අල්ලස දූෂණයෙන් පොලීසිය මුලටම


මීළඟට පාර්ලිමේන්තු සහ පුංචි ආණ්ඩු මන්ත්‍රීන් ඉදිරියෙන්

පේරේ සමීක්ෂණයකින් හෙළිවේ

සුජිත් හේවාජුලිගේ

රටේ අල්ලස දූෂණය වැඩියෙන්ම සිදුවෙන ආයතනය ලෙස ශ්‍රී ලංකා පොලීසිය හඳුනාගෙන ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ  ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්යවරුන් දෙදෙනකු කළ සමීක්ෂණයකින් තොරතුරු අනාවරණයවී ඇත.

දිවයිනේ සිංහල, දෙමළ සහ මුස්ලිම් ජාතිකයින් 500කට වැඩි පිරිසක් යොදාගෙන මාර්ගගත ක්‍රමයට (ඔන්ලයින්) මෙම සමීක්ෂණය කරනු ලැබ ඇත්තේ එම විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්යවරුන්වන වසන්ත අතුකෝරළ සහ මාලක රණතිලක යන මහත්වරුන් විසිනි.


එම සමීක්ෂණය අනුව මීළඟට පිරිස   ලෙස පාර්ලිමේන්තු මංත්‍රීවරුන් හඳුනාගෙන ඇතැයි මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ප්‍රකාශ කළේය.


ඉන් පසු වංචාව දූෂණ වපට යොමු වූ වැඩිම පිරිස සහ ආයතන ලෙස පිළිවෙළින් පළාත් සභා සහ ප්‍රාදේශීය සභා සභිකයින්, ග්‍රාම නිලධාරී සේවය, අධ්‍යාපනය ක්ෂේත්‍රය, විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ශ්‍රී ලංකා රේගුව හඳුනාගෙන ඇති බවද ඔහු කීවේය.


මේ අතර රාජ්‍ය ආයතනවල සේවා ලබා ගැනීමට යන අයගෙන් සියයට අනූ හතරක් පමණ කුමන හෝ දුෂ්කරතාවකට මුහුණ දෙන බව එම සමීක්ෂණයේදී තොරතුරු හෙළිවී ඇත.
සෑම රාජ්‍ය ආයතනයකම කුමන හෝ දූෂණයක් සිදුවෙන බවට සියයට අනූ හතරක පිරිසක් ප්‍රකාශ කරන්නේ යැයි පැවසූ මහාචාර්යවරයා, මින් සියයට 22ක්ම රාජ්‍ය ආයතනවලින් වැඩ කරගෙන ඇත්තේ විවිධ අල්ලස් දීමෙන් බව හෙළිවී ඇතැයිද ප්‍රකාශ කළේය.


සියයට හතළිස් නවයක් පෞද්ගලික සබඳතා මත සේවය ලබාගෙන ඇති බවත්, තෑගි ලබාදී සේවය ලබාගෙන ඇති සංඛ්‍යාව සියයට හයක් බවත් එම සමීක්ෂණයේදී තොරතුරු හෙළිවී ඇත.


මෙයට අමතරව පරිත්‍යාග කිරීම් මගින් සියයට අටක පිරිසක් රාජ්‍ය ආයතනවලින් වැඩ කරගෙන ඇති අතර වෙනත් ක්‍රම මගින් වැඩ කරගෙන ඇති සංඛ්‍යාව සියයට 15ක් බවද සමීක්ෂණ වාර්තාවේ දැක්වේ.
මුදල් පරිත්‍යාග ලබාදී රාජ්‍ය සේවය ලබාගත් පිරිස සියයට තිස් හයකි. මෙයට අමතරව ලිංගික අල්ලස් ලබා ගැනීමට උත්සාහ දැරූ සිද්ධීන් 10 ක්ද වාර්තාවූ බවද ප්‍රකාශ කරන වසන්ත අතුකෝරල මහතා,  සමීක්ෂණයට භාජනය වූ පිරිසෙන් සියයට තිස් හයක්ම රාජ්‍ය ආයතනවල  ඉතා විශාල වශයෙන් දූෂණ සිදුවෙන බව ප්‍රකාශ කරන්නේ යැයිද සඳහන් කළේය.


මේ අතර රාජ්‍ය සේවා ලබා ගැනීමට ගොස් සම්පූර්ණයෙන්ම තෘප්තිමත් වෙන පිරිස සියයට පහළොවක් බවත් සියයට 30 ක් කිසිදු තෘප්තිමත්භාවයක් නොලබන බවත් සමීක්ෂණයේදී තොරතුරු හෙළිවීයැයි හෙතෙම ප්‍රකාශ කළේය.


ජනතාවගෙන් සියයට පනස් පහක් ප්‍රකාශ කරන්නේ රාජ්‍ය අංශයේ සේවය ගැන සාමාන්‍ය මට්ටමින් සෑහීමකට පත්විය හැකි බව යැයිද ඔහු  සඳහන් කළේය.
මේ අතර රාජ්‍ය ආයතනවල ඉහළ මට්ටමේ අකාර්යක්ෂමතාව ඇති බව සියයට 27 ක්ද ඉහළ මට්ටමේ නිලධාරිවාදය ඇතැයි  සියයට පහළොවක් ඇති බවද ප්‍රකාශ කරන බව මහාචාර්යවරයා පැවසීය.