ඇප ගෙවාගන්න බැරි තුන්දාහක් දිගටම හිරේ - පහසුකම් දීමට විශාල මුදලක් වැය කරලා


සුජිත් හේවාජුලිගේ

ඇප තැබීමට සහ දඩ ගෙවීමට මුදල් නොමැතිවීම නිසා පුද්ගලයන් තුන්දහසකට අධික සංඛ්‍යාවක් වසර ගණනාවක් තිස්සේ බන්ධනාගාරවල රඳවාගෙන සිටිතියි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලු‍ත්ම වාර්තාවක සඳහන් වේ.

දඩ ගෙවීමට නොහැකිව බන්ධනාගාර 28ක පුද්ගලයන් 1940 දෙනකු සිටින අතර, ඇප මුදල් තැබීමට නොහැකිව බන්ධනාගාර 21 ක  පුද්ගලයෝ 1431 දෙනෙක් සිටිති.

බන්ධනාගාරවල තදබදය වැඩිවීමට මෙය ප්‍රධාන සාධකයක් බව එම වාර්තාව පෙන්වා දෙයි.

එසේම මුදල් නොමැතිකම නිසා නිදහස්ව යෑමට නොහැකි වීමෙන් පීඩනයට පත්ව සිටින මෙවැනි පිරිස් බන්ධනාගාර අරගලවලට මූලිකත්වය දෙමින් කටයුතු කරන බව පෙනී ගොස් ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

බන්ධනාගාරවල නිකරුණේ රැඳීසිටින මෙම රැඳවියන්ගේ ආහාරපාන ඇතුළු පහසුකම් වෙනුවෙන් රජයට විශාල මුදලක් වාර්ෂිකව වැය කිරීමට  සිදුව ඇති බව බන්ධනාගාර ප්‍රධානීහු පෙන්වා දෙති.

ඇප නියමවී මාස පහකට වැඩි කාලයක් තිස්සේ බන්ධනාගාරවල රැඳී සිටින රැඳවියන් සංඛ්‍යාව 325ක් බවත්, දිවයින පුරා බන්ධනාගාර ආයතන 21 ක ගිය වසර වනවිට මෙම තත්ත්වය දක්නට ලැබුණු බවත්, ජාතික විගණන කාර්යාලය පවසයි.

මුදල් නොමැතිකම මෙන්ම සමහර අවස්ථාවලදී ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම සහ ඇප තැබීමට ඥාතීන් ඉදිරිපත් නොවීම යන හේතු ද මීට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව විගණන විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත.

මේ සම්බන්ධයෙන් අප බන්ධනාගාර ප්‍රධානියකුගෙන් කළ විමසුමක දී ඔහු පැවසුවේ, සමහර අවස්ථාවලදී මෙවැනි තත්වයක් දක්නට ලැබෙන බවයි.

මෙම ගැටලු‍වලට විසඳුම් සොයා ගැනීමට සාකච්ඡා පැවැත්වෙන බව ද ඔහු සඳහන් කළේය.