සුදර්ශනී කෝණාර
මහ කන්නයේ මිලදී ගනු ලබන වී අස්වනු ගබඩා කිරීම සඳහා වී අලෙවි මණ්ඩලය සතුව ලක්ෂ දෙකකට වැඩි ධාරිතාවක් සහිත වී ගබඩා පවතින බවත්, සතොස සතුව පවතින හැට දහසක ධාරිතාවක් සහිත අලුත් ගබඩා වී ගබඩා කිරීම සඳහා භාවිත කිරීමට අපේක්ෂා කරන බවත් වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද ‘ඉරිදා ලංකාදීප’යට ප්‍රකාශ කළේය.
වී ගබඩා කිරීමේ ගැටලුව විසඳා ගැනීමට සතොස සමඟ එක්ව ඇමතිවරුන්ගෙන් සහ විවිධ ආයතනවලින් ලබාගත් ගබඩා පිරිසිදු කර වී ගබඩා කිරීමට යොදාගන්නා බවද ඔහු සඳහන් කළේය.
ඉදිරි මහ කන්නයේ මිලදී ගන්නා වී අස්වැන්න ගබඩා කිරීමේ වැඩපිළිවෙළ සඳහා හමුදා අංශයේ සහ ග්‍රාමීය මට්ටමේ ගොවි සංවිධානවල ශ්‍රම දායකත්වය ලබාගැනීමට බලාපොරොත්තු වෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ඒ අනුව වී මිල ඉදිරි දින කීපයේදී තීරණය වන බවත්, කෘෂිකර්ම අමාත්‍යාංශය ඒ සඳහා අවශ්‍ය කමිටුව පත් කර ඒ පිළිබඳ විශ්ලේෂණය කරමින් සිටින බවත් ප්‍රකාශ කළේය.