2022 අප්‍රේල් සිට ගෙවීම් පැහැර හැර ඇති විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 4.2 ක්


උපුල් වික්‍රමසිංහ

මුදල් අමාත්‍යාංශය ප්‍රසිද්ධ කර ඇති දත්තවලට අනුව 2022 අප්‍රේල් 12 වැනි දින විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවූ දා සිට 2023 සැප්තැම්බර් අවසන් වන විට ශ්‍රී ලංකාව ගෙවීම පැහැර හැර ඇති මුළු විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 4229 ක් (ඩොලර් බිලියන 4.2) බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.

එයින් ඩොලර් බිලියන 1.6 ක්  චීනය, ඉන්දියාව, ජපානය ඇතුළු ද්වීපාර්ශ්වික ණය හිමියන්ට ගෙවීමට ඇති ණය බවත් ඉතිරි ඩොලර් බිලියන 2.6 වාණිජ ණය හිමියන්ට ගෙවීමට ඇති ණය බවත් ඒ මහතා සඳහන් කළේය.


රජය සැලසුම් කර ඇති පරිදි මේ වසරේ ජුනි වන විට ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කිරීමට හැකි වුව හොත් ණය ආපසු ගෙවීමට සිදුවන බවත්, ඒ සඳහා දැනට මහ බැංකුව සතු විදේශ සංචිත ප්‍රමාණවත් නොවන බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.