ගිය අවුරුදු තුනේ දී නවදාහකට ජීවිත එපා වෙලා


සුජිත් හේවාජුලිගේ

ආර්ථික ප්‍රශ්න ඇතුළු විවිධ කාරණා හේතුවෙන් සිදුවී ඇති සියදිවි හානිකර ගැනීම් 9700 ක්  පසුගිය වසර තුනේ දී  වාර්තාවී ඇතැයි පොලිස් වාර්තාවල දැක්වෙන බව පේරාදෙණිය  විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.


පසුගිය වසරේ දී (2022) පමණක් සිය දිවි හානිකර ගැනීම් 3406 ක් වාර්තාවී ඇති බව ද හෙතෙම සඳහන් කළේය. පසුගිය වසරේ දී සිය දිවි හානිකර ගැනීම් සෙසු  වසරවලට සාපේක්ෂව සියයට 10 කින් ඉහළ ගොස් ඇතැයි පවසන මහාචාර්යවරයා ඉන් වැඩි පිරිසක් පිරිමි අය බව ද ප්‍රකාශ කළේය. එය ප්‍රතිශතයක් ලෙස සියයට අසූ තුනක් බව ද ඔහු පැවසුවේය.


කාන්තාවන්ගේ එම ප්‍රතිශතය සියයට 17 ක් බවත් තරුණ කාණ්ඩයේ සියදිවි හානිකර ගැනීම් (වයස 21 -30) සියයට 19 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් අතුකෝරල මහතා පැවසීය.


ආර්ථික ප්‍රශ්න හේතුවෙන් සිය දිවි හානි කරගත් සංඛ්‍යාව සියයට 5.6  කි. මෙයට අමතරව පවුල් ආරවුල් හේතුවෙන් සියයට17.6 ක්ද ප්‍රේම සම්බන්ධතා හේතුවෙන් සියයට 9.4ක්ද මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් සියයට අටක් ද මානසික රෝග හේතුවෙන් සියයට 12 ක්ද මෙසේ සියදිවි හානි කරගෙන ඇතැයි හෙතෙම සඳහන් කළේය.
මෙම සංඛ්‍යා දත්ත අනුව ලංකාවේ සෑම දවසකම නව දෙනකු සිය දිවි හානි කර ගන්නා බව පෙනී යන්නේ යැයි පැවසූ මහාචාර්යවරයා ඒඅනුව පැය හතරකට වරක් සියදිවි හානි කර ගැනීමක් සිදුවන බවටද  තක්සේරු කළ හැකි යැයි ප්‍රකාශ කළේය.


දකුණු ආසියාවේ සියදිවි හානිකර ගැනීම් වැඩිම රට ශ්‍රී ලංකාව බව ද  ඔහු කීවේය. සියදිවි හානි කර කරගත් කරගත් කණ්ඩායමෙන්  වැඩිම පිරිස අට සමත් අය බවත් එම ප්‍රමාණය සියයට 33ක් බවත් වසන්ත අතුකෝරළ මහතා පැවසීය. මේ අතර සාමාන්‍ය පෙළ සමත් අය සියයට 32ක්ද අපොස උසස් පෙළ සමත් අය සියයට 6 ක්ද උපාධි හෝ ඊට වැඩි සුදුසුකම් ඇති අය සියයට 64 ක්ද මේ කණ්ඩායමේ සිටින බව මහාචාර්යවරයා කීවේය.