නොසැලකිල්ලෙන් ඖෂධ නියාමනයේ කෝටි 19ක් කා දමලා


සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ 

ජාතික ඖෂධ නියාමන අධිකාරිය සිය සේවා ගාස්තු කලට වේලාවට සංශෝධනය කිරීම පැහැර හැරීම හේතුවෙන් රු. කෝටි 19 කට ආසන්න ආදායමක් පසුගිය 2021 වර්ෂයේ දී අහිමිව ගොස් ඇතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලු‍ත්ම වාර්තාවක සඳහන් වේ.


මෙසේ අහිමිව ඇත්තේ ඖෂධ, වෛද්‍ය උපකරණ සහ වෙනත් නිෂ්පාදන සම්බන්ධයෙන් ලියාපදිංචි සහතික නිකුත් කිරීම, බලපත්‍ර ලබාදීම, ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ අනුමැතිය, ඇසුරුම් කිරීම සඳහා අනුමැතිය, නියෝජිත ආයතන පැවරීම සඳහා අනුමැතිය, පරීක්ෂණ පැවැත්වීම සහ සපයනු ලබන අනෙකුත් සේවා වෙනුවෙන් අය කෙරෙන ගාස්තුවලින් කොටසක් බව ද එම වාර්තාවේ දැක්වේ.


මෙම සේවා වෙනුවෙන් අය කෙරෙන ගාස්තු අවසන් වරට සංශෝධනය කර තිබුණේ 2018 වර්ෂයේ ජනවාරි 5 වැනිදා බවත්, 2021 වර්ෂයේ දී ගාස්තු සමාලෝචනය කර අදාළ සංශෝධන භාණ්ඩාගාර අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු වුවත් අධිකාරියේ  බලධාරීන් ඒ අනුව කටයුතු කර නොතිබූ බවත්  ජාතික විගණන කාර්යාලය පවසයි.


මේ අතර නිලධාරීන්ගේ අතපසුවීම්  හා වෙනත් විවිධ ගැටලු හේතුවෙන් 2021 වර්ෂයේ අවස්ථා 18 කදී රු. ලක්ෂ දහ දාහකට වැඩි ආදායමක් විවිධ ආයතනවලට ආපසු ගෙවා තිබූ බවත් වාර්තාවේ සඳහන් වේ.


ජාතික ඖෂධ නියාමන අධිකාරියට 2019 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා වසර තුනේ දී ලැබී තිබූ ඖෂධ සාම්පල් අතරින් 91 ක් සඳහා 2022 වර්ෂයේ ජූලි මස 31 වැනිදා වනවිටත් පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කර නොතිබූ බව පවසන විගණන  වාර්තාව ඉන් හතළිස් දෙකක්ම අධිකරණය ඉදිරිපත් කළ සාම්පල් බව ද  සඳහන් කරයි.
අධිකරණ කටයුතු සැලකිය යුතු කාලයක් ප්‍රමාදවීමට එයද හේතුවක් බව වාර්තාවේ දැක්වේ. මේ අතර පෞද්ගලික අංශයේ වෛද්‍ය උපකරණ ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ඉල්ලු‍ම් පත් 207ක් සඳහා අය කළ හැකිව තිබුණු රු. කෝටියකට වැඩි ගාස්තුද 2021 වර්ෂයේ දී  නිලධාරීන්ගේ අඩුපාඩු හේතුවෙන් අහිමිව ගොස් ඇතැයි  විගණන වාර්තාව සඳහන් කරයි.