩඉරිඟු‍ සහ සත්ව ආහාරයට හා සත්ව ආහාර නිෂ්පාදනයට ගන්නා බඩඉරිඟු‍ අතර ප්‍රමිතියේ විශාල වෙනසක් ඇති බවත් ඔහු සඳහන් කළේය.

මිනිස් පරිභෝජනය සඳහා බඩ ඉරිඟු‍ ආනයනය කිරීමට ජාතික ශාක නිරෝධායන සේවයෙන් විශේෂ බලපත්‍රයක් ගතයුතු අතර එම බලපත්‍රය ලැබීමෙන් පසුව ප්‍රමිතියෙන් යුත් බඩඉරිඟු‍ ආනයනය කිරීමට ආනයන අපනයන පාලකවරයාගේ අනුමතිය හිමි වෙන බව කියන රේගු මිනිස් පරිභෝජනය සඳහා බඩ ඉරිඟු‍ ආනයනය කිරීම සඳහා ජාතික ශාක නිරෝධායන සේවයෙන් විශේෂ බලපත්‍රය ගැනීම සඳහා විශේෂ ක්‍රමවේදයක් පැවතීම හේතුවෙන් කූට ව්‍යාපාරිකයන් ජනතාවගේ සෞඛ්‍ය පිළිබඳව කිසිදු තැකීමක් නොකර මෙවැනි ක්‍රියාවන් කරන බව ද සඳහන් කළේය.  

මෙම සිද්ධිය පිළිබඳව අදාළ ආහාර නිෂ්පාදන ආයතනයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමක දී පැවසුවේ බඩඉරිඟු‍වල ඇෆ්ලටොක්සින්’ ප්‍රමාණය පිළිබඳ ගැටලු‍වක් ඇති බවත් රේගු දෙපාර්තමේන්තුව සහ එම ආහාර නිෂ්පාදනය ආයතනය ඇෆ්ලටොක්සින්’ ප්‍රමාණය ගණනය කරන ආකාරයේ වෙනසක් ඇති බවත්ය.

එම ආයතනයට ගන්නා සියලු‍ම බඩඉරිඟු‍ තොගවල ප්‍රමිතිය පිළිබඳව නියමිත පරීක්‍ෂාව කර නිෂ්පාදනයට යොදවන බවත් බඩඉරිඟු‍ තොගයක් පිළිබඳව පරීක්‍ෂණයක් කරන්නේ යැයි දැනුම්වත්ව සිටින බවත් එම ආහාර නිෂ්පාදන ආයතනයේ උසස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.