ඖෂධ හිඟය උග්‍රයි


වෛද්‍යවරු රට හැර යාමත් නැවතී නැහැ

ඉන්දික හේවාවිතාරණ

වෛද්‍ය හිඟයට අමතරව මේ වන විට රෝහල්වල ඖෂධ වර්ග එකසිය පනහත් දෙසීයත් (150-200) අතර ප්‍රමාණයක හිඟයක් ඇති වී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. වෛද්‍යවරුන් රට තුළ රඳවාගැනීමේ වැඩපිළිවෙළක් සකසන ලෙසට ගෙවීගිය කාලය පුරාම බලධාරීන්ගෙන් ඉල්ලා සිටියත් මෙතෙක් ඒ සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට බලධාරීන්ට නොහැකි වී තිබෙන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලු‍ත්ගේ මහතා සඳහන් කළේය.

මේ නිසා මේ සතිය තුළද තම සංගමයේ මධ්‍යම කාරක සභාව කැඳවා අදාළ ගැටලුව විසඳාගැනීම සඳහා වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබෙන බවද පවසා සිටියේය.
සේවාවට සරිලන ප්‍රමාණවත් වැටුපක් නොලැබීම නිසා හා ඇති වී තිබෙන ආර්ථික අර්බුදයත්, යහපත් වෘත්තීය පරිසරයක් නොමැති වීමත් සහ රට තුළ පවතින සමාජ ආර්ථික අස්ථාවරත්වයත් හේතුවෙන් වෛද්‍යවරුන් රට හැර යමින් තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.


මේ අනුව, පසුගිය වසර තුළදී  විශේෂඥ වෛද්‍යවරුන් හා ශ්‍රේණි වෛද්‍යවරුන් එක්දහස් හත්සීයකට (1700) අධික ප්‍රමාණයක් රටට අහිමි වී තිබෙන බවද ඔහු සඳහන් කළේය. මීට අමතරව, වෛද්‍යවරුන් පන්දහසකට (5000) වැඩි පිරිසක් වෙනත් රටකට ගොස් සේවය කිරීමට අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණකරගෙන  තිබෙන බවත්, මේ අනුව නුදුරේදීම තවත් වෛද්‍යවරුන් රටට අහිමි විය හැකි බවද පවසා සිටියේය.


වෛද්‍යවරු නොමැතිවීම නිසා පසුගිය වසර තුළදී කුඩා රෝහල් 20 කට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම වැසී ගොස් තිබෙන බවත් ඉදිරියේදී තවත් රෝහල්  400 කට ආසන්න ප්‍රමාණයක විශේෂඥ වෛද්‍ය ඒකක අඩපණ වීමේ අවදානමක් මතුවී තිබෙන බවද සඳහන් කළේය.


වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීමට අදාළව 08 වැදෑරුම් යෝජනාවලිය බලධාරීන්ට භාර දී තිබෙන බවත් එහෙත් ඒ පිළිබඳවවත් කිසිදු වැඩපිළිවෙළක් සකස් කර නොමැති බවත්, ඖෂධ හිඟය විසඳාගැනීමට නිලධාරීන් යම් උත්සහයක් ගනිමින් තිබෙන බවද පවසා සිටියේය.


පවතින ඖෂධ හිඟය විසඳා ගැනීමට තවත් මාස කිහිපයක් ගතවිය හැකි බවත්,  වෛද්‍යවරුන් රට හැරයාම ශීඝ්‍ර වුවහොත් එම ගැටලුව විසඳා ගැනීමට නොහැකි බවද සඳහන් කළේය.