දුෂ්කර පාසල් 10කට චන්ද්‍රිකා අන්තර්ජාල පහසුකම්


නිරෝෂාන් ප්‍රේමරත්න

භූගෝලීය දුෂ්කරතා හේතුවෙන් කිසිදු සාමාන්‍ය ක්‍රමයකින් අන්තර්ජාල පහසුකම් සැපයිය නොහැකි දුෂ්කර පාසල් 10ක් සඳහා  චන්ද්‍රිකා අන්තර්ජාල පහසුකම් සැපයීම අධ්‍යාපන අමාත්‍යාශය පියවර ගනිමින් සිටින බව පසුගියදා පැවති  අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අනාවරණය විය. 

එසේම සාමාන්‍ය විදුලි සංදේශ ජාල මගින් අන්තර්ජාල සබඳතා ලබා ගැනීමට අපහසු පාසල් 334ක් සඳහා වයිෆයි (Wi Fi) පහසුකම් ලබා දීමටත් මෙහිදී අනුමැතිය හිමිවී තිබේ. 

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සභාපතිත්වයෙන් පැවති  මෙම කාරක සභාවෙදී  තෝරාගත් ප්‍රාථමික පාසල් 169ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය විමසා බැලීද සිදුකෙරුණි.

පාසල්වල පානීය ජලය සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා වෙන් කළ මුදල්, මූල්‍ය වර්ෂය අවසන් වීමට පෙර පූර්ණ ලෙස ප්‍රයෝජනයට නොගෙන ආපසු යාම වැළැක්වීම සඳහා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් ප්‍රගතිය අධීක්ෂණය කිරීමට ද අගමැතිවරිය විසින් මෙහිදී උපදෙස් ලබා දෙන ලදී.

එසේම විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ඉගෙනුම ලබන පාසල්වල පවතින වැසිකිළි හා ප්‍රවේශ පහසුකම්වල දැඩි ඌනතා පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරුණි. එම පාසල් සඳහා පවතින අවශ්‍යතා පිළිබඳව ජාතික විගණනයක් සිදු කිරීමටත් විශේෂ ප්‍රතිපාදන යොදවා දරුවන්ට පහසුවෙන් භාවිත කළ හැකි ගොඩනැගිලි හා සනීපාරක්ෂක පහසුකම් කඩිනමින් ඉදිකිරීමටත් උපදෙස් ලබා දීම සිදු විය.

එමෙන්ම පෙර පාසල් අධ්‍යාපනය නියාමනය කිරීම, ගුරු පුහුණු රාමුව විධිමත් කිරීම සහ අනවසර බාහිර ආයතන මගින් නිසි ප්‍රමිතියකින් තොරව සහතික පත්‍ර නිකුත් කිරීම වැළැක්වීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ අවශ්‍යතාවය ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

පරිවාස භාරයේ පසුවන දරුවන්ට අනවශ්‍ය බාධාවකින් තොරව නගරාසන්න හා ජාතික පාසල්වලට ඇතුළත් වීමට හැකි වන පරිදි පොදු මාර්ගෝපදේශ සහ චක්‍රලේඛ ක්‍රියාත්මක කිරීමටත් කාරක සභාව විසින් උපදෙස් දෙන ලදී.